පුණ්ණමාස ස්ථවිරගාථා වර්ණනාව
“පඤ්ච නීවරණෙ හිත්වා” යන ගාථා ආයුෂ්මත් පුණ්ණමාස තෙරුන්ගේය. ඒවායේ උපත කෙසේ සිදුවීද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි ඉපිද පින් රැස් කරමින් අවුත්, තිස්ස නම් භාග්යවතුන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සිටුගෙයක ඉපිද වැඩිවිය පත්වූහ. එක් දිනක් ශාස්තෲන් වහන්සේ ආරණ්යයෙහි වසන සමයෙහි පාංශුකූල චීවරයක් ගසක අත්තක එල්ලා ගඳ කිළියට වැඩියහ. දුනුගෙන විහාරයට පිවිසි සිටු කුමරු ශාස්තෲන් වහන්සේගේ පාංශුකූල සිවුර දැක පහන් සිත් අතිව, දුනුදිය බැහැරලා බුදු ගුණ මෙනෙහි කරමින් ඊට වැන්දේය. ඒ පින්කමේ විපාක ලෙස දෙව් මිනිසුන් අතර සැරිසැරූ ඔහු මේ බුද්ධෝත්පාද කාලයේ දී සැවැත් නුවර කෙළෙඹි පවුලක උපන්නේය. ඔහු උපන් දින ඒ ගෙදර සියළු භාජන රන්මය මසුවලින් පිරී ගියේය. එනිසා පුතුට “පුණ්ණමාස” යන නම තබන ලදි. වැඩිවියට පත් එකුමරු විවාහ වී එක් පුතෙකු උපන් කල්හි ගිහි ගේ අත්හැර පැවිදි වී ගම් සෙනසුනක වසමින් උත්සාහවත්ව වැර වෑයම් කොට කොට ෂඩ් අභිඥාලාභී මහතෙරනමක් බවට පත් විය. අපදාන පාළියේදී පුණ්ණමාස තෙරණුවෝ මෙසේ වදාළහ.
“සියල්ල තමාම දත් අග්ර පුද්ගල වූ තිස්ස නම් බුදුරජාණන් වහන්සේ සිය පංශුකූල සිවුර ගසක තබා විහාරයට පිවිසි සේක.
නමන ලද දුන්න ගෙන අහර පිණිස වනයේ හැසිරුණු මම කඩුව ද ගෙන වනයට පිවිසියෙමි.
එකල එක් ගසක එල්ලූ පාංශුකූල සිවුර දුටු මම එතැන දුන්න දමා හිසෙහි ඇඳිලි බැඳගෙන පහන් සිතින් සතුටට පත්ව, ප්රීතියෙන් යුතුව බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේගේ පාංශුකූල චීවරයට වැන්දෙමි.
මෙයින් කල්ප අනූ දෙකකට පෙර පාංශුකූල සිවුරට වැඳීමේ පිනෙන් මේ දක්වාම දුගතියක නූපන්නෙමි. වන්දනාවේ විපාකය මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
ෂඩ් අභිඥා උපදවා ගත් පුණ්ණමාස තෙරණුවෝ සැවැත් නුවරට පැමිණ ශාස්තෲන් වහන්සේට වැඳ සොහොනෙහි විසූහ. උන්වහන්සේ පැමිණ නොබෝ කලකින්ම ගිහි කල ලැබුණු පුතු මළේය. දරුවාගේ මව තෙරුන්ගේ පැමිණීම අසා “මා දැන් අස්වාමිකය. අපුත්රකය. අපුත්රක වූ මගේ ධනය රජු ගෙනයන්නේ ය”යි කියමින් තෙරුන් වහන්සේ සිවුරු හරවා ගැනීමට මහත් පිරිවරක් රැගෙන උන්වහන්සේ වසන තැනට පැමිණියාය. නානාවිධ ක්රමෝපායන් මගින් තෙරුන් පොළඹවා ගැනීමට උත්සාහ කළ ඇගේ ක්රියාව දුටු පුණ්ණමාස තෙරණුවෝ තමන් වහන්සේගේ වීතරාගී බව දක්වමින් අහසෙහි සිට තම පිළිවෙත ප්රකාශ කරන සේක්; ඇයට ධර්ම දේශනා කරමින් මේ ගාථා දෙක වදාළහ.
“පඤ්චනීවරණෙ හිත්වා යොගක්ඛෙමස්ස පත්තියා,
ධම්මාදාසං ගහෙත්වාන ඤාණදස්සන මත්තනො”
ධම්මාදාසං ගහෙත්වාන ඤාණදස්සන මත්තනො”
“පච්චවෙක්ඛිං ඉමං කායං සබ්බං සත්තරබාහිරං,
අජ්ඣත්තං ච බහිද්ධා ච, තුච්ඡො කායො අදිස්සථ”
අජ්ඣත්තං ච බහිද්ධා ච, තුච්ඡො කායො අදිස්සථ”
එහි “පඤ්චනීවරණෙ හිත්වා” කාමච්ඡන්දාදී පඤ්ච නීවරණයන් අත්හැර, ඤාණාධිගමනයෙන් විධ්වංසනය කර “යොගක්ඛෙමස්ස පත්තියා” කාමාදී සතර යෝගයන් ක්ෂය කරන, ඉන් පීඩානොවන නිවණට, යෝගක්ෂේම නම් නිවණට පැමිණීම සඳහා “ධම්මාදාසං” ධර්මය නම් කැඩපත. යම් සේ කැඩපතින් බලන්නාගේ රූපකායෙහි ගුණාගුණ පෙන්වා දෙයි ද එලෙසින්ම විදර්ශනා නම් ධර්මයන්හි ශ්රමණබවට අදාළ විශේෂාවබෝධයෙන් ද ඤාණදර්ශනයට උපකාරී වූ ධර්ම නම් කැඩපතින් බලන්නාගේ කෙලෙස් වලින් කිලිටි, නොකිලිටි බව ප්රකට කිරීමෙන් ද කෙලෙසුන් ප්රහාණයට විශේෂයෙන් උපකාර කිරීමෙන් ද නාම කයෙහි (සිතේ) ගුණ ප්රකට කරයි. එනිසා කියන ලදි.
“ධම්මාදාසං ගහෙත්වාන ඤාණදස්සන මත්තනො,
පච්චවෙක්ඛිං ඉමං කායං සබ්බං සන්තරබාහිරං”
පච්චවෙක්ඛිං ඉමං කායං සබ්බං සන්තරබාහිරං”
“ධර්මය නැමති කැඩපත ගෙන තමාගේ ඥාන දර්ශනයෙන් සිය සිරුරේ සියලුම අභ්යන්තර බාහිර කෙලෙස් ධර්ම පිළිබඳව විමසා බැලිය යුතුයි.”
මේ නාමකයේ ධර්ම සමූහය, මගේ ආත්මභාවයේ ආධ්යාත්මික බාහිරායතන වැඩීමෙන් ඇතුලත පිටත වූ සියලුම කෙලෙස් ධර්ම පිළිබඳව ධර්මය නම් කැඩපතින් බලා අනිත්ය, දුක්ඛ, අනාත්ම වශයෙන් සිහිපත් කර බැලුවෙමි. නුවණැසින් දුටුවෙමි. මෙසේ දකින්නා වූ මවිසින් “අජ්ඣත්තං ච බහිද්ධා ච” ස්ව සන්තානයෙහි ද පර සන්තානයෙහි ද තුච්ඡ වූ (හිස් වූ) කය දුටුවෙමි. දක්නා ලද්දෙමි. නිත්ය, සාර නොවූ හිස් වූ ස්කන්ධ පඤ්චකය නම් වූ ආත්ම භාවය නුවණැසින් තත්ත්වාකාරයෙන්ම දුටුවෙමි. මේ සියලුම පඤ්චස්කන්ධය, “මහණෙනි, අවිද්යාවෙන් වෙලුණු මෝඩයාගේ තණ්හාවෙන් යුක්ත වූ කය මේ ආකාරයෙන් හටගනියි” ආදි වශයෙන් “කය” නමින් හඳුන්වයි. “අදිස්සථ” යන මෙයින් යම් අයුරකින් කය දෙස බැලිය යුතු ද එසේම බලා යථාර්ථය දුටුවෙමි. “දැන් මවිසින් නුඹගේ කයෙහි බැලිය යුත්තක් නැත. මා කළයුතු කටයුතු නිමවන ලදි.” යැයි රහත් වූ බව ප්රකාශ කරන ලදි. මෙසේ පුණ්ණමාස තෙරණුවෝ තම ගිහිකළ භාර්යාවට මේ ගාථාවලින් ධර්මදේශනා කොට ඇය තිසරණයෙහි ද පංචශීලයෙහි ද පිහිටවූ සේක්. ආර්ය මාර්ගයෙහි ගමන් කිරීමට උත්සාහවත් කළ සේක.