භරත ස්ථවිරගාථා වර්ණනාව
“එහි නන්දක ගච්ඡාම” යන ගාථා ආයුෂ්මත් භරත තෙරුන්ගේය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ පෙර අනෝමදස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයේදී සිටුගෙයක ඉපිද වැඩිවියට පත්වූහ. දිනක් ඉතා ලස්සන, මුදු සුවපහස් ඇති පාවහන් යුවලක් රැගෙන යන මේ සිටුකුමරු ශාස්තෲන් වහන්සේ සක්මන් කරනු දුටුවේය. පැහැදුණු සිතින් පාවහන් යුවළ පිළිගැන්වූ ඔහු “ස්වාමීනි! භාග්යවතුන් වහන්ස! මාහට බොහෝ කලක් හිතසුව පිණිස මේ පාවහන් යුවළ පිළිගන්නා සේක්වා”යි පැවසීය. ඔහුට අනුග්රහ පිණිස භාග්යවතුන් වහන්ස එම පාවහන් යුවල පරිභෝග කළ සේක. ඒ පින්කමේ විපාක විඳිමින් දෙව් මිනිස් දෙගතියෙහි සැරි සැරූ හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේදී චම්පා නුවර ගහපති පවුලක උපන්නේ ය. “භරත” නමින් ප්රකට වූ ඒ කුමරු, සෝණ තෙරුන්ගේ පැවිදිවීමේ පුවත අසා, “සෝණත් පැවිදි වුණා” යැයි සංවේග උපදවාගෙන පෙර කළ පුරුදුතාවය නිසා විදසුන් කමටහන වඩා නොබෝ දිනකින්ම ෂඩ් අභිඥා උපදවා ගත්තේ ය. භරත තෙරණුවෝ අපදාන පාළියේදී මෙසේ පැවසූහ.
“ලොවට ජ්යෙෂ්ඨ වූ නරශ්රේෂ්ඨ වූ පසැස් ඇති අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ දිවා විහරණයෙන් නික්ම සක්මනට පිළිපන්සේක.
එකල මම මනාව සෑදූ පාවහන් යුවලක් ගෙන මගට පිළිපන්නෙම් මනෝඥ වූ දර්ශන ඇති පා ගමනින් වඩින බුදුපියාණන් වහන්සේ දුටුවෙමි.
සිත පහදවා ගත් මම පාවහන් යුවල ගෙන උන්වහන්සේගේ පාමුල තබා මෙසේ කීවෙමි.
“විනායකයන් වහන්ස! සුගතයන් වහන්ස! මහාවීරයන් වහන්ස! නැඟුන මැනව. මේ පාවහන් පරිභෝග කිරීමෙන් මාගේ අභිමතාර්ථ ඉටු කළ මැනව” යනුවෙනි.
පාවහන් යුවළට නැගුණු ලෝකජ්යෙෂ්ඨ වූ නරශ්රේෂ්ඨ වූ අනෝමදස්සී බුදුහු මෙසේ වදාළහ.
“යමෙක් පහන් සිත් ඇතිව මට සියතින්ම පාවහන් යුවලක් පිදුවේද ඔහුගේ විපාක මම කියමි. එම වදන් අසවු.”
බුදුපියාණන් වහන්සේගේ ඒ හඬ ඇසූ දෙවිවරු ඔද වැඩුණු සිතින්, සතුටින්, ප්රීතිමත්ව බැදැඳලිව රැස්වූහ.
“වහන් යුවල පිදූ හෙතෙම සුව ඇත්තෙක් වන්නේය. පනස් පස් වරක් දිව්ය රාජ්යය කරන්නේය.
සක්විතිව දහස් වරක් උපදින්නේය. ඔහු ලබන ප්රදේශ රාජ්ය සම්පත්තිය ප්රමාණ කළ නොහැක.
මෙයින් අපරිමෙය්ය වූ කල්පයෙහි ඔක්කාක කුලයේ උපදින ගෞතම නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළ වෙති.
උන්වහන්සේගේ ධර්මය දායාද කරගත්, ධර්මයෙන් නිර්මිත වූ ඖරස බුද්ධ පුත්ර වූ සියලු ආශ්රවයන් දැන අනාශ්රවව පිරිනිවන් පාන්නේය.
පින්වත් වූ මොහු උපදින දිව්ය, මනුෂ්ය අත්බවේදී දිව්ය යානා වැනි යානා ලබන්නේය.”
දෙව්-මිනිස් අත්බැව්හිදී ප්රාසාද, සිවිකා, මනාව සැරසූ ඇත්තු හා අජානේය අසුන් යෙදූ රථ සැමකල්හි මට පහළ විය.
ගිහිගෙන් නික්මුණු මම රථයෙන් පැමිණියෙමි. කෙස් සිඳින කල්හිම මම රහත් වූයෙමි.
මා හට මහත් ලාභ ලැබුණි. එය මනා වූ වෙළඳාමක් විය. එකම වහන් සඟලක් පුදා අචල පදය වූ නිවණට පැමිණියෙමි.
මෙයින් අප්රමාණ කල්පයකට පෙර යම් පාවහන් යුවලක් පිදුවෙම් ද එහි විපාක ලෙස දුගතියක නූපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.
ෂඩ් අභිඥා උපදවාගත් භරත තෙරණුවෝ ඉහත දැක්වූ පරිදි සිය සෝයුරු නන්දක තෙරුන් විසින් රහත් බව ප්රකාශ කළ කල්හි, “දැන් නන්දක ද රහත් විය. එනිසා අපි දෙන මම ශාස්තෲන් වහන්සේ වෙත ගොස් විසූ බඹසර දන්වන්නෙමු නම් මැනවි” යි යනුවෙන් උපන් සිතුවිල්ල නන්දක තෙරුන්ට පවසමින් මේ ගාථා දෙක වදාළහ.
“එහි නන්දක, ගච්ඡාම උපජ්ඣායස්ස සන්තිකං,
සීහනාදං නදිස්සාම බුද්ධසෙට්ඨස්ස සම්මුඛා”
සීහනාදං නදිස්සාම බුද්ධසෙට්ඨස්ස සම්මුඛා”
“යාය නො අනුකම්පාය අම්හෙ පබ්බාජයී මුනී,
සො නො අත්ථො අනුප්පත්තො සබ්බසංයොජනක්ඛයො” තී.
සො නො අත්ථො අනුප්පත්තො සබ්බසංයොජනක්ඛයො” තී.
එහි “නන්දක” යනු ඇමතීමයි. “එහි” තමාගේ සමීපයට ඔහු කැඳවයි. “ගච්ඡාම” දෙදෙනා වහන්සේ විසින්ම එකට කළයුතු ක්රියාව දැක්වීමකි. “උපජ්ඣායස්ස” යනු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ වනාහි සියල්ල දන්නා ඇසින් ද බුදු ඇසින් ද සත්ත්වයන්ගේ ප්රකට අප්රකට චරිතාදිය තත්ත්වාකාරයෙන්ම දැන, දෙවියන් සහිත ලෝකයාගේ වැරදි නිවැරදි නැවත නැවත විශේෂයෙන් පෙන්වා දෙන සේක. එබැවින් “උපජ්ඣාය” නාමයට සුදුසුය. මේ යන ගමන යම් අර්ථයක්, ප්රයෝජනයක් සඳහා වේද එය දක්වමින් “සීහනාදං නදිස්සාම බුද්ධසෙට්ඨස්ස සම්මුඛා” යනුවෙන් බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේ අභිමුවෙහි සිංහ නාද පවත්වමු”යි වදාළහ. “සත්ය වූ බුද්ධ ගුණ දැක්වීම් වශයෙන් අභීත නාදයක් වූ බැවින් සිංහ නාදයකි. සියල්ලන්ටම උතුම් වූ ශ්රේෂ්ඨ වූ බුදුවරු, පසේබුදුවරු හා බුද්ධ ශ්රාවකාදී ශ්රේෂ්ඨයන්ගේ ඉදිරියෙහි පවත්වමු” යන අර්ථයයි.