නිසභ ස්ථවිරගාථා වර්ණනාව
“පඤ්චකාම ගුණෙ හිත්වා” යනාදී ගාථා ආයුෂ්මත් නිසභ තෙරුන් විසින් පවසන ලදි. එහි උපත කෙසේ ද? නිසභ තෙරුන් ද පෙර බුදුවරු හමුවේ කරන ලද පුරුදුතා හා ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයේ දී පින්දහම් රැස් කරමින් පැමිණ විපස්සි නම් භාග්යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි කුලගෙයක උපන්නේ ය. වැඩිවියට පත් හෙතෙම දිනක් ශාස්තෲන් වහන්සේ පිඬු පිණිස හැසිරෙනු දැක පැහැදුණු සිතින් දිවුල් ගෙඩියක් පූජා කළේය. ඒ පින්කම නිසා කාමසුගතීන්හිම සැරිසැරූ ඔහු; මේ බුද්ධෝත්පාද කාලයෙදී කෝලිය ජනපදයේ සිටුගෙයක ඉපිද නිසභ නමින් ප්රකට විය. තුරුණු වියට පත් නිසභ කුමරු ශාක්ය කෝලිය යුද්ධාවස්ථාවෙහි දී උතුම් බුද්ධශ්රීය දැක, ලැබූ ශ්රද්ධා ඇතිව සසුනේ පැවිදි ව, එදිනම රහත් විය. අපදාන පාලියේදී නිසභ තෙරණුවෝ මෙසේ පවසා ඇත.
“ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ රන්වන් වූ වීථියට පිළිපන් සම්බුදු රජාණන් වහන්සේ දුටු මම එක් දිවුල් ගෙඩියක් පිදුවෙමි.
එකල මීට කල්ප අනූ එකකට පෙර යම් ඵලයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් මම දුගතියක නූපන්නෙමි. ඵල දානයේ විපාක මෙබඳුය.
දැන් මම කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත්වූ උන්වහන්සේ තම සහායක භික්ෂූහු ප්රමාදීව වසනු හා කල් යවනු දැක, මේ පළමු ගාථාවෙන් ඔවුන්ට අවවාද කළහ.
“පඤ්චකාම ගුණෙ හිත්වා පියරූපෙ මනොරමෙ,
සද්ධාය අභිනික්ඛම්ම දුක්ඛස්සන්තකරො භවෙ”
සද්ධාය අභිනික්ඛම්ම දුක්ඛස්සන්තකරො භවෙ”
එහි අර්ථ මෙසේය- “බාල පුහුදුන් පුද්ගලයාගේ ඇලිය යුතු ස්වභාව ඇති, ප්රියරූපාදියෙහි මනෝඥ ස්වභාව ඇති, මනරම් වූ රූපාදී පංචකාමයන්, කාම ලෝක පැවැත්මට හේතුවන ධර්මතා අත්හැරියෙමි. ඒවා අත්හැර කර්මඵල පිළිබඳ විශ්වාසයෙන් ද රත්නත්රය පිළිබඳ ශ්රද්ධාවෙන් ද ගිහිගෙයින් නික්ම පැවිදි වූ නුවණැති පුද්ගලයා පැවිදි වූ දින සිටම උත්සාහ කරමින්, වෑයම් කරමින් සංසාර දුකින් මිදෙන්නේ ය. සසර දුක කෙළවර කරන්නේ ය” මෙසේ භික්ෂූන්ට අවවාද දුන් නිසභ තෙරණුවෝ, “මෙතෙම අනුන්ටම අවවාද දෙමින් සිටී. තමා වනාහි එය නො කරන්නෙකියි නො සිතාවා” යනුවෙන් සිතා තමන් වහන්සේ අර්හත් මාර්ගයට පිළිපන් බව ප්රකාශ කරමින් මේ දෙවන ගාථාව වදාළහ.
“නාභිනන්දාමි මරණං - නාභිනන්දාමි ජීවිතං,
කාලඤ්ච පටිකංඛාමී - සම්පජානො පතිස්සතො” තී.
කාලඤ්ච පටිකංඛාමී - සම්පජානො පතිස්සතො” තී.
මෙහි “නාභිනන්දාමි මරණං” යනු මම මරණය නොකැමැත්තෙමි. මරණය නො පතමි. “නාභිනන්දාමි ජීවිතං” මෙය වනාහි ඊට හේතු දැක්වීමකි. යම්හෙයකින් මම ජීවිතය පිළිබඳ ආශාවක් නොමැත්තෙම් ද එනිසාම මරණය ද නො පතමි. එහි ද ආශාවක් නැත. යමෙක් අනාගත ජාති-ජරා-මරණාදී කිලිටි දහම් නැවත නැවත සංස්කරණය කරයිද රැස්කරයි ද ඔහු නැවත නැවත ඉපදීම කැමති වේ. ප්රාර්ථනා කරයි. ජීවිතය අවසන් කරන මරණය නො කැමති වේ. නොපතයි. ඒ කෙලෙස් දහම් ප්රහීන නොකළ බැවිනි. රහතන් වහන්සේ සියලුම ආකාරයෙන් රැස්කිරීම් ස්වභාව අත්හැර දමා රැස් කළ දේ වැනසීමෙහි (නිවන් මගෙහි) පිහිටි සේක. සියලුම ආකාරයෙන් ජීවිතය පිළිබඳ පිරිසිඳ දත් බැවින් ජීවිතයද මරණය ද උන්වහන්සේ නො පතති. කැමති නො වෙති. ඒ කෙලෙස් දහම් මනාව ප්රහීන කළ බැවින් මෙසේ වදාළහ. – “ජීවිතය ද නො පවතමි. මරණය ද නො පතමි” මෙසේ රහතන් වහන්සේගේ පිරිනිවීමේ කැමැත්තන්, පිරිනිවන දක්වා වැඩ සිටීමෙන් කියන ලදි. “කාලඤ්ච පටිකංඛාමි සම්පජානො පතිස්සතො” කෙලෙස් පිරිනිවීම සිදු වූ කල්හි, ප්රඥාවේ විපුලත්වයට පැමිණ, සිහි ඇතිව කල්පනාකාරී වූ මම හුදෙක් ස්කන්ධ පිරිනිවීමේ අවස්ථාව කැමති වෙමි. අපේක්ෂා කරමි. එය පැමිණෙනු බලමින් සිටිමි. මාහට මරණයේ හෝ ජීවිතයේ හෝ විශේෂ ඇලීමක් නැත. අර්හත් මාර්ගයෙන් ඒ සියලු ආශාවන් මුලුමනින්ම සිඳ දැමුවෙමි.
නිසභ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
උසභ ස්ථවිරගාථා වර්ණනාව
“අම්බපල්ලවසංකාසං” යනු ආයුෂ්මත් උසභ තෙරුන්ගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උසභ තෙරුන් ද පෙර බුදුවරු හමුවේ කළ ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින් දහම් සිදුකරමින් අවුත්, සිඛි නම් භාග්යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක උපන්නේ ය. වැඩිවියට පත් සිටුකුමරු දිනක් ඒ ශාස්තෲන් වහන්සේ පිඬුපිණිස හැසිරෙනු දැක පැහැදුණු සිතින් කෝසම්බ ගෙඩියක් දුන්නේ ය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසරා පැමිණි ඔහු, මේ බුද්ධෝත්පාද කාලයේ දී කපිල වස්තුවේ ශාක්ය රජ පවුලක උසභ නමින් උපන්නේ ය. වැඩිවියට පත් උසභ කුමරු කිඹුල්වතට වැඩම වූ බුදුරදුන්ගේ උතුම් බුදුසිරි දැකීමෙන් උපන් ශ්රද්ධාවෙන් පැවිදි විය. පැවිදි වූ දින පටන් ම මහණ දම් නොපිරූ උසභ හිමියෝ දිවාකාලයේ සමූහ සාකච්ඡාවෙහිද මුලු රැයම නිදාගනිමින් ද කල්ගත කළහ. උන්වහන්සේ දිනක් මුලා වී අසිහියෙන් නිදාගත් කල්හි සිහිනයක් දුටු සේක. “කෙස් රවුල් බා අඹ දලු පාට වූ සිවුරක් පොරවා ගෙන ඇතකු පිට නැඟී නුවර පිඬු පිණිස පිවිසි උන්වහන්සේ මිනිස්සු පැමිණි කල්හි ලැජ්ජාවෙන් ඇතා පිටින් බසිනු “සිහිනෙන් දැක එවේලෙහිම පිබිදුණහ. පිබිද “මම මෙබඳු සිහිනයක් දුටුවේ මුළාව සිහිකල්පනාවෙන් තොරව නිදාගත් බැවිණි”යි උපන් සංවේග ඇති උසභ හිමියෝ විදසුනෙහි සිත පිහිටුවා නොබෝ වේලාවකින්ම රහත් වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ පැවසූහ.