බුජ්ජසෝභිත ස්ථවිරගාථා වර්ණනාව
“යෙ චිත්තකථී බහුස්සතා” යන ගාථා ආයුෂ්මත් ඛුජ්ජසෝභිත තෙරුන් වහන්සේගේය. ඒවායේ උපත කවරේද? උන්වහන්සේ පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සිටුගෙයක ඉපිද නුවණැති බවට පත්වූහ. දිනක් ඔහු මහත් භික්‍ෂු සංඝයා සමග වඩින බුදුරජාණන් වහන්සේ දැක, පැහැදුනු සිතැතිව දස ගාථාවකින් උන්වහන්සේ වර්ණනා කළේය. ඒ පින්කමේ විපාක වහයෙන් දෙව්මිනිස් දෙගතියේ සැප විඳි හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේ දී පාටලීපුත්‍ර නගරයෙහි බමුණු කුලයක ඉපිද සෝභිත නමින් පතළ විය. ඔහුගේ ශරීරය මදක් කුදු වූ බැවින් ඛුජ්ජසෝභිත නමින් හැඳින්විණි. තරුණ පත් ඒ බමුණු කුමරු ශාස්තෲන් වහන්සේ පිරිනිවි කල්හි ආනන්ද මහරහතන් වහන්සේ සමීපයෙහි පැවිදි වී ෂඩ් අභිඥා උපදවා ගත්තේය. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.
“බබළන කුඹුක් ගසක් වැනි වූ දේවාති දේව වූ නරශ්‍රේෂ්ඨ වූ වීථියට පිළිපන්නා වූ බුදුරදුන් දැක කවරෙක් නම් නොපහදී ද?
මෝහ ගනඳුර නසා බොහෝ දෙන සසරින් එතෙර කොට, ඥානාලෝකයෙන් බබළන බුදුරදුන් දැක කවරෙක් නොපහදී ද?
රහතුන් ලක්‍ෂයක් සමග වඩින්නා වූ ලෝකනායක වූ බොහෝ සත්ත්වයන් දුකින් මුදවන්නා වූ බුදුරදුන් දැක කවරෙක් නොපහදී ද?
දහම් බෙරය ගසන්නා වූ තීර්ථක සමූහයා මඩින්නා වූ සිංහනාද කරන්නා වූ බුදුරදුන් දැක කවරෙක් නොපහදී ද?
බඹලොව තෙක් දෙවියෝ බඹුන් සහිත වූවාහු අවුත් සියුම් පැන විචාරත් ද ඒ බුදුන් දැක කවරෙක් නො පහදී ද?
දෙවියන් සහිත ලෝ වැසියෝ යම් උතුමෙකුට ඇඳිලි බැඳ අයදිත්ද එයින් ඔහුට පින් ලැබේද ඒ බුදුරදුන් දැක කවරෙක් නොපහදී ද?
සියලු දෙන රැස්ව බුදුරදුන් පවසත්. එසේ ආරාධිත වූයේ ද නොසැලෙන බුදුරදුන් දැක කවරෙක් නොපහදී ද?
නුවරට පිවිසෙන යමෙකුට බොහෝ බෙර නාද කරයි ද මත් ඇත්තු කුඤ්චනාද කරත් ද එබඳු වූ බුදුරදුන් දැක කවරෙක් නම් නොපහදී ද?
හැමකල්හි වීථියෙහි වඩින්නා වූ සැමකල්හි සිරුර සියලු පැහැයෙන් බබළන්නා වූ බිම උස් තැන් පා තබන විට සම වන්නා වූ බුදුරදුන් දැක කවරෙක් නම් නොපහදී ද?
බුදුරදුන් දහම් දෙසන කල්හි සක්වලටම ඇසේ. හැම සතුන්ට ම එය අවබෝධ වේ. ඒ බුදුරදුන් දැක කවරෙක් නම් නොපහදී ද?”
මීට කල්ප ලක්‍ෂයකට පෙර යම් බුදුවරයකු මෙසේ මම වර්ණනා කළෙම් ද ඒ හේතුවෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. බුදුරදුන් පැසසීමේ විපාක මෙබඳු ය.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
ෂඩ් අභිඥාලාභීව පළමු මහා සංගීතිය පවත්වන සමයේදී රජගහනුවර සප්තපර්ණි ගුහාවට රැස් වූ මහා සංඝයා විසින් “ආයුෂ්මත් ආනන්ද තෙරුන් කැඳවව”යි අණ කරනු ලැබූ ඛුජ්ජසෝභිත හිමියෝ, පොළවෙහි කිමිදී තෙරුන්ගේ ඉදිරියේ සිට සංඝයා ගේ හසුන පැවසූහ. එසේ පවසා අහසින් තමා පළමුව සප්තපර්ණි ගුහාද්වාරයට පැමිණියේය. මෙසමයෙහි මාරයාගේ ද මාරසහායකයන්ගේ ද උවදුරු වළකනු සඳහා දේව සමූහයා විසින් එවන ලද එක්තරා දේවතාවෙක් ගුහා දොරකඩ සිටියාය. ඇයට තමන් වහන්සේගේ පැමිණීම දැනුම් දෙන ඛුජ්ජසෝභිත හිමියෝ මේ පළමු ගාථාව වදාළහ.
“යෙ චිත්තකථි බහුස්සුතා සමණා පාටලිපුත්ත වාසිනො,
තෙසඤ්ඤතරො යමායුවා ද්වාරෙ තිට්ඨති ඛුජ්ජසොභිතො”
මෙහි “චිත්තකථි” යනු විසිතුරු ධර්ම කථාවන්ය. සංක්‍ෂේප කිරීම, විස්තර කිරීම, ගැඹුරු කිරීම, ප්‍රකට කිරීම, සැක දුරු කිරීම, දහම්හි පිහිටීම යනාදී නානාවිධ න්‍යායයන්ගෙන් අනුන්ගේ අදහස් අනුව දහම් දෙසීමේ හැකියාව ලබයි” යන අර්ථයයි. “බහුස්සුතා” යන පර්යාප්ති, ප්‍රතිවේධ, බහුශ්‍රැත බව යනාදියෙන් පිරිපුන්-බොහෝ ඇසූ පිරූ තැන් ඇති. සියලු අයුරින්ම සංසිඳවූ පාපධර්ම ඇති බැවින් “සමණා” ශ්‍රමණයෝ නම් වේ. පාටලී පුත්‍ර නම් නුවර වසන බැවින් “පාටලීපුත්තවාසිනො” නම් වේ. “තෙසඤ්ඤතරො”, “පාටලීපුත්‍රයේ වසන එබඳු භික්‍ෂූන් අතුරින් එක්තරා අයෙක්මි. දීර්ඝායු සම්පත් ඇති මේ ආයුෂ්මත්තෙම සප්තපර්ණිගුහාද්වාරයේ සිටියි. ගුහාවට පිවිසීමට සංඝයාගේ අවසරය ලැබේවා” යනුයි. මෙය ඇසූ දෙව්දුව තෙරුන්ගේ පැමිණීම සංඝයාට දැනුම් දෙමින් මේ දෙවන ගාථාව පැවසුවාය.
“යෙ චිත්තකථි බහුස්සුතා සමණා පාටලිපුත්තවාසිනො,
තෙසං අඤ්ඤතරො යමායුවා ද්වාරෙ තිට්ඨති මාලුතෙරිතො”
එහි “මාලුතෙරිතො” සෘද්ධිමය සිතින් ජනිත වායුවෙන් මෙහෙයවා පැමිණ, සෘද්ධි බලයෙන් ආවා වූ.
මෙසේ ඇයගේ දැන්වීමෙන් සංඝයා විසින් දෙන ලද අවසර ඇති තෙරණුවෝ සංඝයාගේ සමීපයට යමින් මේ තෙවන ගාථාවෙන් සිය රහත් බව ප්‍රකාශ කළ සේක.
“සුයුද්ධෙන සුයිට්ඨෙන සංගාම විජයෙන ච,
බ්‍රහ්මචරියානුචිණ්ණෙන එවායං සුඛමෙධතී”
එහි “සුයුද්ධෙන” පූර්ව භාගයෙන් තදංග, විෂ්කම්භන, ප්‍රහාණ වශයෙන් කෙලෙසුන් සමග මනාව යුද්ධ කිරීමෙන්. “සුයිට්ඨෙන” අතරින් පතර කළණ මිතුරන් විසින් දෙන ලද යෝග්‍ය වූ ධර්ම දානයෙන්. “සංගාම විජයෙන ච” මුළුමනින්ම සියලු කෙලෙස් ප්‍රහාණය කිරීමෙන්, මැඩලීමෙන් ලැබූ සංග්‍රාම ජය ඇතිව. බ්‍රහ්මචරියානු චිණ්ණෙන පුරුදු පුහුණු කළ අග්‍ර මාර්ග නම් බඹසරින් යුතුව. “එවායං සුඛමෙධතී” මෙසේ කියන ලද ක්‍රමයෙන් “මේ ඛුජ්ජසෝභිත තෙමේ නිවන් සුවය ඵල සමවත් සුවය ද ලබයි. ඊට පැමිණෙයි. එම සුවයන් අනුභව කරයි.’ යන අර්ථයයි.
ඛුජ්ජසෝභිත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
වාරණ ස්ථවිරගාථා වර්ණනාව
“යොධ කොචි මනුස්සෙසු” යනු ආයුෂ්මත් වාරණ තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්කම් රැස්කරමින් අවුත්, මීට කල්ප අනූදෙකකට පෙර දී තිස්ස බුදුරජාණන් වහන්සේ පහළවීමට පෙරදී සුමේධ නමින් බමුණු කුලයෙහි ඉපිද වේද ශිල්පයන්හි පරතෙරට ගොස්, සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදි වූහ. එසමයේදී තිස්ස බෝධිසත්ත්‍වයෝ තුසිත දෙව්ලොවින් නික්ම අවසන් භවයේ දී මවුකුස පිළිසිඳ ගන්නා අවස්ථාවෙහි මහ පොළොව කම්පා විය. ඒ දුටු මහජනයා, භය වී ත්‍රස්ත වී, ඒ සෘෂිවරයා වෙත පැමිණ පොළොව කම්පාවීමට හේතු විචාළේය. ඔහු එවිට “මහබෝසත්හු මවුකුස පිළිසිඳගත්හ. එනිසා මේ පොළෝ කම්පාව සිදුවිය. නුඹලා බිය නොවවු”යි බුදුවරයකුගේ උපතේ පූර්ව නිමිති පිළිබඳව පවසා මහජනයා අස්වැසීය. බුද්ධාරම්මණයෙහි සිය ප්‍රීතියද පළ කළේය. මේ පින්කමේ විපාක විඳිමින් ඔහු දෙව්-මිනිස් දෙගතියෙහි සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයේදී කොසොල් රට බමුණු කුලයක උපන්නේ ය. වාරණ නමින් ප්‍රකට වූ ඒ බමුණා නිසිවියට පත්ව දිනක් එක්තරා තෙරනමකගෙන් දහම් අසා, ලැබූ ශ්‍රද්ධා ඇතිව සසුනේ පැවිදිව මහණදම් පිරීය. එක්දිනක් බුද්ධෝපස්ථානයට යන අතරමගදී උන්වහන්සේ මුගටියකු හා නයෙකු ඔවුනොවුන් හා කලහ කොට මැරී සිටිනු දැක, “මේ සත්ත්වයෝ ඔවුනොවුන්ට විරුද්ධවීමෙන් ජීවිතක්‍ෂයට පත්වෙති”යි සංවේග පත් සිතින්ම භාග්‍යවතුන් වහන්සේ වෙත ගියහ. භාග්‍යවතුන් වහන්සේ වාරණ තෙරුන්ගේ සිත දැන ඊට අනුරූප වූ ම අවවාදයක් දෙන සේක්, මේ ගාථා තුන වදාළහ.