වීතසෝක ස්ථවිරගාථා වර්ණනාව
“කෙසෙ මෙ ඔලිචිස්සන්තී” යනාදී ගාථා වීතසෝක තෙරුන් විසින් වදාරන ලදි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හිදී පින්දහම් රැස් කරගෙන අවුත් සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී බමුණු කුලයක ඉපිද බමුණු විද්‍යා ශිල්පයන්හි පරතෙරට ගිය බමුණෙක් වූහ. කාමයන් හැර දමා සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි වූ ඔහු මහත් සෘෂි සමූහයක් පිරිවරාගෙන අරණ්‍යයෙහි විසීය. බුදු උපත අසා තුටු පහටුව, බුදුවරු නම් දිඹුල් මල් මෙන් දුලභ දසුනකි. ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් පහළ වී සිටිති” යි මහත් පිරිවරක් සමග ශාස්තෲන් වහන්සේ වෙත යන අතරමගදී යොදුන් එකහමාරක් තිබියදී රෝගාතුර වූ තාපසතුමා බුදු ගුණ මෙනෙහි කරමින්ම කළුරිය කළේය. දෙව්ලොව උපන් හෙතෙම තව තවත් පින් දහම් සිදුකරමින් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයේදී බුදු පිරිණිවනින් වසර දෙසිය දහ අටකට පසුව ධර්මාශෝක රජුගේ බාල සහෝදරයාව උපන්නේ ය. ඔහු වීතසෝක නමින් ප්‍රකට විය. වැඩිවිය පත් ඔහු ක්‍ෂත්‍රිය කුමරුන් විසින් උගත යුතු සිප් සතර හදාරා එහි කෙළවරට ගොස් ගිරිදත්ත තෙරුන් ඇසුරෙහි සිටිමින්, සූත්‍රාන්ත පිටකයේ දී අභිධර්ම පිටකයේ ද විශාරද බවට ගිහිව සිටියදී ම පත් විය. එක් දිනක් රැවුල කපන අවස්ථාවේ දී කපුවාගේ අතින් කැටපත ගෙන තම රුව බැලූ වීතසෝක සිය සිරුර රැළි ගැසීම හා ඉදුණු කෙස් දැක හටගත් සංවේගයෙන් විදසුනට සිත යොමු කළේය. අනිත්‍යාදී ධර්ම මෙනෙහි කළ ඔහු, එම අසුනෙහි හිඳගෙනම සෝවාන් වී ගිරිදත්ත තෙරුන් සමීපයේ පැවිදිව නොබෝ දිනකින් රහත් ඵලයට පැමිණියේ ය. වීතසෝක තෙරණුවෝ අපදාන පාළියේදී මෙසේ වදාළහ.
“එකල මම ලක්‍ෂණ ශාස්ත්‍රය, ඉතිහාසය, නිඝණ්ඩු - කෙටුභ සහිත ත්‍රිවේදයෙහි පාරගතව මන්ත්‍ර හදාරන මන්ත්‍රධරයෙක් වීමි.
එකල ගඟ සැඩවතුරක් මෙන් ශිෂ්‍යයෝ මා වෙත පැමිණෙයි. දිවා රෑ දෙක්හි අනලස් වූ මම ඔවුන්ට මන්ත්‍ර ඉගැන්වූයෙමි.
එකල සිද්ධත්‍ථ නම් සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූහ. උන්වහන්සේ මෝහ ගනදුර නසා ඥානාලෝකය පැතිරවූහ.
එකල මාගේ එක් ශිෂ්‍යයකු සෙසු ශිෂ්‍යයන් පැවසූ පුවතක්, ඔවුහු පැමිණ මා හට මෙසේ දැන්වූහ.
“සර්වඥ වූ ලෝකනායක වූ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූහ. ජනයා උන්වහන්සේ වෙත ඇදී යති. අපට වන්නා වූ ලාභයක් නැත.”
මහත් යසස් ඇති බුදුවරයෝ දිව්‍ය බ්‍රහ්මාදීන්ගේ උපදේශයක් නොමැතිව ලොව පහළ වෙති. ඒ උතුම් ලෝක නායකයන් වහන්සේ දකින්නෙම් නම් මැනවැයි මම සිතුවෙමි.
එසේ සිතූ මම අඳුන් දිවි සමද වැහැරී සිවුරු ද පැන්කෙණ්ඩිය ද ගෙන අසපුවෙන් නික්ම සිසුන් ඇමතුවෙමි.
“දිඹුල් මල් මෙන් ද සඳෙහි හාවා මෙන් ද කපුටන්ගේ කිරි මෙන් ද බුදුවරයෝ දුර්ලභ වෙති.
එබඳු දුර්වල බුදුරදහු දැන් පහළව සිටිති. මිනිසත් බව ද දුලබය. ඒ දෙකම ඇති කල්හි සද්ධර්ම ශ්‍රවණය අතිශයින් දුර්ලභය.
බුදු රජ ලොව පහළ වූ සේක. පින්වතුනි! අපගේ දහම් ඇස ලබමු. එවු. සියලු දෙනම උන්වහන්සේ වෙත යමු.”
එකල්හි සියලු දෙනම පැන්කෙන්ඩි ගෙන, කුර සහිත අඳුන් දිවි සම් දරමින් දළමඩුලු බරින් බර වූවාහු වනයෙන් නික්මුණහ.
ඒ මගේ සිසුවෝ වියදඬු පමණ දුර බලන්නාහු, උත්තමාර්ථය සොයන්නාහු ඇලීමේ දෝෂ රහිතවූවාහු නිර්භය කේශර සිංහයන් සේ වූවාහු, අල්ප කටයුතු ඇත්තාහු, ලොල් නොවූවාහු ප්‍රඥා ඇත්තාහු සන්සුන් පැවතුම් ඇත්තාහු පිණ්ඩපාත චර්යාවෙහි හැසිරෙන්නාහු බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹියහ.
එසේ යන අතරමගදී යොදුන් එකහමාරක් තිබියදී මට රෝගයක් වැළඳුණි. බුදු පියාණන් සිහිපත් කරමින් ම මම කළුරිය කළෙමි.
මෙයින් කල්ප අනූහතරකට පෙර යම් බුද්ධ සංඥාවක් උපදවා ගත්තෙම් ද එදා මෙදා තුර දුගතියක නූපන්නෙමි. බුද්ධ සංඥාවේ විපාක මෙබඳුය.