උපවාන ස්ථවිරගාථා වර්ණනාව
“අරහං සුගතො” යනු ආයුෂ්මත් උපවාන තෙරුන් වහන්සේගේ ගාථාවන් ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ පෙර පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී දිළිඳු කුලයක ඉපිද තුරුණුවියට පැමිණියහ. එම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි ධාතුගෙන මිනිස්, දෙවි, නා, ගරුඬ, යක්‍ෂ, කුම්භාණ්ඩ හා ගාන්ධර්වයන් විසින් සත් රුවන්මය සත් යොදුනක් පමණ වූ ස්තූපයක් සාදවන ලදි. එකල්හි එතැනට පැමිණි දිළිඳු පුද්ගලයා තම ඉතා පිරිසිදු වූ උතුරු සළුව ගෙන උණ ගසක කොඩියක් සේ බැඳ චෛත්‍යයට පූජා කළේය. දෙවියන් විසින් සෑයේ පූජාවන් ආරක්‍ෂා කිරීමට යෙද වූ අභිසම්මතක නම් යක්‍ෂයා නොපෙනෙන කයක් ඇතිව, එම කොඩිය ගෙන අහසේ සිටිමින් තෙවරක්ම සෑය ප්‍රදක්‍ෂිණා කළේය. මෙය දුටු දිළිඳු මිනිසා අතිශයින් සතුටු විය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිසුන් අතර සැරිසැරූ හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේදී සැවැත් නුවර බමුණු කුලයක ඉපිද “උපවාන” නමින් ප්‍රකටව තුරුණුවියට පැමිණියේය. ජේතවනාරාමය පිළිගන්නා දින අසිරිමත් බුදු සිරි දුටු උපවාන බමුණා පැහැදී ශ්‍රද්ධාවෙන් බුදුසසුනේ පැවිදි විය. විදසුන් කමටහනට සිත් යොමුකළ උපවාන තෙරණුවෝ නොබෝ දිනකින් ම ෂඩ් අභිඥා ලාභී මහතෙරනමක් බවට පත්වූහ. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ පැවසූහ.
“සියලු ධර්මයන්ගේ පරතෙරට ගිය, පස්මරුන් දිනූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ගිනිකඳක් මෙන් බබළමින් පිරිනිවන් පෑ සේක.
මහජනයා එක් රැස්ව තථාගතයන් වහන්සේ පුදා මැනවින් සෑයක් කරවා සර්වඥ දේහය එහි නැංවූහ.
එහි ශරීරය ආදාහනය කොට ධාතු ගෙනවුත්, ඒ සියලු දිව්‍ය මනුෂ්‍යාදීහු බුද්ධ ස්තූපයක් සෑදුහ.
ඒ උතුම් සෑයෙහි පළමු නිම් වළල්ල රන්මය වේ. දෙවැන්න මිණිමය වේ. තෙවැන්න රිදීමුවා ය. සිවුවැන්න පිළිඟු මුවාය.
පස්වන නිම්වළල්ල පද්මරාග මාණික්‍යමය වේ. සයවැන්න මැසිරිගල්මය වේ. වේදිකාව රන්මුවා වේ. සෑය සියලුම රත්නයන්ගෙන් කරන ලදුව යොදුනක් උස විය.
එවිට දෙවියෝ සාකච්ඡා කළහ. “තාදී ගුණ ඇති සර්වඥයන් වහන්සේට අපි ද සෑයක් කරමු.
උන්වහන්සේගේ ධාතු වෙන් නොවූහ. මුළු සිරුරම එකට කැටිව තිබේ. එනිසා අපි මේ සෑයටම කඤ්චුකයක් කරමු.”
මෙසේ සාකච්ඡා කළ දෙවියෝ සත් රුවනින් යොදුනක් උස සෑයක් ඒ මත්තෙහි කරවූහ. මෙසේ යොදුන් දෙකක් උස වූ සෑයෙන් අඳුර ද දුරුකරන ආලෝකයක් නිකුත් විය.
නාගයෝ ද රැස්වී සාකච්ඡා කළහ. “මිනිස්සු ද දෙවියෝ ද බුදුරජාණන් වහන්සේට සෑ කරවූහ.
අපි ද පමා නොවෙමු. දෙවියන් සහිත ලෝ වැස්සා ද පමා නොවෙති. තාදී ගුණ ඇති ලෝක නාථයන් වහන්සේට අපි ද සෑයක් කරවන්නෙමු.”
මෙසේ කථා කළ නාගයෝ ඉන්‍ද්‍රනීල මහානීල හා ජෝතිරස යන මාණික්‍යයන්ගෙන් යොදුනක් උස කඤ්චුක සෑයක් කරවූහ.
එවිට සියල්ල මැණිකෙන් කළ බැවින් ආලෝකය විහිදුවන එම සෑය යොදුන් තුනක් උස විය.
ගුරුළෝ ද රැස්ව “මනුෂ්‍ය-දිව්‍ය-නාග සමූහයා නොපමාව සෑ කරවූහ. අපි ද අප්‍රමාදීව සෑයක් කරවමු”යි සාකච්ඡා කළහ. ගුරුළෝ ද ස්වර්ණමය වූ කඤ්චුකයක් කරමින් සෑයෙහි උස යොදුන් සතරක් කළහ. සිවුයොදුන් වූ එම සෑය උඩට නැගුණු සූර්යයා මෙන් සියලු දිශාවන් ආලෝක කරයි.
එකල්හි කුම්භාණ්ඩයෝ ද එලෙසින්ම එක්ව සාකච්ඡා කළහ. “දිව්‍ය-මනුෂ්‍ය-නාග-ගුරුළාදීහු වෙන වෙනම බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට උතුම් සෑ කළහ. අපි ද අප්‍රමාදී වෙමු. දෙවියන් සහිත ලෝ වැසියා ද පමා නොවෙති. තාදී ගුණැති බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට අපි සෑයක් කරමු. උස් වූ බුද්ධස්තූපය අපි ද රත්නයන්ගෙන් වසමු.” මෙසේ කථා කළ ඔවුහු උතුම් බුද්ධ ස්තූපයේ පස්යොදුනක් කළහ. පස්යොදුන් එම සෑය අතිශයින් බබළයි.