උසභ ස්ථවිරගාථා වර්ණනාව
“අම්බපල්ලවසංකාසං” යනු ආයුෂ්මත් උසභ තෙරුන්ගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උසභ තෙරුන් ද පෙර බුදුවරු හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින් දහම් සිදුකරමින් අවුත්, සිඛි නම් භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක උපන්නේ ය. වැඩිවියට පත් සිටුකුමරු දිනක් ඒ ශාස්තෲන් වහන්සේ පිඬුපිණිස හැසිරෙනු දැක පැහැදුණු සිතින් කෝසම්බ ගෙඩියක් දුන්නේ ය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසරා පැමිණි ඔහු, මේ බුද්ධෝත්පාද කාලයේ දී කපිල වස්තුවේ ශාක්‍ය රජ පවුලක උසභ නමින් උපන්නේ ය. වැඩිවියට පත් උසභ කුමරු කිඹුල්වතට වැඩම වූ බුදුරදුන්ගේ උතුම් බුදුසිරි දැකීමෙන් උපන් ශ්‍රද්ධාවෙන් පැවිදි විය. පැවිදි වූ දින පටන් ම මහණ දම් නොපිරූ උසභ හිමියෝ දිවාකාලයේ සමූහ සාකච්ඡාවෙහිද මුලු රැයම නිදාගනිමින් ද කල්ගත කළහ. උන්වහන්සේ දිනක් මුලා වී අසිහියෙන් නිදාගත් කල්හි සිහිනයක් දුටු සේක. “කෙස් රවුල් බා අඹ දලු පාට වූ සිවුරක් පොරවා ගෙන ඇතකු පිට නැඟී නුවර පිඬු පිණිස පිවිසි උන්වහන්සේ මිනිස්සු පැමිණි කල්හි ලැජ්ජාවෙන් ඇතා පිටින් බසිනු “සිහිනෙන් දැක එවේලෙහිම පිබිදුණහ. පිබිද “මම මෙබඳු සිහිනයක් දුටුවේ මුළාව සිහිකල්පනාවෙන් තොරව නිදාගත් බැවිණි”යි උපන් සංවේග ඇති උසභ හිමියෝ විදසුනෙහි සිත පිහිටුවා නොබෝ වේලාවකින්ම රහත් වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ පැවසූහ.
“කුඹුක් රුකක් මෙන් බබළන දේවාති දේව වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ මාර්ගය පිවිසි කල්හි මම කෝසම්බ ඵලයක් පිදුවෙමි.
මීට කල්ප අනූ එකකට පෙර කරන ලද ඒ මහා ඵලදානයේ විපාක වශයෙන් දුගතියක නූපන්නෙමි. ඵලදානයේ විපාක මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
ඉක්බිති උසභ තෙරණුවෝ තමා දුටු සිහිනයම අංකුසයක් කරගනිමින් රහත් බවට පත්වූ හෙයින්, ඒ සිහිනය ප්‍රකාශ කරමින් සිය රහත්භාවය මෙසේ ගාථා දෙකකින් දැක්වූහ.
“අම්බපල්ලවසඞ්කාසං අංසෙ කත්වාන චීවරං,
නිසින්නො හත්ථිගීවායං ගාමං පිණ්ඩාය පාවිසිං”
නිසින්නො හත්ථිගීවායං ගාමං පිණ්ඩාය පාවිසිං”
“හත්ඛික්ඛන්ධතො ඔරුය්හ සංවෙගං අලභිං තදා,
සොහං දිත්තො තදා සන්තො, පත්තො මෙ ආසවක්ඛයො”
සොහං දිත්තො තදා සන්තො, පත්තො මෙ ආසවක්ඛයො”
එහි “අම්බපල්ලවසංකාසං අංසෙ කත්වාන චීවරං” යනු අඹ දළු පාට මෙන් පබළු වන් සිවුරක් උතුරු සළුවක් ලෙස පොරවාගෙන, “ගාමං” ඇතුල් නුවරට ඇතුපිට නැගී පිඬු පිණිස පිවිසියෙමි. පිවිසි කල්හිම මහජනයා විසින් බලනු ලබන්නේ ඇත් කඳෙන් බසින ලද මම නින්දෙන් පිබිදියෙමි. පිබිදි කෙණෙහිම සංවේගයට පත්වීමි. එකල මුලා වී අසිහියෙන් නින්දට පිවිසීම නිසා මෙම සිහිනය දුටුවෙමි. ඇතැමෙක් වනාහී උසභ රජකුමරකුව සිටියදී මේ සිහිනය රාත්රියේදී දැක, උදෑසන ඇතුපිට නැගී නුවර වීථියෙහි හැසිරෙමින් රෑ දුටු සිහිනය සිහිකොට, ඇතුපිටින් බැස සංවේග උපදවා ගෙන ශාස්තෲන් වහන්සේ සමීපයේ පැවිදි වී, රහත් බවට පත්ව උදන් අනමින් මේ ගාථා දෙක වදාළ බව පවසති. “දිත්තො” ඒ රජ කුමරකුව සිටි කාලයේ ජාති මදයෙන් භෝග මද ආදියෙන් ආඩම්බරව සිටියෙම්. ඒ පිළිබඳව සංවේගයට පැමිණියෙමි.
උසභ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
කප්පටකුර ස්ථවිරගාථා වර්ණනාව
“අයමිති කප්පටො” යනු ආයුෂ්මත් කප්පට කුර තෙරුන්ගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇති උන්වහන්සේ ද ඒ ඒ භවයේ දී පින්දහම් රැස්කරගනිමින් අවුත් විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී සිටුගෙයක ඉපිද වැඩිවියට පත්වූහ. දිනක් එම භාග්‍යවතුන් වහන්සේ විනතා නදී තීරයේ එක්තරා රුකක් මුල වැඩහිඳුණු දුටු ඔහු සතුටු සිතින් කේතකී මලින් බුදුන් පිදුවේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසරමින් සැප විඳි හෙතෙම මේ බුද්ධෝත්පාදයේදී දුප්පත් පවුලක ඉපිද තරුණවියට පත්වන තෙක්ම වෙනත් උපායක් නොදන්නේ දිරාගිය වස්ත්‍ර හැඳගෙන නෑඹිලියක් රැගෙන ඒ ඒ තැන බත් හුළු සොයමින් ඇවිද්දේය. එනිසා ඒ දරුවා “කප්පට කුර” යැයි ප්‍රකට විය. වැඩිවයසට පත් ඔහු තණ විකුණා ජීවත් විය. දිනක් තණ කැපීමට කැළයට ගිය ඔහු, එහි එක් රහතන් වහන්සේ නමක් සිටිනු දැක උන්වහන්සේ වෙත පැමිණ වැඳ එකත් පසෙක සිටියේය. රහතන් වහන්සේ ඔහුට දහම් දෙසූශ. ධර්මශ්‍රවණයෙන් ලැබූ ශ්‍රද්ධාව ඇති ඔහු “මේ දුෂ්කර ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක් ද?”යි සිතා පැවිදිව තමා එතෙක් හැඳ සිටි කිළිටි කඩමාල්ල එක් තැනක සැඟවීය. යම් විටෙක උන්වහන්සේට පැවිද්ද පිළිබඳ නො ඇල්මක් උපදීද එවිට ඒ කිලිටි කඩ බලා සංවේග උපදවා ගනියි. මෙසේ සංවේග උපදවා ගත්විට නො ඇලීම දුරු වේ. මෙසේ කරමින් සිටි කප්පට කුර තෙරණුවෝ සත් වරක් උපැවිදි වූහ. මෙම කරුණ සෙසු භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට දැනුම් දුන්හ. දිනක් කප්පරකුර භික්ෂුව ධර්ම සභාවේ පිරිස කෙළවර හිඳ නිදාසිටිනු දුටු භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා දෙකින් චෝදනා කළ සේක.