කප්පටකුර ස්ථවිරගාථා වර්ණනාව
“අයමිති කප්පටො” යනු ආයුෂ්මත් කප්පට කුර තෙරුන්ගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇති උන්වහන්සේ ද ඒ ඒ භවයේ දී පින්දහම් රැස්කරගනිමින් අවුත් විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී සිටුගෙයක ඉපිද වැඩිවියට පත්වූහ. දිනක් එම භාග්‍යවතුන් වහන්සේ විනතා නදී තීරයේ එක්තරා රුකක් මුල වැඩහිඳුණු දුටු ඔහු සතුටු සිතින් කේතකී මලින් බුදුන් පිදුවේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසරමින් සැප විඳි හෙතෙම මේ බුද්ධෝත්පාදයේදී දුප්පත් පවුලක ඉපිද තරුණවියට පත්වන තෙක්ම වෙනත් උපායක් නොදන්නේ දිරාගිය වස්ත්‍ර හැඳගෙන නෑඹිලියක් රැගෙන ඒ ඒ තැන බත් හුළු සොයමින් ඇවිද්දේය. එනිසා ඒ දරුවා “කප්පට කුර” යැයි ප්‍රකට විය. වැඩිවයසට පත් ඔහු තණ විකුණා ජීවත් විය. දිනක් තණ කැපීමට කැළයට ගිය ඔහු, එහි එක් රහතන් වහන්සේ නමක් සිටිනු දැක උන්වහන්සේ වෙත පැමිණ වැඳ එකත් පසෙක සිටියේය. රහතන් වහන්සේ ඔහුට දහම් දෙසූශ. ධර්මශ්‍රවණයෙන් ලැබූ ශ්‍රද්ධාව ඇති ඔහු “මේ දුෂ්කර ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක් ද?”යි සිතා පැවිදිව තමා එතෙක් හැඳ සිටි කිළිටි කඩමාල්ල එක් තැනක සැඟවීය. යම් විටෙක උන්වහන්සේට පැවිද්ද පිළිබඳ නො ඇල්මක් උපදීද එවිට ඒ කිලිටි කඩ බලා සංවේග උපදවා ගනියි. මෙසේ සංවේග උපදවා ගත්විට නො ඇලීම දුරු වේ. මෙසේ කරමින් සිටි කප්පට කුර තෙරණුවෝ සත් වරක් උපැවිදි වූහ. මෙම කරුණ සෙසු භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට දැනුම් දුන්හ. දිනක් කප්පරකුර භික්‍ෂුව ධර්ම සභාවේ පිරිස කෙළවර හිඳ නිදාසිටිනු දුටු භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා දෙකින් චෝදනා කළ සේක.
“අයමීති කප්පටො කප්පටකුරො අච්ඡාය අතිභරිතාය,
අමතඝටිකායං ධම්මකතමත්තො කතපදං ඣානානි ඔචෙතුං”
“මා ඛො ත්‍වං කප්පට පචාලෙසි මා තං උපකණ්ණකම්හි තාළෙස්සං,
නහ ත්‍වං කප්පට මත්තමඤ්ඤාසි සංඝ මජ්ඣම්හි පචලායමානො”
එහි “අයමිති කප්පටො කප්පටකුරො” කප්පටකුර මහණ “මේ මාගේ දිරාගිය වස්ත්‍රයයි. එය පොරවාගෙන පෙර සේම ජීවත්වෙමි”යි උපන් මිථ්‍යා කල්පනා ඇත්තෙකි. අතිශයින් පවිත්‍ර වූ පරිපූර්ණ වූ අමත ඝටය (කළය) ඇති කල්හි, මගේ අමෘත ඝටයෙන් ඒ ඒ තැන්හි දහම් වැසි වස්වන කල්හි ඒ අමෘතය අවබෝධ කරගත යුතුයි. මම අනුශාසනා කරමි. මම දහම් දෙසමි. මේ අඳබාල ලෝකයේ කෙලෙස් නැමති ග්‍රීෂ්මය නසමින් අමාබෙර වයමින් මවිසින් දහම් වැසි වස්වන කල්හි; මේ සස්නේ ධ්‍යාන වැඩීමට මාර්ග ඇතිව ලෞකික ලෝකෝත්තර ධ්‍යාන වැඩීමට කරන ලද මාර්ග හෙළිකිරීම්, වැඩිය යුතු මාර්ග දක්වා ඇති කල්හි; කප්පටකුරය නුඹ ඉන් වැළකී සිටියි. කරන ලද දහම් මග ඇති මගේ ශාසනය පිළිබඳ කළකිරුණු සිතැති, ඒ ආර්‍ය්‍ය මාර්ගයෙන් පහ වූ සිතැතිව නුඹ වෙසෙන්නෙහිය. මෙසේ නැවතත් බඩුත් සමගම සොරා අල්ලා දක්වන්නාක් මෙන් පමා වී වාසය කිරීමේ දොස් දක්වන භාග්‍යවතුන් වහන්සේ “මා ඛො ත්‍වං කප්පට පචාලෙසී” යන ගාථාව වදාළහ.
එහි “මා ඛො ත්‍වං කප්පට පචාලෙසි” යනු “එම්බා කප්පරකුරය! නුඹ මාගේ දම් අසන්නෙමි”යි මෙහි හිඳ නිදා නොගනුව. නින්දට නොයව. නිකරුණේ කල් ගත නොකරව. “මා තං උපකණ්ණකම්හි තාළෙස්සං” මෙසේ නිදා සිටින නුඹගේ කන් මුල, කණ සමීපයේ දේශනා නැමැති අතින් මම නුඹට නො තළන්නෙමි. එහි අරුත නම් - “මින් පසුවවත් මගේ අවවාද අනුව පිළිපදව” යන්නයි. “නහ ත්‍වං කප්පට මත්තමඤ්ඤාසි” කප්පටකරය! නුඹ සග මැද නිදමින් නුඹ තමාගේ ප්‍රමාණය නොදැන සිටින්නෙහිය. “මේ ක්‍ෂණ සම්පත්තිය ඉතා දුර්ලභ වූවකි. ඒ ක්‍ෂණ සම්පත්තිය මට ලැබුණි” යන මෙකරුණවත් නුඹ නො දන්නෙහිය. “නුඹගේ මේ මහත් අපරාධය දෙස නැවත හැරී බලව”යි චෝදනා කළහ.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ගාථා දෙකකින් ඉතා දැඩිව ඒ තෙරුන්ට නිග්‍රහ කර චෝදනා කළ සේක්, අට්ඨිවේධ දුන්නෙන් විද චණ්ඩ ඇතෙකු මාර්ගයට බස්වන්නාක් මෙන් කප්පටකුර තෙරුන්ට සංවේග ඉපද වූ සේක. වහා විදසුනෙහි සිත පිහිට වූ කප්පටකුර තෙරණුවෝ නොබෝ කලකින්ම රහත් වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ පැවසූහ.
“පුරුෂෝත්තම වූ බුදුරජාණන් වහන්සේ විනතා නදී තීරයේ වැඩ හුන් සේක. මනාව සන්සුන් වූ එකඟ සිත් ඇති කෙලෙස් දූවිලි හැර ලූ බුදුරදුන් දුටුවෙමි.
උන්වහන්සේ දැක පහන් සිත් ඇති වූ මම සතුටින් මධු සුවඳ වැගිරෙන වැටකේ මලින් බුදුපියාණන් වහන්සේට පූජා පැවැත්වීමි.