කණ්හදින්න ස්ථවිරගාථා වර්ණනාව
“උපාසිතා සප්පුරිසා” යනු ආයුෂ්මත් කණ්හදින්න තෙරුන්ගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ දී කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින් දහම් රැස් කරගෙන අවුත්, මීට කල්ප අනූහතරකට පෙරදී සිටුගෙයක ඉපිද වැඩිවිය පත්වූහ. දිනක් සෝභිත නම් පසේ බුදුරජාණන් වහන්සේ දැක පැහැදුණු සිතින් දොඹ මලින් පූජා පැවැත්වූ ඒ සිටුකුමරු ඒ පින්කමේ විපාක ලෙස දෙව්මිනිස් දෙගතියේ සැරිසරා අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේදී රජගහ නුවර බමුණු පවුලක ඉපිද කණ්හදින්න නමින් ප්‍රකට විය. පෙර වාසනා මහිමයෙන් මෙහෙයවන ලද ඔහු වැඩිවියට පත් වූ කල්හි දම් සෙනෙවි සැරියුත් මහරහතන් වහන්සේ වෙත එළඹ, ධර්ම ශ්‍රවණය කිරීමෙන් ශ්‍රද්ධාව උපදවාගෙන සසුනේ පැවිදි විය. විදසුන් භාවනාව වැඩූ උන්වහන්සේ නොබෝ දිනකින්ම රහත් ඵලයෙහි පිහිටියහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ පැවසූහ.
“එකල්හි සෝභිත නම් බුදුරජාණන් වහන්සේ මෙසේ පැවසූහ. මම ගිරිපුන්නාග මලක් ගෙන බුදුරදුන් පිදුවෙමි.
මීට කල්ප අනූ හතරකට පෙර යම් පුෂ්ප පූජාවක් කළෙම් ද මේ දක්වා ම මම දුගතියක නූපන්නෙමි. බුද්ධ පූජාවේ විපාක මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනය ඉටුකළෙමි.”
රහත් වූ කණ්හදින්න තෙරණුවෝ ඒ බව ප්‍රකාශ කරනු සඳහා මේ ගාථා දෙක වදාළහ.
“උපාසිතා සප්පුරිසා, සුතා ධම්මා අභිණ්හසො,
සුත්‍වාන පටිපජ්ජිස්සං අඤ්ජසං අමතොගධං”
“භවරාගහතස්ස මෙ සතො භවරාගො පුන මෙ න විජ්ජති,
නචාහු නච මෙ භවිස්සති නච මෙ එතර හිපි විජ්ජතී”
එහි “උපාසිතා” ඇසුරු කරන ලදි. පිළිවෙත් පිරීම්, ඇසුරු කිරීම් ආදියෙන් (ආශ්‍රය කිරීම) පයුරු පාසනය කරන ලදි. “සප්පුරිසා” ශාන්ත වූ සීලාදී ගුණ මහිමයෙන් යුක්ත වූ සාරිපුත්‍රාදී ආර්ය පුද්ගලයෝ. සත්පුරුෂයෝය. මෙයින් තමන් වහන්සේගේ පූර්ව සම්පත්ති දෙක දක්වයි. සත්පුරුෂ ආශ්‍රය සුදුසු පෙදෙසක වාසය කිරීමෙන් තොරව නොලැබෙන්නේ ම ය. (සත්පුරුෂාශ්‍රය හා සුදුසු පෙදෙසක විසීම යන පූර්ව සම්පත් ලැබීම මෙහිදී අදහස් වේ.) “සුතාධම්මා” චතුරාර්ය සත්‍යය, ප්‍රතීත්‍ය සමුත්පාදී ප්‍රතිසංයුක්ත ධර්ම ශ්‍රෝතද්වාරයෙන් සිතෙහි ධාරණය කරගත්තෙමි. මෙයින් තමන් වහන්සේගේ සද්ධර්‍ම ශ්‍රවණය හා බහුශ්‍රැතභාවය යන චක්‍රසම්පත් දෙක සිද්ධ වූ බව දක්වයි. “අභිණ්හසො” නිතර ම, බොහෝ වශයෙන්, කලින් කලට නොවේ. මේ පදය “සත්පුරුෂයෝ නිතරම ඇසුරු කළෙමි” යනුවෙන් ද “නිතරම ධර්මය ඇසුවෙමි” යනුවෙන් ද යෙදිය යුතුයි. “සුත්‍වාන පරිපජ්ජිස්සං අඤ්ඡසං අමතොගධං” ඒ ධර්මය අසා, එහි කියැවෙන රූප, අරූප ධර්මයන්හි ලක්‍ෂණ වශයෙන් ගෙන අනුක්‍රමයෙන් විදසුන් භාවනාව වඩා නිවණට පැමිණියෙමි. නිවණෙහි පිහිටියෙහි. නිවණට පැමිණෙන මාර්ගය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළෙමි.
“භවරාගහතස්ස මෙ සතො” භව රාගයෙන්, භව තණ්හාවෙන් අනාදිමත් කාලයක් සසර මම නැසුනෙමි. උපද්‍රවයට පත්වීමි. ඊට හේතු වූ භවරාගය මවිසින් දැන් ආර්ය මාර්ගයේ ගමන් කිරීමෙන් නැසුවෙමි. “භවරාගො පුන මෙන විජ්ජති” එනිසාම නැවත භවරාගය මගේ සිතේ නූපදී. නැවත භවරාගය ඇති නොවේ. “න චාහු න මෙ භවිස්සති න ච මෙ එතරහි විජ්ජති.” ඉඳින් පෙර පුහුදුන් කාලයේ මට භව රාගය විය. ආර්ය මාර්ගයේ අවබෝධයක් (රහත්වීම) සමග ම එය නැති විය. අනාගතයේ දී මට භවරාගය ඇති නොවන්නේ ය. දැන් ද භවරාගය මා තුල විද්‍යමාන නොවේම ය. එය ප්‍රහීණ කරන ලද්දෙමි. මෙහි භවරාග යන වචනයෙන් ඒ හා සමගම යෙදෙන මානාදී සංයෝජන ද ප්‍රහීන කරන ලද බව පැවසේ. සියලුම ආකාරයෙන් දස සංයෝජන ධර්මයෝම ක්‍ෂය කරන ලද බව මෙහිදී දැක්වේ.
කණ්හදින්න ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
තෙවන වර්ගයේ අර්ථ වර්ණනාව සමාප්තයි.
සතරවැනි වර්‍ගය
මිගසිර ස්ථවිරගාථා වර්ණනාව
“යතො අහං පබ්බජිතො” යනු ආයුෂ්මත් මිගසිර තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙයි කරන ලද ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන්හිදී පින් දහම් රැස්කරමින් අවුත් කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී බමුණු කුලයෙහි ඉපදුණහ. වැඩිවියට පත් බ්‍රාහ්මණ තෙම දිනක් ශාස්තෲන් වහන්සේ දැක, පහන් සිතින් ලහබත් අටක් දුන්නේ ය. ඒ පින්කම නිසා දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා අවුත්, මේ බුද්ධෝත්පාදයේදී කොසොල් රට බමුණු පවුලක පිළිසිඳ ගෙන මිගසිර (මුවසිරස) නැකතින් උපන් බැවින් මිගසර නමින් ප්‍රකට විය. තුරුණුවියට පත්වත්ම සියලු බ්‍රාහ්මණ විද්‍යාශිල්පයන්හි පරතෙරට ගිය ඔහු, මිනීඔළු මන්ත්‍රය නම් වූ ශික්‍ෂාව වෙසෙසින් ප්‍රගුණ කර මීට වසර තුනකට පෙර මැරුණු පුද්ගලයන්ගේ වුවත් හිසට නියපිටින් තට්ටුකර “මෙතෙම අසුවල් තැන ඉපදුණේය”යි දැනගැනීමට සමත් විය.