මගේ පිරිවර වූ සුවාසු දහසක් ස්ත්‍රීහු විසිතුරු වස්ත්‍රාභරණ හා පැළඳි මිණිකඬොලින් අලංකාරව, දිග ඇසිපිය ඇතිව, සිනාසෙමින් මනාව තන හා සිහින් කටී ප්‍රදේශ ඇතිව නිතර මා පිරිවරාගෙන සිටිති. මැණික් පූජාවේ විපාක මෙබඳුය.”
“රන්මය, මැණික්මය හා පද්ම රාග මාණික්‍යමය මාගේ භාණ්ඩයෝ මැනවින් කරන ලද්දාහුය. මනාව නිර්මිත වූ පළඳනාවෝ මට පහළ වෙති.
රම්‍ය වූ කූඩාගාරද ගුහා ද මාහැඟි සයනාසන ද මාගේ අදහස් දැන ඒ අනුව පහළ වේ.
යමෙක් මිනිසුන්ට පින්කෙතක් සව්සත්නට බෙහෙතක් වූ ධර්ම ශ්‍රවණය ලබත් නම් එය ඔවුනට මහත් ලාභයකි. මනාවූ ලාභයකි.
යම් බඳු වූ මම බුදුරදුන් දිටිම් ද මා විසිනුදු මනා වූ කර්මයක් කරන ලදි. එයින් දුගතියෙන් මිදුනෙමි. අචල පදය වූ නිවනට ද පැමිණියෙමි.
දෙවි හෝ මිනිස් හෝ යම් යම් යෝනියෙක උපදිම් ද, හැමකල්හි හාත්පස සත්රියනක් මාගේ ආලෝකය පැතිර සිටී.
එම මැණික් පූජාවෙහි විපාක ලෙස සම්පත් අනුභව කොට, මා විසින් ඥානාලෝකය දක්නා ලදි. අචල වූ ශාන්ති පදයට පැමිණියෙමි.
මෙයින් කල්ප ලක්‍ෂයකට පෙර යම් බුද්ධ පූජාවක් කෙලෙම් ද එහි විපාක වශයෙන් දුගතියක නූපන්නෙමි. මැණික් පූජාවේ විපාක මෙබඳුය.
දැන් මවිසින් සියළු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනය ඉටු කළෙමි.”
ෂඩ් අභිඥාලාභී වූ උන්වහන්සේ පුද්ගල අධිෂ්ඨාන වශයෙන් කුසීත බවට ගරහමින් තමාගේ වීර්යාරම්භය ප්‍රකට කරන සේක් මේ ගාථා තුන වදාළහ.
“අතිසීතං අතිඋණ්හං අතිසායමිදං අහු,
ඉති විස්සට්ඨකම්මන්තෙ ඛණා අච්චෙන්ති මානවෙ”
“යො ච සීතඤ්ච උණ්හඤ්ච තිණා භිය්‍යො න මඤ්ඤති,
කරං පුරිස කිච්චානි සො සුඛා න විහායති”
“දබ්බං කුසං පොටකිලං උසීරං මුඤ්ජබබ්බජං,
උරසා පනුදහිස්සාමි විවේකමනුබ්‍රෑහයං”
මෙහි “අතිසීතං” යනු හිම වැටීම්, වැහි වලා පිරීම් ආදියෙන් අතිශය සීතලය. “දැන් ඉතා ශීත වේ.” යනුවෙන් සම්බන්ධ කර අර්ථ ගත යුතුයි. “අතිඋණ්හං” ග්‍රීෂ්ම පිරිතැවීම් ආදියෙන් අතිශයින් උණුසුම්ය. මේ සෘතු සම්පත් දෙකින්ම කුසීත බවට හේතු කියන ලදි. “අතිසායං” දවස අවසන “දැන් ඉතා හවස් විය.” සවස පැවසූ විට මෙහිදී “දැන් ඉතා උදේ” යැයි සිතීම ද අදහස් වේ. ඒ දෙකින්ම කාල වශයෙන් කුසීත බවට හේතු දක්වන ලදි. “ඉති” මේ ආකාරයෙන්, මෙයින් “මහණෙනි! මේ සස්නෙහි භික්‍ෂුව විසින් යායුතු මාර්ගය මෙසේ ය”යි ආදී වශයෙන් දක්වන ලද කුසීත හේතු අදහස් කරයි. “විස්සට්ඨකම්මන්තෙ” හැර දැමූ කර්මාන්ත ඇති කල්හි “ඛණා” ක්‍ෂණ සම්පත්තියයි. බුද්ධෝත්පාදය හා බඹසර වාසයට අවසර ඇති බව පැවතීම. “අච්චෙන්ති” ඉක්මවා යති. “මානවෙ” සත්ත්‍වයිනි! “තිණා භිය්‍යො න මඤ්ඤති” තණපතකට වඩා නොසිතයිද, තණපතක් මෙන් සීතෝෂ්ණ දෙක මැඬලා තමා විසින් කළයුතු කටයුතු කරයි. “කරං” එසේ කරන්නා වූ “පුරිසකිච්චානි” වීර පුරුෂයකු විසින් තමාට හා අනුන්ට වැඩදායක ලෙස කළ කටයුතුවලින් “සුඛා” සුවයෙන්, නිවන් සුවයෙන් යන අදහසයි. තෙවන ගාථාවේ අර්ථ ඉහත දී පවසන ලද්දේමය.