මිගසිර ස්ථවිරගාථා වර්ණනාව
“යතො අහං පබ්බජිතො” යනු ආයුෂ්මත් මිගසිර තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙයි කරන ලද ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන්හිදී පින් දහම් රැස්කරමින් අවුත් කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී බමුණු කුලයෙහි ඉපදුණහ. වැඩිවියට පත් බ්‍රාහ්මණ තෙම දිනක් ශාස්තෲන් වහන්සේ දැක, පහන් සිතින් ලහබත් අටක් දුන්නේ ය. ඒ පින්කම නිසා දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා අවුත්, මේ බුද්ධෝත්පාදයේදී කොසොල් රට බමුණු පවුලක පිළිසිඳ ගෙන මිගසිර (මුවසිරස) නැකතින් උපන් බැවින් මිගසර නමින් ප්‍රකට විය. තුරුණුවියට පත්වත්ම සියලු බ්‍රාහ්මණ විද්‍යාශිල්පයන්හි පරතෙරට ගිය ඔහු, මිනීඔළු මන්ත්‍රය නම් වූ ශික්‍ෂාව වෙසෙසින් ප්‍රගුණ කර මීට වසර තුනකට පෙර මැරුණු පුද්ගලයන්ගේ වුවත් හිසට නියපිටින් තට්ටුකර “මෙතෙම අසුවල් තැන ඉපදුණේය”යි දැනගැනීමට සමත් විය.
ගිහි ගේ විසීමට නොකැමති වූ මිගසර බමුණා පිරිවැජි අරමක පැවිදිව මේ ශිල්පය නිසා ජනයාගේ සත්කාර සම්මාන ලබමින් වාසය කළේය. දිනක් සැවැත් නුවරට පැමිණි ශාස්තෲන් වහන්සේ හමුවට ගොස් සිය ආනුභාවය ප්‍රකාශ කරමින් “පින්වත් ගෞතමය! මම මළවුන් උපන් තැන දන්නෙමි”යි පැවසීය. එවිට බුදුරජාණන් වහන්සේ, “නුඹ කෙසේ දැනගන්නෙහිද?”යි ඔහුගෙන් ඇසූ සේක. “මම මිනී හිස් ගෙන, මන්ත්‍රය පිරිවහා නියෙන් හිසට තට්ටුකරන විට නිරයේ පටන් ඔවුනොවුන් උපන් තැන දැනගන්නෙමි”යි බමුණු පිරිවැජි තෙම පිළිතුරු දුන්නේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිරිනිවියාවූ රහතන් වහන්සේ නමකගේ හිස් කබලක් ගෙන්වාගෙන, “මොහු උපන් තැන කියන්න”යි වදාරා හිස බමුණාට දුන් සේක. ඔහු ඒ හිස් කබල ගෙන මන්ත්‍ර පිරිවහා නියෙන් හිසට තට්ටුකළත් අන්තයක්, කෙළවරක්, උපන් තැනක් නොපෙනුණි. ඉක්බිති ශාස්තෲන් වහන්සේ “පිරිවැජිය! නොහැකි ද?”යි විමසූ විට “යළිත් උත්සාහ කර බලමි”යි නැවත නැවත උත්සාහ කළත් උපන් තැනක් නොපෙනෙන්නේම ය. බාහිර වූ මන්ත්‍ර වලින් රහතන් වහන්සේගේ ගතිය කෙසේ දැන ගන්නේද? එවිට පිරිවැජියාගේ හිසින් ද කිසිලිවලින් ද දහඩිය නිකුත් විය. ඔහු ලැජ්ජාවට පත්ව නිශ්ශබ්දව සිටියේය. එවිට ශාස්තෲන් වහන්සේ “පිරිවැජිය! වෙහෙසට පත්වූවෙහි ද?”යි විමසූහ. හෙතෙම “එසේය. වෙහෙසට පත්වීමි. මම මොහු උපන් තැන නොදනිමි”යි පවසා “නුඹවහන්සේ එය දනිහිද?”යි බුදුරදුන්ගෙන් විමසීය. එවිට භාග්‍යවතුන් වහන්සේ, “මම එය දනිමි. ඊට වැඩි වූවක් ද දනිමි”යි වදාරා “ඔහු නිවණට ගියේය”යි පැවසූ සේක. එය ඇසූ පිරිවැජියා, “මේ ශිල්පය මට දෙන්න”යි ඉල්වීය. එසේ නම් බුදුසසුනේ පැවිදි වන්න යැයි වදාරා ඔහු පැවිදි කරවූ තථාගතයන් වහන්සේ පළමුව සමථ කමටහන් දී ධ්‍යානාභිඤ්ඤා උපදවා ගත් පසුව විදර්ශනා කමටහන් ලබා දුන් සේක. විදසුන් කමටහන වැඩූ මිගසර තෙරණුවෝ නොබෝ දිනකින් ම රහත් වූහ. අපදාන පාළියේ උන්වහන්සේ මෙසේ පැවසූහ.
“වැස නිම වූ බඹසර ඇති බ්‍රාහ්මණ වංශයෙහි උපන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේට පහන් සිත් ඇති මම සතුටින් ලහබත් අටක් දුන්නෙමි.
මේ මහා භද්‍ර කල්පයෙහි ම ලහබත් අටක් දුන් පිනින් මේ දක්වා දුගතියක නූපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටු කළෙමි.”
රහත් වූ උන්වහන්සේ ඒ බව ප්‍රකාශ කරමින් මේ ගාථාවන් වදාළහ.
“යතො අහං පබ්බජිතො සම්මා සම්බුද්ධස්ස සාසනෙ,
විමුච්චමානො උග්ගච්ඡිං කාමධාතුං උපච්චගං”
“බ්‍රහ්මුනො පෙක්ඛමානස්ස තතො චිත්තං විමුච්චි මෙ,
අකුප්පා මෙ විමුත්තී ති සබ්බසංයොජනක්‍ඛයා”
එහි “යතො අහං පබ්බජිතො සම්මා සම්බුද්ධ සාසනෙ” යම් තැනක පටන් මම සම්බුදු සසුනෙහි පැවිදිවූයෙම් ද එතැන් පටන්. “විමුච්චමානො උග්ගච්ඡිං” කෙලෙස් සහිත බැවින් පළමුව සමථ විදර්ශනා භාවනා වැඩීමෙන් ඉන් නිදහස් වූයෙමි. ධර්ම ශ්‍රවණයෙන් කෙලෙසුන් කෙරෙන් පිරිසිදුවූයෙමි. මෙසේ නැගී සිටින්නෙම් කාමධාතුව ඉක්මවා ගියෙමි. අනාගාමි මාර්ගයෙන් අතිශයින්ම කාමධාතුව ඉක්මවූයෙමි.