පච්චය ස්ථවිරගාථා වර්ණනාව
“පඤ්චාහාහං පබ්බජිතො” යනු ආයුෂ්මත් පච්චය තෙරුන්ගේ ගාථාවන් ය. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින් දහම් රැස් කරමින් අවුත්, මීට කල්ප අනූ එකකට පෙර විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී සිටුගෙයක ඉපිද වැඩිවියට පත් වූහ. එක්දිනක් ශාස්තෲන් වහන්සේ විනකා නම් නදී තීරයේ වැඩම කරනු දැක පහන් සිතින් ඉතා රසවත් වූ මහත් දිඹුල් ඵලයක් ගෙන පූජා කළයේ. හෙතෙම ඒ පින්කමේ විපාක වශයෙන් කාම සුගතීන්හි ම සැරි සරා මේ මහා භද්‍ර කල්පයේ දී කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ලොව පහළව, පැවැත්වූ දම්සක් දෙසුම් ඇතිව හික්මවිය යුතු ජනයාට අනුග්‍රහ කරන කල්හි උන්වහන්සේගේ සසුනේ පැවිදි විය. පැවිදි වී විදසුනෙහිම සිත පිහිටුවා භාවනාවෙහි නිරත වූයේ, දිනක් උන්වහන්සේ සසර දුක් සිහිකර, අතිශයින්ම සංවේගයට පත්වූයේ විහාරයේ හිඳගෙන ම “රහත් නොවී මෙතැනින් නික්ම නොයමි”යි දැඩි අධිෂ්ඨානයෙන් වෑයම් කළ නමුත් ඤාණය (නුවණ) මුහුකුරා නොගිය බැවින් සිත විදර්ශනාවට නංවා ගැනීමට අපොහොසත් වූහ.
ඉන් කලුරිය කර දෙව් මිනිසුන් අතර සැපවිඳි ඔහු මේ බුද්ධෝත්පාද කාලයේදී රෝහිණී නුවර ක්‍ෂත්‍රිය රජ කුලයේ ඉපිද, පච්චය නමින් ප්‍රකට විය. වැඩිවියට පත්ව පියාගේ ඇවෑමෙන් රාජ්‍යයේ පිහිටි පච්චය තෙමේ දිනක් මහාරාජ බලියක් කරවීමට පටන් ගත්තේය. එහි උත්සවය බැලීමට මහාජන සන්නිපාතයක් විය. ඒ මහා සමාගමයේදී ඔහුට ප්‍රසාදජනනය කිරීම සඳහා ශාස්තෲන්වහන්සේ මහජනයාට පෙනෙමින්ම අහසෙහි වෛශ්‍රවණ විසින් මැවූ රුවන්මය කුළුගෙයි රුවන්මය සිංහාසනයේ වැඩහිඳ දහම් දෙසූ සේක. එහිදී මහත් ජනකායක් ධර්මාවබෝධ කරගත්හ. එසේ දෙසූ දහම් ඇසූ පච්චය රජු ද රජකම හැරදමා පූර්වහේතුසම්පත් ඇති බැවින් සසුනේ පැවිදි විය. ශ්‍රද්ධාවෙන් පැවිදි වූ පච්චය තෙරණුවෝ එදා කාශ්‍යප බුද්ධ ශාසනයේ ප්‍රතිඥා කලාක් මෙන්ම ප්‍රතිඥා තබා විහාරයට පිවිස විදසුන් භාවනාව වැඩූහ. එවිට උන්වහන්සේගේ ඤාණය මුහුකුරා ගොස් තිබූ බැවින් එකෙණෙහිම රහත් වූහ. උන්වහන්සේ අපදාන පාළියේ දී මෙසේ වදාළහ.
“පුරුෂෝත්තම වූ බුදුරජාණන් වහන්සේ විනතා ගංතෙර වැඩ විසූහ. මම එකල සන්සුන් වූ කෙලෙස් දූවිලි පිසලූ එකඟ සිතින් හුන් උන්වහන්සේ දුටුවෙමි.
කෙලෙස් මල සෝදාහල උන්වහන්සේ කෙරෙහි පහන් සිත් ඇති මම දිඹුල් ඵල ගෙන බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට දුන්නෙමි.
මෙයින් කල්ප අනූ එකකට පෙර මම යම් ඵල දානයක් දුන්නෙම් ද ඒ හේතුවෙන් දුගතියක නූපන්නෙමි. ඵල දානයේ විපාක මෙබඳුය”
“මේ මහා භද්‍ර කල්පයේදී පහළ වූ කාශ්‍යප බුදුරදුන්ගේ සසුනෙහි සංවේගයට පත් සිතැති මම පැවිදිවූයෙමි.
එසේ පැවිදි වූ මම භාවනාවට සිත් යොමු කළෙමි. “උතුම් වූ අර්ථයට හෙවත් රහත් බවට පත්නොවී විහාරයෙන් නික්ම නොයමි” යන දැඩි අධිෂ්ඨානයෙන් භාවනා කළත් එකළ මාගේ පැතුම ඉටු නොවිණි. දැන් වනාහි නුවණ මුහුකුරා ගියෙම් අචල වූ නිවනට පත්වූයෙමි. ස්ථිර වූ අච්චුන පදය නම් වූ නිවන් අවබෝධ කරගත් මම දැන් සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත්වූ තම පිළිවෙත් මඟ ප්‍රකාශ කිරීම් වශයෙන් සිය රහත් බව ප්‍රකාශ කරන පච්චය තෙරණුවෝ මේ ගාථා තුන වදාළහ.
“පඤ්චාහාහං පබ්බජිතො - සෙඛො අප්පත්තමානසො,
විහාරං මෙ පවිට්ඨස්ස - චෙතසො පණිධී අහු”
“නාසෙස්සං, න පිවිස්සාමි - විහාරතො න නික්ඛමෙ,
නපි පස්සං, න නිපාතෙස්සං - තණ්හා සල්ලෙ අනූහතෙ”
“තස්ස මෙවං විහරතො - පස්ස විරියපරක්කමං,
තිස්සො විජ්ජා අනුප්පත්තා - කතං බුද්ධස්ස සාසනං”තී.
මෙහි “පඤ්චාහාහං පබ්බජිතො” මම පැවිදි වී දින පසක් ගතවීමි. පැවිදි වූ දින පටන් දින පහක් මේ වනවිට ගෙවී අවසන්ය. “සෙඛො අප්පත්ත මානසො” අධිශීල ශික්‍ෂාදියේ හික්මීම් වශයෙන් සේඛ නම් වීමි. ඉතිරි නොවනසේම මානය මුලුමනින්ම සිඳ දැමීම් අර්ථයෙන් “මානස” නම් වූ අර්හත්‍වයට ඔහු නොපැමිණියේ නුයි “අප්පත්තමානසො” (නොපැමිණි අග්‍රමාර්ග අනියෙම්). “විහාරං මෙ පවිට්ඨස්ස මෙතසො පණිධී අහූ” මෙසේ සේඛයකු වූ මට වසන්නා වූ විහාරයට පැමිණි විට මෙබඳු වූ - දැන් මතු පවසන්නා වූ චිත්ත ප්‍රාර්ථනාවක් ඇති විය. මෙබඳු සිතක් මාහට විය.