ධනිය ස්ථවිරගාථා වර්ණනාව
“සුඛං චෙ ජීවිතුං ඉච්ඡෙ” යනු ආයුෂ්මත් ධනිය තෙරුන්ගේ ගාථාවන්ය. එහි උපත කෙසේද? උන්වහන්සේද පෙර බුදුවරු හමුවේ කළ ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් රැස්කරමින් අවුත් සිඛි නම් භාග්යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි සිටුගෙයක ඉපිද වැඩිවියට පත්වූහ. දිනක් ශාස්තෲන් වහන්සේ දැක පැහැදුණු සිතින් බට මලක් ගෙන පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේදී රජගහ නුවර කුඹල් පවුලක ඉපිද ධනිය නමින් ප්රකට විය. තරුණවියට පත් කුඹල් කර්මාන්තයෙන් ජීවත් විය. එක් සමයක ශාස්තෲන් වහන්සේ ධනිය කුම්භකාරකයාගේ ශාලාවේ වැඩහිඳ පුක්කුසාති කුලපුතුට ඡධාතුවිභංග සූත්රය දේශනා කළ සේක. පුක්කුසාති එය අසා රහත් ඵලයට පත් විය. (කතකිච්චො) ඒ කුලපුතුගේ පිරිනිවීම ඇසූ ධනිය “මේ බුද්ධ ශාසනය ඒකාන්තයෙන්ම නෛර්ය්යාණිකය. එක් රැයක් පුරුදු කිරීමෙන් වුවත් සසර දුකින් මිදීමට හැකි වේ” යැයි ලැබූ ශ්රද්ධාවෙන් පැවිදි විය. පැවිදි වූ පසුව කුටිය අලංකාර කිරීමෙහිම යෙදුණු නිසා කුටි කිරීම පිළිබඳව භාග්යවතුන් වහන්සේගේ ගැරහුමට ද පාත්ර වූ ධනිය හිමියෝ සංඝයාට අයත් සෙනසුනක වසමින් විදසුන් වඩා රහත් වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.
“රන්වන් පාටින් බබළන දායකයන්ගේ පූජා පිළිගන්නා වූ වනමතුයෙහි අහසින් යන්නා වූ ලෝකනායකයන් වහන්සේ දුටුවෙමි.
එකෙණෙහි මම බටමලක් ගෙන නික්මුණෙමි. චතුරෝඝයන් තරණය කළා වූ ආශ්රව රහිත වූ සම්බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
පහන් සිත් ඇති සොම්නස් වූ මම දක්ෂිණාර්හ වූ මහාවීර වූ සියලු ලොවට අනුකම්පා කරන්නා වූ බුදුපියාණන් වහන්සේට ඒ මල පිදුවෙමි.
මෙයින් තිස් එක්වන කල්පයේදී යම් මල් පූජාවක් කළෙම් ද එයින් පසු දුගතියක නො උපන්නෙමි. බුද්ධ පූජාවේ විපාක මෙබඳුය.
දැන් මවිසින් සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත්ව, යම් භික්ෂු පිරිසක් ධුතාංග සමාදානයෙන් තමා උසස් කරමින්, සඟබත් ආදිය ඉවසන අනික් භික්ෂූන්ට අවමන් කරත්ද ඒ භික්ෂූන්ට අවවාද දීම් වශයෙන් සිය රහත්බව ප්රකාශ කරන ධනිය හිමියෝ මේ ගාථා තුන වදාළහ.
“සුඛං චෙ ජීවිතුං ඉච්ඡෙ සාමඤ්ඤස්මිං අපෙක්ඛවා,
සංඝිකං නාතිමඤ්ඤෙය්ය චීවරං පාන භොජනං”
සංඝිකං නාතිමඤ්ඤෙය්ය චීවරං පාන භොජනං”
“සුඛං චෙ ජීවිතුං ඉච්ඡෙ සාමඤ්ඤස්මිං අපෙක්ඛවා,
අහිමූසිකසොබ්භංව සෙවෙථ සයනාසනං”
අහිමූසිකසොබ්භංව සෙවෙථ සයනාසනං”
“සුඛා චෙ ජීවිතුං ඉච්ඡෙ සාමඤ්ඤස්මිං අපෙක්ඛවා,
ඉතරීතරෙන තුස්සෙය්ය එකධම්මං ච භාවයෙ”
ඉතරීතරෙන තුස්සෙය්ය එකධම්මං ච භාවයෙ”
මෙහි “සුඛං චෙ ජීවිතුං ඉච්ඡෙ සාමඤ්ඤස්මිං අපෙක්ඛවා” යන ශ්රමණ භාවයෙහි - මහණ කමෙහි අපේක්ෂාවෙන්, ශික්ෂාවන්හි තියුණු ගෞරව ඇතිව සුවසේ වසනු කැමති නම්, ඉදින් නුසුදුසු ජීවිකාවන් හැර දමා පැවිදි සුව විඳිනු කැමති නම්. “සංඝිකං නාතිමඤ්ඤෙය්ය චීවරං පාන භොජනං” සංඝයාට පැමිණියා වූ සිවුරු, ආහාර සඳහා අවමන් නොකරන්නේ ය. සංඝයාට උපදින ලාභ නම් පරිසුද්ධුප්පාද නම් වේ. “එය පරිභෝජනය කරන්නාගේ දිවි පැවැත්ම පිරිසිදුවීමෙන් ස්වභාවයෙන් ශ්රමණ සැප අතට පත්වේමය” යන අදහසයි. “අභිමූසික සොබ්භං වා” මීයකු විසින් සාරන ලද බිලයේ වසන සර්පයකු මෙන් සෙනසුන් ඇසුරු කරන්නේය. යම් සේ සර්පයා තමාම තමාට නිවාසස්ථානයක් සාදා නොගෙන මී ආදී අනිකකු විසින් සෑදූ බිලයෙහි වැස, කැමති තැනකට යන්නේද, එලෙසින්ම භික්ෂුවද තමා සෙනසුන් නිසා කිලිටිබවට නොපැමිණ යම් කිසි (ඕනෑම) තැනක වැස, ඉන් වෙනත් තැනකට යන්නේය.
දැන් “කී නොකී ප්රත්යයන්ගේ යථාලාභ සන්තෝෂයෙන්ම ශ්රමණබවේ සැප ඇති වේ. වෙනත් දෙයකින් ඒ සැප ඇති නොවේ” යැයි දක්වනු සඳහා. “ඉතරීතරෙන තුස්සෙය්ය” “යම්කිසි හීන වූ හෝ ප්රණීත වූ හෝ යම් සේ ලද ප්රත්යයෙන් සන්තෝෂයට පැමිණෙන්නේ ය” යන අර්ථයයි. “එකධම්මං” අප්රමාද ධර්මයෙහි යෙදුනහුට නිරවද්ය වූ සියලු ලෞකික සුවයන් ද ලෝකෝත්තර සුවයන්ද අතට පත්වූයේමය. එනිසා භාග්යවතුන් වහන්සේ “අප්පමත්තො හි ඣායන්තො පප්පොති විපුලං සුඛං” යනුවෙන් අප්රමාදී වූ ධ්යාන වඩන්නා විපුල වූ සැපයට පැමිණේ යැයි වදාළහ.