නන්දක ස්ථවිරගාථා වර්ණනාව
“යථාපි භද්දො ආජඤ්ඤො” යනාදී ගාථා ආයුෂ්මත් නන්දක තෙරුන් වහන්සේ විසින් වදාරණ ලදි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවේ කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින් දහම් සිදු කරමින් අවුත්, සිඛි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී ප්‍රත්‍යන්ත ප්‍රදේශයක ඉපිද වැඩිවියට පත් වූ වැද්දෙක් වූහ. ඒ වැදිතෙම දිනක් ශාස්තෲන් වහන්සේගේ සක්මන් කරන මළුව දැක පහන් සිතින් එහි වැලි විසුරුවීය. ඒ පින්කම නිසා දෙව් මිනිසුන් අතර සැරිසැරූ ඔහු මේ බුද්ධෝත්පාද කාලයේ දී චම්පාවේ ගහපත් පවුලක උපන්නේ ය. නන්දක නමින් ඔහු ප්‍රකට විය. නන්දකගේ වැඩිමල් සෝයුරා භරත නම් විය. ඔහු පිළිබඳව ඊළඟ කථාවේදී විස්තර කෙරේ. මේ දෙදෙනාම වැඩිවියට පත්ව සෝණ කෝළි වීස පුත්‍රයාගේ පැවිදිවීම අසා, “මේ ඉතා සියුමැලි වූ සෝණ කුමරුද පැවිදි වීය. අපි කුමක් නිසා ගිහිව සිටිමු ද?” යි පැවිදි වූහ. ඒ දෙනමගෙන් භරත තෙරුන් වහන්සේ නොබෝ දිනකින්ම විදසුන් වඩා ෂඩ් අභිඥා උපදවා ගත්හ. නන්දක තෙරුන්ගේ සිතේ කෙලෙස් බලවත් වූ බැවින් විදසුනට සිත යොමුකිරීම අපහසු විය. විදසුන් භාවනාව සඳහා පුහුණුවීම පමණක් කළේය. මේ බව දුටු භරත තෙරණුවෝ “මොහුට උපකාර කළ යුතුය” යි උන්වහන්සේ සමග විහාරයෙන් නික්ම මහා මාර්ගය අසලින් වැඩහිඳ විදර්ශනාව පිළිබඳ සාකච්ඡා කළහ.
එවිට එම මාවතින් ගැල් සාත්තුවක් පැමිණියේය. එහි එක් ගැලක යෙදූ ගොනෙකු මඩ වගුරකින් ගැල ගෙන යා නොහැකිව වැටුණේය. එවිට ගැල් කරුවා ඌ ගැලෙන් මුදා තණ ද දිය ද දී වෙහෙස නිවා නැවත ගැලෙහි යෙදවීය. එවිට ඒ ගොනා වෙහෙස සන්සිඳීමෙන් ලැබූ බලයෙන් ඒ ගැල මඩවගුරෙන් උඩට ගෙන ගොඩබිම පිහිටුවීය. ඉක්බිති භරත තෙරණුවෝ නන්ද හිමිගෙන්, “ඇවැත්නි! නන්දකය! නුඹ මේ ගොනාගේ ක්‍රියාව දුටුවෙහි ද?” ඇසූහ. එම සිදුවීම දුටු නන්දක තෙරණුවෝ “දැක්කෙමි”යි පැවසූහ. භරත හිමියෝ, “එසේ නම් එය මනාව හිතට ගනුව”යි වදාළහ. එවිට නන්දක තෙරණුවෝ, “යම් සේ මේ ගොනා වෙහෙස සන්සිඳුනු පසුව මඩවලින් ගැල එගොඩ කරවූවේ ද එලෙසින් ම මම ද සසර නම් මඩවලින් තමා ඔසවා තැබිය යුතුයි” යනුවෙන් එම සිදුවීම ම අරමුණු කොට විදසුන් කමටහන වඩන්නේ නොබෝ දිනකින්ම රහත් බවට පත්වූහ. නන්දක තෙරණුවෝ අපදාන පාලියේදී මෙසේ වදාළහ.
“පෙර මම මහ වනයෙහි මුව වැද්දෙක් වූයෙමි. වාත මුවෙකු සොයමින් ගිය මම සක්මන් මළුවක් දුටිමි.
ඇකයෙන් (ඔඩොක්කුවෙන්) වැලි රැගෙන පැමිණි මම පහන් සිතින් සතුටු වූයෙම් සිරිමත් වූ සුගතයන් වහන්සේගේ සක්මනෙහි විසුරුවීමි.
මීට කල්ප තිස් එකකට පෙර කරන ලද වැලි විසිරවීමේ පින හේතුවෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. වැලි දානයේ විපාක මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනය ඉටුකළෙමි.”
රහත් වූ නන්දක තෙරණුවෝ සිය වැඩිමහල් සොහොයුරා වූ භරත තෙරුන් ඉදිරියේ සිය රහත් බව ප්‍රකාශ කරනු සඳහා මේ ගාථා දෙක වදාළහ.
“යථාපි භද්දො ආජඤ්ඤො ඛලිත්වා පතිතිට්ඨති,
භීයො ලද්ධාන සංවෙගං අදීනො වහතෙ ධුරං”
භීයො ලද්ධාන සංවෙගං අදීනො වහතෙ ධුරං”
“එවං දස්සන සම්පන්නං සම්මා සම්බුද්ධසාවකං,
ආජානීයං මං ධාරෙථ පුත්තං බුද්ධස්ස ඔරසං”
ආජානීයං මං ධාරෙථ පුත්තං බුද්ධස්ස ඔරසං”
එහි “භීයො ලද්ධාන සංවෙගං අදීනො වහතෙ ධුරං” “මාගේ ජාති, බල, විරියාදියට “මෙ බර ඇදගෙන නොයාම අවනම්බුවකි”යි සංවේග උපදවාගෙන, නොපසුබට සිතින්, අදීන වූ සිතින්, වීර්යවන්ත සිතින්, “අලීනො” යන පාඨය ද මෙහි යෙදේ. “අදීන” “අලීන” යන පද දෙකෙහිම ඇත්තේ එකම අරුතකි. “භීයො” බොහෝ සෙයින් නැවත නැවත අධිකව තම ගැල්බර ඔසවයි. ගෙනයයි. ඉතිරි පදයන්ගේ අර්ථ ඉහත රමණීය විහාර තෙරුන්ගේ ගාථා අර්ථවර්ණනාවේදී දැක්වූ පරිදි දත යුතුයි.
නන්දක ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
භරත ස්ථවිරගාථා වර්ණනාව
“එහි නන්දක ගච්ඡාම” යන ගාථා ආයුෂ්මත් භරත තෙරුන්ගේය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ පෙර අනෝමදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී සිටුගෙයක ඉපිද වැඩිවියට පත්වූහ. දිනක් ඉතා ලස්සන, මුදු සුවපහස් ඇති පාවහන් යුවලක් රැගෙන යන මේ සිටුකුමරු ශාස්තෲන් වහන්සේ සක්මන් කරනු දුටුවේය. පැහැදුණු සිතින් පාවහන් යුවළ පිළිගැන්වූ ඔහු “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! මාහට බොහෝ කලක් හිතසුව පිණිස මේ පාවහන් යුවළ පිළිගන්නා සේක්වා”යි පැවසීය. ඔහුට අනුග්‍රහ පිණිස භාග්‍යවතුන් වහන්ස එම පාවහන් යුවල පරිභෝග කළ සේක. ඒ පින්කමේ විපාක විඳිමින් දෙව් මිනිස් දෙගතියෙහි සැරි සැරූ හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේදී චම්පා නුවර ගහපති පවුලක උපන්නේ ය. “භරත” නමින් ප්‍රකට වූ ඒ කුමරු, සෝණ තෙරුන්ගේ පැවිදිවීමේ පුවත අසා, “සෝණත් පැවිදි වුණා” යැයි සංවේග උපදවාගෙන පෙර කළ පුරුදුතාවය නිසා විදසුන් කමටහන වඩා නොබෝ දිනකින්ම ෂඩ් අභිඥා උපදවා ගත්තේ ය. භරත තෙරණුවෝ අපදාන පාළියේදී මෙසේ පැවසූහ.
“ලොවට ජ්‍යෙෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පසැස් ඇති අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ දිවා විහරණයෙන් නික්ම සක්මනට පිළිපන්සේක.
එකල මම මනාව සෑදූ පාවහන් යුවලක් ගෙන මගට පිළිපන්නෙම් මනෝඥ වූ දර්ශන ඇති පා ගමනින් වඩින බුදුපියාණන් වහන්සේ දුටුවෙමි.
සිත පහදවා ගත් මම පාවහන් යුවල ගෙන උන්වහන්සේගේ පාමුල තබා මෙසේ කීවෙමි.
“විනායකයන් වහන්ස! සුගතයන් වහන්ස! මහාවීරයන් වහන්ස! නැඟුන මැනව. මේ පාවහන් පරිභෝග කිරීමෙන් මාගේ අභිමතාර්ථ ඉටු කළ මැනව” යනුවෙනි.
පාවහන් යුවළට නැගුණු ලෝකජ්‍යෙෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ අනෝමදස්සී බුදුහු මෙසේ වදාළහ.