ඉසිදින්න ස්ථවිරගාථා වර්ණනාව
“දිට්ඨා මයා” යනු ආයුෂ්මත් ඉසිදින්න තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේදී ඒ ඒ භවයේදී පින්දහම් සිදුකරමින් අවුත්, විපස්සි භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සිටුගෙයක ඉපිද නිසිවියට පත් වූහ. දිනක් ඔහු විජිනිපතක් (වටා පතක්) ගෙන බෝධියට පූජා කළේය. ඒ පින්කමේ විපාක ලෙස දෙව්ලොව උපන් හෙතෙම; කාම සුගතීන්හි සැරිසරා අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේ දී සුනාපරන්ත ජනපදයේ සිටුගෙයක ඉපිද “ඉසිදින්න” නමින් ප්‍රකට විය. තුරුණුවියට පත් වූ ඔහු ශාස්තෲන් වහන්සේ සඳුන් මල් පිළිගත් අවස්ථාවෙහි වූ පෙළහර දැක පැහැදීමෙන්, උන්වහන්සේ වෙත පැමිණ ධර්මශ්‍රවණය කළේය. දේශනාව අවසන් හි ඉසිදින්න සෝවාන් විය. ගිහිගෙයි වසන ඔහුගේ දියුණුව කැමති දෙවියෙක් මේ ගාථා දෙකින් ඔහුට චෝදනා කළේය.
“දිට්ඨා මයා ධම්මධරා උපාසකා, කාමා අනිච්චා ඉති භාසමානා,
සාරත්තරත්තා මණිකුණ්ඩලෙසූ, පුත්තෙසු දාරෙසු ච තෙ අපෙක්ඛා”
“අද්ධා න ජානන්ති යථාව ධම්මං, කාමා අනිච්චා ඉති චාපි ආහු,
රාගංච තෙසං න බලත්‍ති ඡෙත්තුං, තස්මා සිතා පුත්තදාරං ධනඤ්චා”ති.
මෙහි “දිට්ඨා මයා ධම්මධරා උපාසකා කාමා අනිච්චා ඉති භාසමානා” මේ බුදු සසුනෙහි ඇතැම් පර්යාප්ති ධර්මය දරාගත් උපාසකයෝ මවිසින් දක්නා ලදහ. පර්යාප්තිය දරණ බැවින් ම ඔවුහු; “කාමය නම් අනිත්‍ය වූවකි. දුක් ගෙන දෙන්නකි. වෙනස්වන ස්වභාව ඇත්තකි” යනුවෙන් කාමයන්හි ආදීනව දැක්වෙන (ප්‍රතිසංයුක්ත) ධර්මය පවසති. දෙසති. නමුත් තමා ම මිණිකොඬොල් ආභරණවල ද අඹු දරුවන් කෙරෙහි ද විශේෂයෙන් ඇලී අපේක්‍ෂා සහිතව සිටිති. බහුල වූ රාගයෙන් යුක්තව මාණික්‍යමය වූ මිණිකොඬොල් ආදී ආභරණ කෙරෙහි ද අඹුදරුවන් කෙරෙහි ද අධික ප්‍රේමයෙන්-සෙනෙහසින් ඇලී ගැලී අනිකක් කරති. අනිකක් කියති. මෙබඳු උපාසකවරු මවිසින් දක්නා ලදි.
“යතො” ඒ උපාසකවරු මිණිකොඬොල් ආභරණයන්හි සහ අඹුදරුවන් කෙරෙහි අපේක්‍ෂා සහගත වන බැවින් මේ බුදුසසුන තත්ත්‍වාකාරයෙන්, ඒකාන්තයෙන් අවබෝධ කර නොගනිති. එනමුත් “කාමයෝ අනිත්‍යයහ” යනාදී ලෙස පවසති. “ස්වාභාවයෙන්ම ඇලුණා වූ චිත්ත ස්වභාවයෙන් යුතු වෙති” යන අදහසයි. “රාගඤ්ච තෙසං න බලත්‍ථි ඡෙන්තුං” ඒ උපාසකවරුන්ට රාගය සිඳ දැමීමට සමත් වූ ඥාන බලයක් නැත. එනිසා ඔවුහු තණ්හාවෙන් ඇලී-ගැලී, බදාගෙන අඹුදරුවන් ද ධනය ද අත්නොහරිති. මේ සියල්ල ඒ දෙවියා විසින් අන්‍යාකාරයකින් ඒ උපාසකයා සඳහාම පවසන ලදි. මෙම වදන් ඇසූ ඉසිදින්න, සංවේග උපදවාගෙන සසුනේ පැවිදි වී නොබෝ දිනකින්ම රහත් විය. අපාදන පාළියේ දී උන්වහන්සේ මෙසේ පැවසූහ.
“ඒ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධත්‍වය සඳහා මහෝපකාරී වූ උතුම් බෝධියට සතුටු සිතින් වටාපතක් ගෙන මම පූජා කළෙමි.
මීට කල්ප අනූ එකකට පෙර එසේ උතුම් බෝධිය පිදුවෙම් ද එතැන් පටන් මම දුගතියක නූපන්නෙමි.
දැන් මවිසින් කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
මෙසේ රහත්බවට පත්වූ ඉසිදින්න තෙරණුවෝ සිය අර්හත්‍වය ප්‍රකාශ කිරීම සඳහා එසේ දෙවියා විසින් පැවසූ ගාථාම නැවත වදාළහ.
ඉසිදින්න ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
සම්බුලකච්චායන ස්ථවිරගාථා වර්ණනාව
“දෙවො වා” යනු ආයුෂ්මත් සම්බුල කච්චායන තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හිදී පින් රැස් කරමින් අවුත්, මීට කල්ප අනූ හතරකට පෙර දී සිටුගෙයක උපන්හ. නුවණැති බවට පත්වූ ඔහු දිනක් සතරංසි නම් පසේ බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගී සිට, පිඬු පිණිස හැසිරෙනු දුටුවේය. දැක තල්ගෙඩියක් උන්වහන්සේට පූජා කළේය. ඒ පින්කම නිසා දෙව් මිනිස් දෙගතියෙහි සැරි සැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේදී මගධ රට ගහපති කුලයක ඉපිද සම්බුල යන නම ලැබීය. කච්චායන ගෝත්‍රයේ වූ බැවින් සම්බුලකච්චායන යැයි ඔහු ප්‍රකට විය.