සෙලිස්සරිය ස්ථවිරගාථා වර්ණනාව
“න තාව සුපිතුං හොති” යනු ආයුෂ්මත් සෝණ සෙට්ඨිපුත්ත තෙරුන්ගේ ගාථාවන් ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කළ පැතුම් ඇතිව අවුත්; සිඛි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී වැද්දෙකු වී ජීවත් වනුයේ දිනක් ශාස්තෲන් වහන්සේ දැක පැහැදුණු සිතින් කුරුඤ්ජිය ඵලයක් ගෙන උන්වහන්සේට පිදූහ. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසරා අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේ දී කපිලවස්තුවේ සෙලිස්සරිය නම් ග්‍රාමභෝජකයාගේ පුතු ලෙස උපන්නේ ය. ඔහු “සෝණ” නාමයෙන් ප්‍රකට විය. තරුණවියට පැමිණි සෝණ භද්දිය ශාක්‍ය රජුගේ සේනාපති විය. ඉහතින් පැවසූ පරිදි භද්දිය ශාක්‍ය රජු පැවිදි වූ කල්හි “රජුත් පැවිදි වුණා. මම ගිහිගෙයි සිටීමෙන් කවර ප්‍රයෝජනයක් ද?”යි සිතා සෝණ පැවිදි වූ නමුත්, භාවනාවෙහි නො ඇලී, නින්දෙහිම ඇලී වාසය කළේය. භාග්‍යවතුන් වහන්සේ අනුපිය නම් අඹ වනයෙහි වැඩ වසන කල්හි සෝණ වෙත තමන් වහන්සේගේ ශරීරාලෝකය පතුරුවා ඔහුට සිහි උපදවා මේ පළමු ගාථාවෙන් අවවාද කළ සේක.
“න තාව සුපිතුං හොති රත්ති නක්ඛත්තමාලිනී,
පටිජග්ගිතු මෙවෙසා රත්ති හොති විජානතා”
“හත්‍ථික්ඛන්‍ධාවපතිතං කුඤ්ජරො චෙ අනුක්කමෙ,
සංගාමෙ මෙ මතං සෙය්‍යො යං චෙ ජීවෙ පරාජිතො” තී.
මෙහි “න තාව සුපිතුං හොති රත්ති නක්ඛත්ත මාලිනී” අයෝග්‍ය අවස්ථා අටක් බැහැරලා නව වන ක්‍ෂණය ලැබ (යෝග්‍ය අවස්ථාවට පැමිණ) සිටියත් නුවණැති පුද්ගලයා විසින් රහත් වන තෙක්ම මේ තරු ඇති රාත්‍රියෙහි නිදාගැනීම නුසුදුසුයි. නිදීමට සුදුසු කාලයක් නොවේ. මේ රාත්‍රිය වනාහි නුවණැත්තන් විසින් පිළිවෙත් රැකීමට ම යෝග්‍ය වූවකි. මේ රාත්‍රිය නම් මිනිසුන්ගේ ද මෘගපක්‍ෂීන්ගේ ද නින්දට යෑමෙන් විශේෂයෙන්ම නිශ්ශබ්ද වූ නිසසල රාත්‍රියකි. එනිසා පිළිවෙතින් තමා මනාව ආරක්‍ෂා කර ගැනීම සඳහා නුවණැත්තන් විසින් මේ රාත්‍රියේ නිදි වැරීම ඉතා කැමතිවූවකි.
ඒ ඇසූ සෝණ තෙරණුවෝ සංවේග උපදවාගෙන, ලැජ්ජා බිය පෙරටු කරගෙන, අබ්භෝකාසිකංගය නම් ධුතාංගය අධිෂ්ඨාන කරගෙන නිදිවරා විදසුන් කමටහන වඩමින් ම “හත්‍ථික්ඛන්‍ධාව පතිතං” යන දෙවන ගාථාව වදාළ සේක. එහි “අවපතිතං” යනු යටිකුරුව වැටේ. පා උඩට සිටින සේ මුව යටට සිටින සේ වැටුණි. “කුඤ්ජරො චෙ අනුක්ක මෙ” ඉදින් ඇතා පෑගුවේ නම්. මෙහි අදහස මෙසේ දත යුතුයි. – “යම් කලෙක මම ඇති පාට නැගී සංග්‍රාමයට පිවිසියෙම්. ඉදින් සටනේදී ඇත් කදින් වැටුණහොත්, එකල්හි මම ඒ සංග්‍රාම භූමියේදී ඇතාටම පැගී මිය යන්නෙමි. එම මරණය මා හට උතුම් වේ. දැන් මෙසේ කෙලෙසුන්ට පැරදී “කෙලෙස් බරිතව ජීවත්වීම නොහොබී.” මේ ගාථාව දේශනා කරද්දීම විදසුන් වැඩූ සෝණ තෙරණුවෝ රහත් බව ලබාගත්හ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.
“පෙර මම වනයේ හැසිරෙන මුව වැද්දෙක් වීමි. එකල සියලු දහම්හි පරතෙරට පත්වූ කෙලෙස් දූවිලි ඉවත ලූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
පහන් සිත් ඇති මම කුරඤ්ජිය ඵලයක් ගෙන, වීර වූ පින්කෙතක් වූ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට පිදුවෙමි.
එදා මීට කල්ප තිස් එකකට පෙර යම් ඵලදානයක් දුනිම් ද එහි විපාක වහයෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. ඵලදානයේ විපාක මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත්බවට පත් සෝණ තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ වදාළ ගාථාව සහ තමන් වහන්සේ වදාළ ගාථාව යන දෙකම “හත්‍ථික්ඛන්‍ධාවපතිතං.....” යනාදී වශයෙන් නැවත වදාළහ. එයම උන්වහන්සේගේ රහත් බව ප්‍රකාශ කිරීම විය.
සෝණ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
නිසභ ස්ථවිරගාථා වර්ණනාව
“පඤ්චකාම ගුණෙ හිත්‍වා” යනාදී ගාථා ආයුෂ්මත් නිසභ තෙරුන් විසින් පවසන ලදි. එහි උපත කෙසේ ද? නිසභ තෙරුන් ද පෙර බුදුවරු හමුවේ කරන ලද පුරුදුතා හා ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේ දී පින්දහම් රැස් කරමින් පැමිණ විපස්සි නම් භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි කුලගෙයක උපන්නේ ය. වැඩිවියට පත් හෙතෙම දිනක් ශාස්තෲන් වහන්සේ පිඬු පිණිස හැසිරෙනු දැක පැහැදුණු සිතින් දිවුල් ගෙඩියක් පූජා කළේය. ඒ පින්කම නිසා කාමසුගතීන්හිම සැරිසැරූ ඔහු; මේ බුද්ධෝත්පාද කාලයෙදී කෝලිය ජනපදයේ සිටුගෙයක ඉපිද නිසභ නමින් ප්‍රකට විය. තුරුණු වියට පත් නිසභ කුමරු ශාක්‍ය කෝලිය යුද්ධාවස්ථාවෙහි දී උතුම් බුද්ධශ්‍රීය දැක, ලැබූ ශ්‍රද්ධා ඇතිව සසුනේ පැවිදි ව, එදිනම රහත් විය. අපදාන පාලියේදී නිසභ තෙරණුවෝ මෙසේ පවසා ඇත.
“ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ රන්වන් වූ වීථියට පිළිපන් සම්බුදු රජාණන් වහන්සේ දුටු මම එක් දිවුල් ගෙඩියක් පිදුවෙමි.
එකල මීට කල්ප අනූ එකකට පෙර යම් ඵලයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් මම දුගතියක නූපන්නෙමි. ඵල දානයේ විපාක මෙබඳුය.
දැන් මම කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත්වූ උන්වහන්සේ තම සහායක භික්ෂූහු ප්‍රමාදීව වසනු හා කල් යවනු දැක, මේ පළමු ගාථාවෙන් ඔවුන්ට අවවාද කළහ.
“පඤ්චකාම ගුණෙ හිත්‍වා පියරූපෙ මනොරමෙ,
සද්ධාය අභිනික්ඛම්ම දුක්ඛස්සන්තකරො භවෙ”
එහි අර්ථ මෙසේය- “බාල පුහුදුන් පුද්ගලයාගේ ඇලිය යුතු ස්වභාව ඇති, ප්‍රියරූපාදියෙහි මනෝඥ ස්වභාව ඇති, මනරම් වූ රූපාදී පංචකාමයන්, කාම ලෝක පැවැත්මට හේතුවන ධර්‍මතා අත්හැරියෙමි. ඒවා අත්හැර කර්මඵල පිළිබඳ විශ්වාසයෙන් ද රත්නත්‍රය පිළිබඳ ශ්‍රද්ධාවෙන් ද ගිහිගෙයින් නික්ම පැවිදි වූ නුවණැති පුද්ගලයා පැවිදි වූ දින සිටම උත්සාහ කරමින්, වෑයම් කරමින් සංසාර දුකින් මිදෙන්නේ ය. සසර දුක කෙළවර කරන්නේ ය” මෙසේ භික්‍ෂූන්ට අවවාද දුන් නිසභ තෙරණුවෝ, “මෙතෙම අනුන්ටම අවවාද දෙමින් සිටී. තමා වනාහි එය නො කරන්නෙකියි නො සිතාවා” යනුවෙන් සිතා තමන් වහන්සේ අර්හත් මාර්ගයට පිළිපන් බව ප්‍රකාශ කරමින් මේ දෙවන ගාථාව වදාළහ.