බක්කුල ස්ථවිරගාථා වර්ණනාව
“යො පුබ්බෙ කරණීයානි” යනු ආයුෂ්මත් බක්කුල තෙරුන්ගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර, මෙයින් අසංඛ්‍ය කල්ප ලක්ෂයකටත් අධික වූ කාලයෙහි පහළ වූ අනෝමදස්සි භාග්‍යවතුන් වහන්සේ පහළවීමට පෙරදීම, බමුණු කුලයක උපන්හ. නිසිවියට පත්ව ත්‍රිවේදය හදාළා වූ ඒ බ්‍රාහ්මණ තෙමේ එහි හරයක් නොදැක, “පරලොවට අර්ථයක් සොයන්නෙමි” සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව පර්වත පාදයෙහි සිටිමින් පංචාභිඥා අෂ්ට සමාපත්ති උපදවා ගත්තේය. එසේ වෙසෙන සමයේ බුද්ධෝත්පත්තිය අසා උන්වහන්සේ සොයා ගොස් ධර්මශ්‍රවණය කොට, සරණ සිල්හි පිහිටියේය. එවක ශාස්තෲන් වහන්සේට උදරාබාධයක් ඇති විය. කැළයට ගිය බමුණා බෙහෙත් ගෙනවුත් ඒ රෝගය සන්සිඳවීය. එසේ කළ පින්කමෙන් නිරෝගී සැප ලබාගැනීමට මුහුකරවමින් ඉන් චුතවූ ඔහු බඹලොව ඉපිද එක් අසංඛ්‍යයක් දෙව් මිනිසුන් අතර සැරිසරා අවුත් පදුමුත්තර බුදුන් පහළ වූ සමයේ හංසවතී නුවර සිටුගෙයක ඉපදුණි. දිනක් ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක් අල්පාබාධ ඇති භික්‍ෂූන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබනු දැක පැහැදී තමා ද එම තනතුර පතාගෙන චිත්ත ප්‍රණිධිය කොට දිවි ඇති තාක් පින්දහම් කොට කාමසුගතීන්හිම සැරිසැරීය. නැවත විපස්සී බුදුහු පහළවීමට පෙර දී බන්‍ධුමතී නුවර බමුණු පවුලක ඉපිද පෙර ලෙසින්ම සෘෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව ධ්‍යානාභිඥා උපදවාගෙන පර්වත ප්‍රාන්තයෙහි විසීය. බුදු උපත අසා උන්වහන්සේ වෙත ගොස් ධර්මය අසා සරණ සිල්හි පිහිටා භික්‍ෂූන්ට තිණ පුප්ඵක (තණමල්වලින් හටගන්නා) රෝගය උපන් කල්හි, එය සන්සිඳුවා ආයු පමණින් සිට ඉන් චුතව බඹලොව උපන්නේ ය. මීට කල්ප අනූ එකකට පෙර දී ඉන් චුතව දෙව් මිනිසුන් අතර සැරිසරනුයේ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි බරණැස සිටු ගෙයක ඉපිද ගිහි වාසයේ සිටිමින් එක් දිරා වැනසී යන මහාවිහාරයක් දැක එහි වූ උපෝසථාගාර ආදී සියලු ආරාමික ගොඩනැගිලි පිළිසකර කරවා, එහි විසූ භික්‍ෂු සංඝයාට සියලුම බෙහෙත් ද්‍රව්‍ය සපයා දී දිවි ඇතිතාක් කුසල් කළේය. ඉන් චුතව එක් බුද්ධාන්තරයක් දෙව් මිනිසුන් අතර සැරිසරමින් අවුත්, අපගේ බුදුරජාණන් වහන්සේ පහළවීමට පෙරදීම කොසඹෑ සිටුහුගේ ගෙයි උපන්නේ ය. පෙර පින් බලයෙන් ඔහු නිරෝගී විය. මහා යමුනා නදියේ දිය නානා විට කිරිමවගේ අතින් ගිලිහුණු ඒ දරුවා මත්ස්‍යයකු විසින් ගිලින ලදි. මත්ස්‍යයා මාළු බාන්නන්ට හසුව, අල්ලා බරණැස සිටුදේවියට විකුණූහ. සිටුදේවිය මාළුවා කපද්දී පින් බෙලෙන් නීරෝගීවම දරුවා ලැබුණි. ඇය “පුතෙක්” යැයි රැගෙන ආදරයෙන් පෝෂණය කළාය. මේ පුවත ඇසූ දරුවා බිහිකළ දෙමාපියෝ “මේ අපගේ පුතාය. අපට පුතා දෙන්න”යි යෙදුණු කල්හි රජතුමා “මේ දරුවා පවුල් දෙකටම අයත් ය”යි කුල දෙකටම දායාද කළ බැවින්, එසේ විනිශ්චය දුන් බැවින් “බක්කුල” නමින් දරුවා ප්‍රකට විය. වැඩිවියට පත් බක්කුල කුමරු මහත් සැප සම්පත් විඳිමින් අසූ වයස් දක්වා සිට ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් දහම් ඇසීය. දහම් ඇසීමෙන් ලැබූ ශ්‍රද්ධා ඇතිව සසුනේ පැවිදි වූ බක්කුල හිමියෝ දින හතක්ම පුහුදුන්ව සිටියහ. අටවන දින අරුණ නැගෙත්ම සිවුපිළිසිඹියා පත් මහරහත් තෙරනමක් වූහ. අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ පැවසූහ.
“හිමවතට නුදුරෙහි සෝභිත නම් පර්වතයක් විය. එහි මට මනාව සෑදූ අසපුවක් විය. එය මාගේ ම සිසුන් විසින් සාදන ලද්දකි.
ඒ අසපුවේ බොහෝ මණ්ඩප විය. පිපුණු සින්‍දුවාර, පිපුණු ජීවංජීවක, දිවුල් යන වෘක්‍ෂ සමූහයෙන් ඒ අසපුව අලංකාර විය.
නික - ඩෙබර - නෙල්ලි - උගුරැස්ස ගස්වලින් ලබු වැලින් ද පිපුණු සුදු නෙළුමින්ද ආලක බෙලි, කෙසෙල්, උගුරැස්ස ගස් වලින් ලබුවැලින් ද පිපුණු සුදු නෙළුමින්ද ආලක බෙලි, කෙසෙල්, නාරන්, උක්, කුඹුක්, පුවක් ආදී ගසින් ද යුක්ත විය.
කොහොඹ, හොර, කොළොම්, නුග, ගිවුළු යන ගස්වලින් සැරසුණු ඒ අසපුවේ ශිෂ්‍යයන් සමග මම සතුටින් විසුවෙමි.
“සියල්ල තමන් ම අවබෝධ කරගත් ලෝක නායක වූ අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ විවේකය සොයමින් මගේ අසපුවට වැඩම කළහ.
මහත් යශස් ඇති උන්වහන්සේට වාතාබාධයක් ඇති විය.
අරණෙහි හැසිරුණු මම උන්වහන්සේගේ ස්වභාවය දැක නිසැකයෙන්ම මහත් යශස් ඇති, පසැස් ඇති ලෝකනාථයන් වහන්සේ ව්‍යාධියෙන් පෙළෙන බව දැනගතිමි.
වහා අසපුවට ගිය මම සිසුන් අමතා බෙහෙතක් සෑදීමට පැවසුවෙමි.
ඔවුහු සැම එක්ව ගෞරව සහිතව බෙහෙත පිළියෙල කිරීමට සහාය වූහ.
ශාස්තෲ ගෞරවය නිසා වහා පර්වතයට නැගුණු මම ඖෂධ සොයා බෙහෙත සාදා බුදුරදුන්ට පිළිගැන්වූයෙමි.
එය වැළඳූ කල්හි මහාවීර වූ සර්වඥ වූ ලෝකනාථයන් වහන්සේගේ වාතාබාධය සන්සිඳුණි.”
“ක්ලාන්තය සන්සිඳුණු අනෝමදස්සි බුදුහු සිය අසුනේ හිඳ මේ ප්‍රකාශය කළ සේක.
“යමෙක් මට බෙහෙත් දුන්නේ ද මාගේ රෝගය සන්සිඳවීද ඔහුගේ අනාගතය පිළිබඳව පවසමි. එම වදන් සැමදෙන අසවු.