මාතඞ්ගපුත්ත ස්ථවිරගාථා වර්ණනාව
“අතීසීතං” යනු ආයුෂ්මත් මාතංග පුත්ත තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ වනාහි පදුමුත්තර භාග්‍යවතුන් වනහන්සේගේ කාලයේදී හිමවත සමීපයේ වූ මහත් ඉබේ හටගත් විලක් යට මහත් වූ නාග භවනයක, මහානුභාව ඇති නා රජෙකු වී ඉපදුණහ. දිනක් භවනයෙන් නික්ම හැසිරෙන කල්හි ශාස්තෲන් වහන්සේ අහසින් වැඩම කරනු දැක පහන් සිතින් තම කණ්ඨක මාණික්‍යය පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දේව මිනිස් දෙගතියේ සැරිසරා පැමිණි හෙතෙම මේ බුද්ධෝත්පාදයේදී කොසොල් රට මාතංග නම් කෙළෙඹියාගේ පුතු ලෙස ඉපිද, මාතංග පුත්ත නමින් පතල විය. වැඩිවියට පත් ඔහු අලසයෙක්ව, කිසිදු කාර්යයක් නොකරන්නෙක් බවට පත් විය. නෑයන් හා අන්‍යයන් විසින් ගරහන ලද මාතංග පුත්ත, “මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ සැපසේ ජීවත්වෙති”යි සැපසේ ජීවත්වනු කැමතිව භික්‍ෂූන් වෙත පැමිණ, හුරුපුරුදු ඇසුරු ඇතිව ශාස්තෲන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කළේය. ඉන් ලැබූ ශ්‍රද්ධා ඇතිව සසුනේ පැවිදි වූ උන් වහන්සේ, සෙසු භික්‍ෂූහු සෘද්ධිමය හැකියා පෙන්වනු දැක, ඒ පිළිබඳ ආශාවෙන් සෘද්ධිබල පතාගෙන, ඊට අවශ්‍ය කමටහන් ශාස්තෲන් වහන්සේගෙන් ලබාගෙන භාවනාවෙහිම සිත යෙදූ සේක්, ෂඩ් අභිඥාලාභී වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.
“පදුමුත්තර” නම් වූ සියලු ධර්මයන්හි පරතෙරට ගිය පස්මරුන් ජයගත් විවේක සැප කැමති බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කළ සේක.
හිමවතට නුදුරින් ස්වයංජාත මහවිලක් විය. මගේ පෙර පිණින් පහළ වූ භවන එහි විය.
භවනෙන් නික්මුණු මම නිලුපුල් මෙන් දිලිසෙන ඇවිලගත් ගින්නක් බඳු ලෝක නායකයන් වහන්සේ දුටුවෙමි.
බුදුරදුන්ට පිදීමට මලක් සෙවුමුත් හමුනොවිණි. සිය සිත පැහැද වූ මම ශාස්තෲන් වහන්සේට වැන්දෙමි.
මගේ හිසෙහි වූ මැණික ගෙන, “මේ මැණික පිදීමේ විපාක යහපත් වේවා”යි සිතා පූජා කළෙමි.
ලෝකයාගේ පූජාවන් පිළිගැනීමට යෝග්‍ය වූ බුදුරජාණන් වහන්සේ අහසෙහි හිඳ මෙසේ වදාළ සේක.”
“නුඹගේ ඒ අදහස සමෘද්ධිමත් වේවා. සසර මහත් සැප ලබත්වා. මෙම මැණික් පූජාවෙන් මහත් යශස් අනුභව කරව” යනුවෙන් වදාළ භාග්‍යවත්වූ පදුමුත්තර බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ අහසින් වැඩි සේක.
[missing trans]
මගේ පැතුම ලෙසම සසර දී මම කර්ම සිහිකරන දෙවි වූ මා හට මාගේ ම මැණික් පහළ වේ.
මගේ පිරිවර වූ සුවාසු දහසක් ස්ත්‍රීහු විසිතුරු වස්ත්‍රාභරණ හා පැළඳි මිණිකඬොලින් අලංකාරව, දිග ඇසිපිය ඇතිව, සිනාසෙමින් මනාව තන හා සිහින් කටී ප්‍රදේශ ඇතිව නිතර මා පිරිවරාගෙන සිටිති. මැණික් පූජාවේ විපාක මෙබඳුය.”
“රන්මය, මැණික්මය හා පද්ම රාග මාණික්‍යමය මාගේ භාණ්ඩයෝ මැනවින් කරන ලද්දාහුය. මනාව නිර්මිත වූ පළඳනාවෝ මට පහළ වෙති.
රම්‍ය වූ කූඩාගාරද ගුහා ද මාහැඟි සයනාසන ද මාගේ අදහස් දැන ඒ අනුව පහළ වේ.
යමෙක් මිනිසුන්ට පින්කෙතක් සව්සත්නට බෙහෙතක් වූ ධර්ම ශ්‍රවණය ලබත් නම් එය ඔවුනට මහත් ලාභයකි. මනාවූ ලාභයකි.
යම් බඳු වූ මම බුදුරදුන් දිටිම් ද මා විසිනුදු මනා වූ කර්මයක් කරන ලදි. එයින් දුගතියෙන් මිදුනෙමි. අචල පදය වූ නිවනට ද පැමිණියෙමි.
දෙවි හෝ මිනිස් හෝ යම් යම් යෝනියෙක උපදිම් ද, හැමකල්හි හාත්පස සත්රියනක් මාගේ ආලෝකය පැතිර සිටී.
එම මැණික් පූජාවෙහි විපාක ලෙස සම්පත් අනුභව කොට, මා විසින් ඥානාලෝකය දක්නා ලදි. අචල වූ ශාන්ති පදයට පැමිණියෙමි.
මෙයින් කල්ප ලක්‍ෂයකට පෙර යම් බුද්ධ පූජාවක් කෙලෙම් ද එහි විපාක වශයෙන් දුගතියක නූපන්නෙමි. මැණික් පූජාවේ විපාක මෙබඳුය.
දැන් මවිසින් සියළු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනය ඉටු කළෙමි.”
ෂඩ් අභිඥාලාභී වූ උන්වහන්සේ පුද්ගල අධිෂ්ඨාන වශයෙන් කුසීත බවට ගරහමින් තමාගේ වීර්යාරම්භය ප්‍රකට කරන සේක් මේ ගාථා තුන වදාළහ.
“අතිසීතං අතිඋණ්හං අතිසායමිදං අහු,
ඉති විස්සට්ඨකම්මන්තෙ ඛණා අච්චෙන්ති මානවෙ”
“යො ච සීතඤ්ච උණ්හඤ්ච තිණා භිය්‍යො න මඤ්ඤති,
කරං පුරිස කිච්චානි සො සුඛා න විහායති”
“දබ්බං කුසං පොටකිලං උසීරං මුඤ්ජබබ්බජං,
උරසා පනුදහිස්සාමි විවේකමනුබ්‍රෑහයං”
මෙහි “අතිසීතං” යනු හිම වැටීම්, වැහි වලා පිරීම් ආදියෙන් අතිශය සීතලය. “දැන් ඉතා ශීත වේ.” යනුවෙන් සම්බන්ධ කර අර්ථ ගත යුතුයි. “අතිඋණ්හං” ග්‍රීෂ්ම පිරිතැවීම් ආදියෙන් අතිශයින් උණුසුම්ය. මේ සෘතු සම්පත් දෙකින්ම කුසීත බවට හේතු කියන ලදි. “අතිසායං” දවස අවසන “දැන් ඉතා හවස් විය.” සවස පැවසූ විට මෙහිදී “දැන් ඉතා උදේ” යැයි සිතීම ද අදහස් වේ. ඒ දෙකින්ම කාල වශයෙන් කුසීත බවට හේතු දක්වන ලදි. “ඉති” මේ ආකාරයෙන්, මෙයින් “මහණෙනි! මේ සස්නෙහි භික්‍ෂුව විසින් යායුතු මාර්ගය මෙසේ ය”යි ආදී වශයෙන් දක්වන ලද කුසීත හේතු අදහස් කරයි. “විස්සට්ඨකම්මන්තෙ” හැර දැමූ කර්මාන්ත ඇති කල්හි “ඛණා” ක්‍ෂණ සම්පත්තියයි. බුද්ධෝත්පාදය හා බඹසර වාසයට අවසර ඇති බව පැවතීම. “අච්චෙන්ති” ඉක්මවා යති. “මානවෙ” සත්ත්‍වයිනි! “තිණා භිය්‍යො න මඤ්ඤති” තණපතකට වඩා නොසිතයිද, තණපතක් මෙන් සීතෝෂ්ණ දෙක මැඬලා තමා විසින් කළයුතු කටයුතු කරයි. “කරං” එසේ කරන්නා වූ “පුරිසකිච්චානි” වීර පුරුෂයකු විසින් තමාට හා අනුන්ට වැඩදායක ලෙස කළ කටයුතුවලින් “සුඛා” සුවයෙන්, නිවන් සුවයෙන් යන අදහසයි. තෙවන ගාථාවේ අර්ථ ඉහත දී පවසන ලද්දේමය.