ඛිතක ස්ථවිරගාථා වර්ණනාව
“කස්ස සෙලූපමං චිත්තං” යනු ආයුෂ්මත් ඛිතක තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේ දී පින් කමින් අවුත් විපස්සි නම් භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී බන්‍ධුමතී නුවර ආරාම ආරක්ෂකයෙක් ව ජීවත් විය. එක් දිනක් ඔහු භාග්‍යවතුන් වහන්සේ අහසින් වඩිනු දැක පැහැදුණු සිතින් පොල් ගෙඩියක් පූජා කරනු කැමති විය. ශාස්තෲන්වහන්සේ ඔහුට අනුග්‍රහ පිණිස අහසෙහි වැඩ හිඳම එම පූජාව පිළිගත් සේක. එය දුටු ආරාම ආරක්ෂකයා මහත් වූ ප්‍රීති ප්‍රමෝදයට පැමිණියේය. ඒ පින්කම නිසා දෙව් මිනිස් දෙගතියේ සැරි සැරූ හෙතෙම මේ බුද්ධෝත්පාදයේදී කොසොල් රට බමුණු පවුලක ඛිතක නමින් ඉපද වැඩිවියට පත්ව ශාස්තෲන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කළේය. ඉන් ලබන ලද ශ්‍රද්ධා ඇතිව සසුනේ පැවිදි වූ ඔහු කමටහන් ගෙන ආරණ්‍යයට වැඩමවා උත්සාහ කර, නොබෝ දිනකින්ම රහත් ඵලය ලබා ගත්තේය. අපදාන පාළියේ දී ඛිතක තෙරණුවෝ මෙසේ පැවසූහ.
“එකල මම බන්‍ධුමතී නුවර ආරාමිකයෙක් වීමි. අහසෙහි වඩින කෙලෙස් රජස් විරහිත බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
මම නාළිකේර ඵලයක් (පොල් ගෙඩියක්) ගෙන උන්වහන්සේට පිදුවෙමි. මහත් යශස් ඇති බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ අහසේ වැඩහිඳ ම එය පිළිගත් සේක.
මට ප්‍රීතිය උපදවන්නා වූ මෙලොවදී ම සුව එළවන්නා වූ ඵලය පහන් සිතින් බුදුරදුන්ට පූජා කළෙමි.
ඉන් මහත් වූ ප්‍රීතියටද උතුම් සැපයටද පැමිණියෙමි. ඒ ඒ තැන උපන්නා වූ මා හට රුවන් පහළ වේ.
මීට කල්ප අනූ එකකට පෙර යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වාම දුගතියක නූපන්නෙමි.
ම විසින් දැන් දිවැස පිරිසිදු කරන ලදි. මම සමාධියට සම වැදීමෙහි දක්‍ෂ වෙමි. ෂඩ් අභිඥාවන් හි පරතෙරට පැමිණියෙමි. ඵල දානයේ විපාක මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත් වූ ඛිතක තෙරණුවන් ඵල සමවතින් ම සැපයෙන් හා නිවන් සැපයෙන් යුක්තව වෙසෙන කල්හි ප්‍රදාන පරිග්‍රාහක තෙරණුවෝ එම ආරණ්‍යායතනයට වැඩම කළහ. එහි වසන භික්‍ෂූන් පිළිබඳ විමසීම සඳහා උන්වහන්සේ මේ පළමු ගාථාව වදාළහ.
“කස්ස සෙලූපමං චිත්තං ඨිතං නානුපකම්පතී,
විරත්තං රජනීයෙසූ කුප්පනීයෙ න කුප්පතී,
යස්සෙවං භාවිතං චිත්තං කුතො තං දුක්ඛමෙස්සතී”
මෙහි “කස්ස සෙලූපමං චිත්තං ඨිතං නානුපකම්පතී” යනු මේ අරණ්‍යායතනයේ වෙසෙන කවර භික්‍ෂුවකගේ සිත මගඵල අවබෝධයෙන් ඒකඝන වූ ගල් පර්වතයක් මෙන් පවතී ද? සියලු ආශාවන්ගේ අභාවයෙන් වශීභාවයට පත් වූ බැවින් ද සියලුම ආකාරයේ ලෝක ධර්මතාවන්ගෙන් (අටලෝ දහමින්) කම්පා නොවී නොසැලී පවතීද? දැන් එවැනි භික්ෂුවගේ අකම්පිත බවට හේතු දැක්වීම් වශයෙන් “විරත්තං” යනාදිය වදාළහ. “විරත්තං රජනීයෙසු” විරාග නම් වූ ආර්ය මාර්ගයෙන් සිත් අලවන රාගය ඉපදීමට හේතුවන ත්‍රෛභූමික ධර්මයන්හි නොඇලුණු, “ආර්ය මාර්ගයෙන් මුලුමනින්ම සිඳ දැමූ රාග ඇති” යන අර්ථයයි. “කුප්පනීයෙ” හැපීම්-ගැටීම් ඇති සියලු ක්‍රෝධ සහිත වස්තූන්හි නොකිපේ. සිත දූෂ්‍ය නොවේ. විකාරයට-වෙනසට නොපැමිණේ. “යස්සෙවං භාවිතං චිත්තං” යම් ආර්ය පුද්ගලයෙකුගේ සිත, මනස මෙසේ තාදි භාවයෙන් (කෙළෙස් දුරුකර) වඩන ලද ද “කුතො තං දුක්ඛමෙස්සතී” ඒ උතුම් පුද්ගලයාට ඇලීම් වශයෙන් හෝ සංස්කාර වහයෙන් හෝ කෙසේ නම් දුකක් පැමිණෙන්නේද? “මෙවන් පුද්ගලයන්ට දුකක් නොමැත” යන අරුතයි.
මෙසේ අනියම් වශයෙන් විචාළ අර්ථය ඛිතක තෙරණුවෝ තමා වෙත සමීප කරගනිමින් පිළිතුරු දීම් වශයෙන් මේ දෙවන ගාථාව වදාරා සිය රහත් බව ප්‍රකාශ කළහ.
“මම සෙලූපමං චිත්තං ඨිතං නානුකම්පතී,
විරත්තං රජනීයෙසු කුප්පනීයෙ න කුප්පතී,
මමෙවං භාවිතං චිත්තං කුතො මං දුක්ඛමෙස්සතී” ති
මෙම ගාථාවේ අර්ථ ඉහතින් ද පැවසෙන බැවින් ඉතා ප්‍රකට ය.
ඛිතක ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
සෙලිස්සරිය ස්ථවිරගාථා වර්ණනාව
“න තාව සුපිතුං හොති” යනු ආයුෂ්මත් සෝණ සෙට්ඨිපුත්ත තෙරුන්ගේ ගාථාවන් ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කළ පැතුම් ඇතිව අවුත්; සිඛි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී වැද්දෙකු වී ජීවත් වනුයේ දිනක් ශාස්තෲන් වහන්සේ දැක පැහැදුණු සිතින් කුරුඤ්ජිය ඵලයක් ගෙන උන්වහන්සේට පිදූහ. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසරා අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේ දී කපිලවස්තුවේ සෙලිස්සරිය නම් ග්‍රාමභෝජකයාගේ පුතු ලෙස උපන්නේ ය. ඔහු “සෝණ” නාමයෙන් ප්‍රකට විය. තරුණවියට පැමිණි සෝණ භද්දිය ශාක්‍ය රජුගේ සේනාපති විය. ඉහතින් පැවසූ පරිදි භද්දිය ශාක්‍ය රජු පැවිදි වූ කල්හි “රජුත් පැවිදි වුණා. මම ගිහිගෙයි සිටීමෙන් කවර ප්‍රයෝජනයක් ද?”යි සිතා සෝණ පැවිදි වූ නමුත්, භාවනාවෙහි නො ඇලී, නින්දෙහිම ඇලී වාසය කළේය. භාග්‍යවතුන් වහන්සේ අනුපිය නම් අඹ වනයෙහි වැඩ වසන කල්හි සෝණ වෙත තමන් වහන්සේගේ ශරීරාලෝකය පතුරුවා ඔහුට සිහි උපදවා මේ පළමු ගාථාවෙන් අවවාද කළ සේක.
“න තාව සුපිතුං හොති රත්ති නක්ඛත්තමාලිනී,
පටිජග්ගිතු මෙවෙසා රත්ති හොති විජානතා”
“හත්‍ථික්ඛන්‍ධාවපතිතං කුඤ්ජරො චෙ අනුක්කමෙ,
සංගාමෙ මෙ මතං සෙය්‍යො යං චෙ ජීවෙ පරාජිතො” තී.
මෙහි “න තාව සුපිතුං හොති රත්ති නක්ඛත්ත මාලිනී” අයෝග්‍ය අවස්ථා අටක් බැහැරලා නව වන ක්‍ෂණය ලැබ (යෝග්‍ය අවස්ථාවට පැමිණ) සිටියත් නුවණැති පුද්ගලයා විසින් රහත් වන තෙක්ම මේ තරු ඇති රාත්‍රියෙහි නිදාගැනීම නුසුදුසුයි. නිදීමට සුදුසු කාලයක් නොවේ. මේ රාත්‍රිය වනාහි නුවණැත්තන් විසින් පිළිවෙත් රැකීමට ම යෝග්‍ය වූවකි. මේ රාත්‍රිය නම් මිනිසුන්ගේ ද මෘගපක්‍ෂීන්ගේ ද නින්දට යෑමෙන් විශේෂයෙන්ම නිශ්ශබ්ද වූ නිසසල රාත්‍රියකි. එනිසා පිළිවෙතින් තමා මනාව ආරක්‍ෂා කර ගැනීම සඳහා නුවණැත්තන් විසින් මේ රාත්‍රියේ නිදි වැරීම ඉතා කැමතිවූවකි.
ඒ ඇසූ සෝණ තෙරණුවෝ සංවේග උපදවාගෙන, ලැජ්ජා බිය පෙරටු කරගෙන, අබ්භෝකාසිකංගය නම් ධුතාංගය අධිෂ්ඨාන කරගෙන නිදිවරා විදසුන් කමටහන වඩමින් ම “හත්‍ථික්ඛන්‍ධාව පතිතං” යන දෙවන ගාථාව වදාළ සේක. එහි “අවපතිතං” යනු යටිකුරුව වැටේ. පා උඩට සිටින සේ මුව යටට සිටින සේ වැටුණි. “කුඤ්ජරො චෙ අනුක්ක මෙ” ඉදින් ඇතා පෑගුවේ නම්. මෙහි අදහස මෙසේ දත යුතුයි. – “යම් කලෙක මම ඇති පාට නැගී සංග්‍රාමයට පිවිසියෙම්. ඉදින් සටනේදී ඇත් කදින් වැටුණහොත්, එකල්හි මම ඒ සංග්‍රාම භූමියේදී ඇතාටම පැගී මිය යන්නෙමි. එම මරණය මා හට උතුම් වේ. දැන් මෙසේ කෙලෙසුන්ට පැරදී “කෙලෙස් බරිතව ජීවත්වීම නොහොබී.” මේ ගාථාව දේශනා කරද්දීම විදසුන් වැඩූ සෝණ තෙරණුවෝ රහත් බව ලබාගත්හ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.