සීවක ස්ථවිරගාථා වර්ණනාව
“අනිච්චානි ගහකානී” යනු ආයුෂ්මත් සීවක තෙරුන් වහන්සේගේ ගාථාවන් ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි දී ඒ ඒ භවයන්හි ඉපිද පින් රැස් කරමින් අවුත්, විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී සිටුගෙයක උපන්හ. තුරුණුවිය පැමිණි සිටුකුමරු දිනක් පිඬු පිණිස හැසිරෙන භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතින් පාත්‍රය රැගෙන පිට්ටුවලින් පුරවා පිළිගැන්වීය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසරා පැමිණි ඔහු; මේ බුද්ධෝත්පාද කාලයේ දී රහගහ නුවර බමුණු පවුලක ඉපිද සීවක නමින් ප්‍රකට විය. නිසිවියට පත්ව සියලු විද්‍යා ශිල්පයන්හි පරතෙරට ගිය සීවක ගිගි ගෙය හැර දමා පිරිවැජි අරමක පැවිදි විය. දිනක් ශාස්තෲන් වහන්සේ වෙත පැමිණි ධර්ම ශ්‍රවණය කළ ඔහු, ශ්‍රද්ධාවෙන් බුදුසසුනේ පැවිදි විය. විදසුන් කමටහනෙහි සිත පිහිටුවා නොබෝ දිනකින්ම රහත් ඵලයෙහි පිහිටි සීවක තෙරණුවෝ අපදාන පාළියෙහි මෙසේ වදාරා ඇත.
“පිඬු සිඟා හැසිරෙන විපස්සි බුදුරජාණන් වහන්සේගේ සිස් වූ පාත්‍රය දුටු මම එය පිට්ටුවලින් පුරවා පූජා කළෙමි.
මෙයින් කල්ප අනූ එකකට පෙර යම් පිට්ටු දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් එතැන් සිට මේ දක්වා ම දුගතියක නූපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.
රහත් බවට පත්ව ඒ බව ප්‍රකාශ කිරීම සඳහා සීවක තෙරණුවෝ මේ ගාථා දෙක වදාළහ.
“අනිච්චානි ගහකානි තත්‍ථ තත්‍ථ පුනප්පුනං,
ගහකාරකං ගවෙසන්තො දුක්ඛා ජාති පුනප්පුනං”
“ගහකාරක දිට්ඨොසි පුන ගෙහං න කාහසී,
සබ්බා තෙ ඵාසුකා භග්ගා ථූණිකා ච විදාළිතා,
විපරියාදිකතං චිත්තං ඉධෙව විධමිස්සතී” තී.
එහි “අනිච්චානි ගහකානි තත්‍ථ තත්‍ථ පුනප්පුනං” ඒ ඒ භවයෙහි නැවත නැවත උපදවන්නා වූ ගෙවල් නම් ආත්මභාව (ශරීර) අනිත්‍ය වේ. ස්ථිරව නොපවතියි. සුලු කාලයක් පවතියි. “ගහකාරකං ගවෙසන්තො” මේ ආත්මභාව නම් ගෙය සාදන තණ්හාව නම් වඩුවා සොයමින් මෙපමණ කාලයක් හැසිරුණෙමි. “දුක්‍ඛා ජාති පුනප්පුනං” නැවත නැවත ඉපදීම දුකකි” යනුවෙන් ගෙය සාදන්නා සෙවීමට හේතුව දක්වයි. මේ ජරාව, ව්‍යාධිය, මරණය යන තුනින් යුක්ත ජාතිය (ඉපදීම), නැවත නැවත සිදුවීම දුකකි. මේ දුක නොදුටු කල්හි එය නොනවතියි. එනිසා ඒ දුකට හේතුව සෙවුවෙමි.
“ගහකාරක දිට්ඨොසි” දැන යමකින් ජාතියට හේතුව සෙවූයෙම් ද ඒ ආර්යමාර්ග ඤාණයෙන් ආත්මභාව නම් ගෙය සාදන වඩුවා දුටුවෙමි. “පුනගෙහං” නැවත මේ සසරෙහි ආත්මභාව නම් වූ ගෙය නොසාදන්නෙහි. “සබ්බා තෙ ඵාසුකා භග්ගා” නුඹගේ සියලු කෙලෙස් නම් පරාල (ගෙය සාදන) මවිසින් සිඳ දමන ලදි. “ථූණිකා ච පදාළිතා” දැන් නුඹ සාදන ආත්මභාව නම් ගෙදර අවිද්‍යාව නම් වූ කැණිමඬල ද බිඳින ලදි. “විපරියාදිකතං චිත්තං” යනු මගේ සිත ඉවත්වූවක් කරන ලදි. නැවත අනාගතයේ නූපදින බවට පමුණුවන ලදි. එය එසේමය. “ඉධෙව විධමිස්සති”, “මේ භවයේදී ම විධ්වංසනය කරන ලදි. අවසන් චුති සිත නිරුද්ධ වීමත් සමඟ නිවීමට පත්වෙන්නෙමි” යන අර්ථයයි.
සීවක ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
උපවාන ස්ථවිරගාථා වර්ණනාව
“අරහං සුගතො” යනු ආයුෂ්මත් උපවාන තෙරුන් වහන්සේගේ ගාථාවන් ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ පෙර පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී දිළිඳු කුලයක ඉපිද තුරුණුවියට පැමිණියහ. එම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි ධාතුගෙන මිනිස්, දෙවි, නා, ගරුඬ, යක්‍ෂ, කුම්භාණ්ඩ හා ගාන්ධර්වයන් විසින් සත් රුවන්මය සත් යොදුනක් පමණ වූ ස්තූපයක් සාදවන ලදි. එකල්හි එතැනට පැමිණි දිළිඳු පුද්ගලයා තම ඉතා පිරිසිදු වූ උතුරු සළුව ගෙන උණ ගසක කොඩියක් සේ බැඳ චෛත්‍යයට පූජා කළේය. දෙවියන් විසින් සෑයේ පූජාවන් ආරක්‍ෂා කිරීමට යෙද වූ අභිසම්මතක නම් යක්‍ෂයා නොපෙනෙන කයක් ඇතිව, එම කොඩිය ගෙන අහසේ සිටිමින් තෙවරක්ම සෑය ප්‍රදක්‍ෂිණා කළේය. මෙය දුටු දිළිඳු මිනිසා අතිශයින් සතුටු විය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිසුන් අතර සැරිසැරූ හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේදී සැවැත් නුවර බමුණු කුලයක ඉපිද “උපවාන” නමින් ප්‍රකටව තුරුණුවියට පැමිණියේය. ජේතවනාරාමය පිළිගන්නා දින අසිරිමත් බුදු සිරි දුටු උපවාන බමුණා පැහැදී ශ්‍රද්ධාවෙන් බුදුසසුනේ පැවිදි විය. විදසුන් කමටහනට සිත් යොමුකළ උපවාන තෙරණුවෝ නොබෝ දිනකින් ම ෂඩ් අභිඥා ලාභී මහතෙරනමක් බවට පත්වූහ. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ පැවසූහ.
“සියලු ධර්මයන්ගේ පරතෙරට ගිය, පස්මරුන් දිනූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ගිනිකඳක් මෙන් බබළමින් පිරිනිවන් පෑ සේක.
මහජනයා එක් රැස්ව තථාගතයන් වහන්සේ පුදා මැනවින් සෑයක් කරවා සර්වඥ දේහය එහි නැංවූහ.
එහි ශරීරය ආදාහනය කොට ධාතු ගෙනවුත්, ඒ සියලු දිව්‍ය මනුෂ්‍යාදීහු බුද්ධ ස්තූපයක් සෑදුහ.
ඒ උතුම් සෑයෙහි පළමු නිම් වළල්ල රන්මය වේ. දෙවැන්න මිණිමය වේ. තෙවැන්න රිදීමුවා ය. සිවුවැන්න පිළිඟු මුවාය.
පස්වන නිම්වළල්ල පද්මරාග මාණික්‍යමය වේ. සයවැන්න මැසිරිගල්මය වේ. වේදිකාව රන්මුවා වේ. සෑය සියලුම රත්නයන්ගෙන් කරන ලදුව යොදුනක් උස විය.