භාරද්වාජ ස්ථවිරගාථා වර්ණනාව
“නදන්ති එවං සප්පඤ්ඤා” යනු ආයුෂ්මත් භාරද්වාජ තෙරුන්ගේ ගාථාවන්ය. එහි උපත කෙසේද? උන්වහන්සේ පෙර බුදුවරු හමුවෙහි තැබූ ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් රැස් කරමින් අවුත්, මීට කල්ප තිස් එකකට පෙර සිටුගෙයක ඉපිද වැඩිවියට පත්වූහ. එක් දිනක් සුමන නම් පසේ බුදුරජාණන් වහන්සේ පිඬු සිඟා වඩිනු දැක පහන් සිතින් වල්ලිකාර ගෙඩියක් පූජා කළ ඔහු ඒ පින්කමේ විපාක ලෙස කාම සුගතීන්හිම සැරිසරා අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේ දී රජගහ නුවර බමුණු පවුලක උපන්නේය. ගෝත්ර නාමය වූ “භාරද්වාජ” නමින් ම ඔහු ප්රකට විය. වැඩිවියට පත් ඔහු විවාහ වී එක් පුතෙකු ලැබුවේය. ඒ පුතු කණ්හාදින්න නම් විය. එම දරුවා වැඩිවිය පැමිණි කල්හි, “දරුව, අසුවල් ආචාරීන්ගෙන් ශිල්ප ඉගෙන එව”යි කියා තක්සලාවට යැවීය. ඒ දරුවා තක්සලාවට යන අතර මඟදී ශාස්තෲන් වහන්සේගේ ශ්රාවක වූ එක්තරා කල්යාණ මිත්ර මහතෙර නමක් හමුවී ධර්මශ්රවණය කළේය. ධර්මශ්රවණයෙන් ලැබූ ශ්රද්ධා ඇති කණ්හදින්න කුමරු බුදුසසුනේ පැවිදි වී කරන ලද පූර්ව කටයුතු ඇත්තේ, විදසුන් කමටහන වඩා නොබෝ දිනකින්ම රහත් විය. ඔහුගේ පියා වූ භාරද්වාජ ද වේළුවනාරාමයේ වෙසෙන භාග්යවතුන් වහන්සේ වෙත පැමිණ සද්ධර්මය ශ්රවණය කර පැවිදි විය. නොබෝ දිනකින්ම උන්වහන්සේ ද රහත් වූහ. භාරද්වාජ තෙරණුවෝ අපදාන පාළියේදී මෙසේ වදාළහ.
“එකල සුමන නම් බුදුරජාණන් වහන්සේ තක්කරා නුවර වැඩ විසූහ. මම සියල්ල දත් බුදුරජාණන් වහන්සේට වල්ලිකාර ඵලයක් පූජා කළෙමි.
මීට කල්ප තිස් එකකට පෙර යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් මම දුගතියක නූපන්නෙමි. ඵල දානයේ විපාක මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.
ඉක්බිති කණ්හදින්න හිමියෝ, ශාස්තෲන් වහන්සේට වැඳීම සඳහා රජගහ නුවරට පැමිණ, උන්වහන්සේ සමීපයේ සිටි තම පියා දැක සතුටු සිතැතිව, “මගේ පියා ද පැවිදි විය. ඔහු විසින් පැවිදි කිස නිමවන ලද්දේද?”යි විමසා බැලූසේක්, රහත් වූ බව දැනගත් සේක. තම පියා ලවා සිංහනාද පවත්වනු කැමති කණ්හදින්න හිමියෝ, “නුඹ විසින් බුදුසසුනේ පැවිදිවීමෙන් යහපතක් කරන ලදි. පැවිද්දේ කටයුතු නුඹ විසින් මස්තකප්රාප්ත කර ගත්තෙහි ද?”යි විචාළහ. තම පුතුට තමා ලැබූ අධිගමයන් පවසනු සඳහා භාරද්වාජ තෙරණුවෝ මේ ගාථා දෙක වදාළහ.
“නදන්ති එවං සප්පඤ්ඤා සීහාව ගිරිගබ්භරෙ,
වීරා විජිත සංගාමා ජෙත්වා මාරං සවාහනං”
වීරා විජිත සංගාමා ජෙත්වා මාරං සවාහනං”
“සත්ථා ච පරිචිණ්ණො මෙ, ධම්මො සංඝොච පූජිතො,
අහං ච චිත්තො සුමනො පුත්තං දිස්වා අනාසවං”
අහං ච චිත්තො සුමනො පුත්තං දිස්වා අනාසවං”
එහි “නදන්ති” සත්ය වූ බුදුගුණ ප්රකට කිරීම් වශයෙන් අභීත වූ සිංහනාද පවත්වති. “එවං” දැන් පැවතිය යුතු ආකාරය දැක්වීමයි. මෙසේ “සප්පඤ්ඤා” අග්ර මාර්ගය වූ ප්රඥාව අවබෝධයෙන් සියලු ප්රඥාවෙහි විපුලත්වයට පත් වූ. “වීරා” චතුර්විධ සම්යක් ප්රධාන වීර්යයෙන් යුතු බැවින් වීරයෝ නම් වූ. එසේම කෙලෙස් ඉතිරි නොවන සේ මැඩලන, වනසන ලද බැවින් ද සේනා සහිත කෙලෙස්, අභිසංඛාර හා දේවපුත්ත යන මාරයන් පරදා ජයගත් බැවින් ද සියලුම ආකාරයෙන් දිනූ යුද්ධ ඇති බැවින් ද වීරයෝ නම් වූ ප්රඥාවන්තයෝ නද දෙති.
මෙසේ කෙලෙස් ජය ගැනීමෙන් සිංහනාදය දක්වා දැන් සිත් සතුටු කිරීමෙන් අපේක්ෂිත අර්ථ සිද්ධිය ඉටුවූ බව දැක්වීමට “සත්ථා ච පරිචිණ්ණො” යන දෙවන ගාථාව වදාළහ. එහි “සත්ථා ච පරිචිණ්ණො මෙ” යනු මගේ ශාස්තෲ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙන ලද අවවාද අනුශාසනා අනුව ක්රියාකළ මවිසින් උන්වහන්සේ මැනවින් ඇසුරු කරන ලදි. “විවාද, දොස්කීම් ආදියකට භාජනය නොවීමි” යන අදහසයි. “ධම්මො සංඝො ච පූජිතො” නවවිධ ලෝකෝත්තර ධර්මයෙන් යුත් පිළිවෙත් මඟෙහි ගමන් කිරීමෙන් ද ශ්රමණ බවට යෝග්ය සීල, දිට්ඨි ගුණ වැඩීමෙන් ආර්ය සංඝයා ද මවිසින් පුදන ලදි. ගරු කරන ලදි. “අහඤ්ච විත්තො සුමනො පුත්තං දිස්වා අනාසවං” මගේ පුතා අනාශ්රව, සියලු ආශ්රව සිඳ දමා රහත්ව සිටිනු දැකීම නිසාත්, මම ද අනාශ්රව වූ බැවින් මගේ සිත නිරාමිස ප්රීතියෙන් සතුටට පත්වූයෙමි. ඒ නිරාමිස ප්රීතියෙන් සතුටු - සොම්නස් වූ සිත් ඇත්තෙමි.
භාරද්වාජ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
කණ්හදින්න ස්ථවිරගාථා වර්ණනාව
“උපාසිතා සප්පුරිසා” යනු ආයුෂ්මත් කණ්හදින්න තෙරුන්ගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ දී කළ ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින් දහම් රැස් කරගෙන අවුත්, මීට කල්ප අනූහතරකට පෙරදී සිටුගෙයක ඉපිද වැඩිවිය පත්වූහ. දිනක් සෝභිත නම් පසේ බුදුරජාණන් වහන්සේ දැක පැහැදුණු සිතින් දොඹ මලින් පූජා පැවැත්වූ ඒ සිටුකුමරු ඒ පින්කමේ විපාක ලෙස දෙව්මිනිස් දෙගතියේ සැරිසරා අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේදී රජගහ නුවර බමුණු පවුලක ඉපිද කණ්හදින්න නමින් ප්රකට විය. පෙර වාසනා මහිමයෙන් මෙහෙයවන ලද ඔහු වැඩිවියට පත් වූ කල්හි දම් සෙනෙවි සැරියුත් මහරහතන් වහන්සේ වෙත එළඹ, ධර්ම ශ්රවණය කිරීමෙන් ශ්රද්ධාව උපදවාගෙන සසුනේ පැවිදි විය. විදසුන් භාවනාව වැඩූ උන්වහන්සේ නොබෝ දිනකින්ම රහත් ඵලයෙහි පිහිටියහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ පැවසූහ.