සම්බුලකච්චායන ස්ථවිරගාථා වර්ණනාව
“දෙවො වා” යනු ආයුෂ්මත් සම්බුල කච්චායන තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හිදී පින් රැස් කරමින් අවුත්, මීට කල්ප අනූ හතරකට පෙර දී සිටුගෙයක උපන්හ. නුවණැති බවට පත්වූ ඔහු දිනක් සතරංසි නම් පසේ බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගී සිට, පිඬු පිණිස හැසිරෙනු දුටුවේය. දැක තල්ගෙඩියක් උන්වහන්සේට පූජා කළේය. ඒ පින්කම නිසා දෙව් මිනිස් දෙගතියෙහි සැරි සැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේදී මගධ රට ගහපති කුලයක ඉපිද සම්බුල යන නම ලැබීය. කච්චායන ගෝත්රයේ වූ බැවින් සම්බුලකච්චායන යැයි ඔහු ප්රකට විය.
වැඩිවියට පත්ව ශාස්තෘෘන් වහන්සේගෙන් ධර්ම ශ්රවණය කළ සම්බුල කච්චායන තෙමේ ශ්රද්ධාවෙන් පැවිදිව හිමවත සමීපයේ භේරව නම් පර්වත ගුහාවෙහි වසමින් විදසුන් කමටහන වැඩුවේය. එක් දිනක් මහත් වූ අකාල මේඝයක් සිය දහස් වර ගුගුරමින්, ගර්ජනා කරමින් විදුලිය ගසමින් ගඩ ගඩ හඬින් පහලට වසින්නට පටන් ගත්තේය. හෙන පිපිරුවේය. ඒ ශබ්දය ඇසූ දිවි, වලස්, වන මී, ඇත් ආදී සත්තු බියපත්ව මහ හඬින් ශබ්ද කළහ. තෙරුන් වහන්සේ අරඹන ලද විදසුන් භාවනා ඇතිව කයේත් සිතේත් අපේක්ෂාවක් නොමැති හෙයින් දුරු වූ ලොමුඩැහැ ගැනීම් ඇති වූහ. වැස්ස පිළිබඳ නොකැමතිව විදසුනෙහි සිත පිහිටුවා ගත් උන්වහන්සේගේ ශරීරය ග්රීෂ්මය දුරු වී යෝග්ය සෘතු ලැබීමෙන් සංයම විය. සන්සුන් වූ සිත එකෙණෙහිම විදසුනට නංවා ෂඩ් අභිඥා සහිතව රහත් ඵලයෙහි පිහිටියේය. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.
“තමන් වහන්සේ විසින් සත්යාවබෝධ කරගත් අපරාජික වූ සතරංසි නම් පසේ බුදුරජාණන් වහන්සේ සමවතින් නැගිට පිඬු පිණිස හැසිරුණු සේක.
තල් ගෙඩි අතේ තබාගෙන සිටි මම ඒ නර ශ්රේෂ්ඨයන් වහන්සේ දැක, සමීපයට ගියෙමි. මම පැහැදුණු සිතින් තල් ගෙඩියක් පූජා කළෙමි.
මීට කල්ප අනූ හතරකට පෙර යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් දුගතියක නූපන්නෙමි. ඵල දානයේ විපාක මෙබඳු ය.
දැන් මම කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
මෙසේ රහත් බවට පත් වූ උන්වහන්සේ තම පිළිවෙත සිහිපත් කර බලා සතුටට පත් වූසේක්, ප්රීතිය පහළ කරමින් සිය රහත් බව මෙම ගාථා දෙකෙන් වදාළහ.
“දෙවො ච වස්සති දෙවො ච ගළගළා යති,
එකකොචාහං භෙරවෙ බිලෙ විහරාමි,
තස්ස මය්හං එකකස්ස භෙරවෙ බිලෙ විහරතො,
නත්ථි භයං වා ඡම්හිතත්තං වා ලොමහංසො වා”
එකකොචාහං භෙරවෙ බිලෙ විහරාමි,
තස්ස මය්හං එකකස්ස භෙරවෙ බිලෙ විහරතො,
නත්ථි භයං වා ඡම්හිතත්තං වා ලොමහංසො වා”
“ධම්මතා මමෙසා යස්ස මෙ, එක්කස්ස භෙරවෙ බිලෙ විහරතො,
නත්ථි භයං වා ඡම්හිතත්තං වා ලොමහංසො වා”
නත්ථි භයං වා ඡම්හිතත්තං වා ලොමහංසො වා”
මෙහි “දෙවො ච වස්සති දෙවො ච ගළගළා යති” යනු වර්ෂාව, මේඝය වසියි. ගළ ගළ හඬින් ගලා යයි. ඒ ගර්ජනාවෙහි අනුකරණය දැක්වීමයි. “එකකොචාහං භෙරවෙ බිලෙ විහරාමි” මම ද හුදෙකලාව, තනිව, බියක් නොමැතිව මේ පර්වත ගුහාවෙහි වසමි. මෙසේ වූ සිහිය ඇතිව වෙසෙන මා හට “නත්ථි භයං වා ඡම්හි තත්තං වා ලොමහංසො වා” සිතේ තැතිගැනීම්, භයක් ආදියක් හෝ ඒ නිමිති කරගෙන ශරීරයේ තැති ගැනීමක්, ලොමු දහ ගැනීමක් හෝ නැත.
“තස්මා” යනුවේ ඒ කාරණය - හේතුව දක්වයි. “ධම්මතා මමෙසා” මේ භය පිළිබඳ පිරිසිඳ නොදත් තැනැත්තාට ප්රහීන නොවූ ඡන්ද රාග ඇති බැවින් භය විය යුතුයි. මම වනාහි සියලු අයුරින්ම භය පිරිසිඳ දත්තෙමි. එහි ඡන්දරාගය මුළුමනින්ම සිඳ දැමුවෙමි. භයවීම් ආදිය නොමැති හෙයින් “මෙය මාගේ ධර්මතාවකි. මෙය මාගේ ධර්ම ස්වභාවයකි” යනුවෙන් රහත් බව ප්රකාශ කරයි.