වල්ලිය ස්ථවිරගාථා වර්ණනාව
“යං කිච්චං දළ්හවිරියෙන” ආයුෂ්මත් “වල්ලිය” තෙරුන්ගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි පින් රැස් කරමින් අවුත්, සුමේධ නම් භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී බමුණු කුලයක ඉපිද වැඩිවියට පත්වූහ. බමුණු සිප් සතරෙහි නිෂ්පත්තියට ගිය හෙතෙම අසූ කෙළක් වූ ධන සම්පත් හැර දමා තවුස් පැවිද්දෙන් පැවිදි වී පර්වත පාදයක වූ අරණ්‍යායතනයක් වූ එක් ගං ඉවුරක අසපුවක් සාදාගෙන වාසය කළේය. දිනක් තමාට අනුග්‍රහ පිණිස වැඩම කළ ශාස්තෲන් වහන්සේ දැක, පැහැදුණු සිතින් අඳුන් දිවි සම අතුරා දුන්නේය. එහි වැඩ හිඳි භාග්‍යවතුන් වහන්සේට මලින් ද සඳුන්වලින් ද පූජා කර, අඹ ඵල පිළිගන්වා පසඟ පිහිටුවා වැන්දේය. භාග්‍යවතුන් වහන්සේ ඒ තාපසතුමාට ආසන පූජාවේ විපාක දක්වමින් පුණ්‍යානුමෝදනා පවත්වා වැඩි සේක. ඒ පින්කම නිසා දෙව් මිනිසුන් අතර සැරිසරා පැමිණි හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේදී විශාලාවෙහි බමුණු කුලයක ඉපිද “ගණ්ඩමිත්ත” නමින් ප්‍රකට විය. තරුණ වියට පත් වූ ගණ්ඩමිත්ත බමුණා විශාලාවට වැඩම වූ ශාස්තෲන් වහන්සේගේ උතුම් බුදුසිරි දැක ලැබූ ශ්‍රද්ධාවෙන් මහා කච්චායන තෙරුන් සමීපයේ පැවිදි විය. මඳ නුවණැති උන්වහන්සේ දැඩි වීර්යයෙන් යුක්තව නුවණැති සබ්‍රහ්මචාරීන්ගේ ඇසුරෙහි බොහෝ කාලයක් විසූහ. භික්‍ෂූහු “යම් සේ වැල්, ගස් ආදී ස්ථිර දෙයක් නොමැතිව වැඩීමට අසමත් වේද එසේම පඬිවරු, නුවණැත්තන් නොමැතිව මොහුට විසිය නොහැක”යි වල්ලිය නමින් ඇමතූහ. ඊට පසු කාලයෙහි වේනුදත්ත තෙරුන් වෙත එළඹුණු වල්ලිය තෙරණුවෝ, උන්වහන්සේගේ අවවාද අනුව සිටිමින් සිහි ඇතිව, විමසන නුවණැතිව වාසය කළහ. වල්ලිය තෙරුන්ගේ නුවණ මුහුකුරා ගිය අවස්ථාවෙහි උන්වහන්සේ නිවන් මඟ විමසමින් වේනුදත්ත තෙරුන්ට මේ ගාථා දෙකෙන් ආරාධනා කළ සේක.
“යං කිච්චං දළ්හවිරියෙන යං කිච්චං බොද්ධුමිච්ඡතා,
කරිස්සං නාවරුජ්ඣිස්සං පස්සවිරියං පරක්කමං”
“ත්‍වංච මෙ මග්ගමක්ඛාහි අඤ්ජසං අමතොගධං,
අහං මොනෙන මොනිස්සං ගංගාසොතොව සාගරං”
එහි “යං කිච්චං දළ්හවිරියෙන” දැඩි වීර්යයෙන්, ස්ථිර වූ දැඩි වීර්යයෙන් හෝ පුරුෂ වීර්යයෙන් යම් කිසිවක් කළ යුතු ද පිළිපැදිය යුතු ද එය “යං කිච්චං බොද්ධුමිච්ඡතා” නිර්වාණය සඳහාම වූ හෝ සත්‍යාවබෝධය සඳහා වූ චතුරාර්ය සත්‍ය දැන ගැනීමට, අවබෝධ කර ගැනීමට කැමැත්තා විසින් යමක් කළ යුතු වේද එය “කරිස්සං නාවරුජ්ඣිස්සං” එය මම දැන් කරන්නෙමි. ධර්ම මාර්ගය වළකන්නා වූ පිළිවෙතක නො යෙදෛන්නෙමි. “පස්ස විරියං පරක්කමං” එසේ පිළිපදින්නා වූ ක්‍රමය දැක්වීම් වශයෙන්. වීර්ය විදහා දක්වන බැවින් “පරාක්‍රමය” යැයි ලැබූ නම් ඇති සම්මා වායාමය බලව. මෙයින් තමාගේ ආර්‍ය්‍ය මාර්ගයෙහි හැසිරීමේ කැමැත්ත දක්වන ලදි.
“ත්‍වං ච” කමටහන් දෙන කලණ මිතුරාට ආමන්ත්‍රණය කරයි. “මෙ” මාහට. “මග්ගක්ඛාහි” ආර්‍ය්‍ය මාර්ගය කියන්න. ලෝකෝත්තර මාර්ගයට යන චතු සත්‍ය කමටහන පවසන්න. “අඤ්ජසං” සෘජු වූ මාර්ගය. මධ්‍යම ප්‍රතිපදාව වැඩීමෙන් අන්ත දෙකට නොවැටීමෙන් අමෘතය වූ නිවණම අවබෝධ කරවන බැවින් “අමතොගධං” නම් වූ නිවන් මාවත. “මොනෙන” මාර්ග ප්‍රඥාවෙන්. “මොනිස්සං” දැන ගන්නෙමි. නිර්වාණය අවබෝධ කර ගැනීමට පැමිණෙන්නෙමි. “ගංගාසොතොව සාගරං” යම් සේ ගං දිය පහර සාගරය, සමුද්‍රය නොඉක්මවා ඒ වෙතම යන්නේ ද එලෙසින්ම කමටහනෙහි යෙදෙන්නා වූ මම මාර්ග ඤාණයෙන් නිවණ අවබෝධ කර ගන්නෙමි.” එනිසා මා හට ඊට යෝග්‍ය කමටහන වදාළ මැනව’යි වේනුදත්ත තෙරුන්ගෙන් ඉල්ලීය.
එය ඇසූ උන්වහන්සේ කමටහන් දුන් සේක. වල්ලිය තෙරුන් ද ඒ කමටහන වඩන්නේ නොබෝ දිනකින්ම විදසුනෙහි සිත පිහිටුවා රහත් බවට පත්වූයේය. අපදාන පාළියේ දී වල්ලිය තෙරණුවෝ මෙසේ පවසති.
“ප්‍රිය ස්වරූප වූ මනරම් පස්කම් ගුණයන් ද අසූ කෙළක් ධනය හැර දමා පැවිදි වූයෙමි.
පැවිදි වූ මම කයින්, වචනයෙන් පව්කම් වළකා ගං ඉවුරෙහි විසූයෙමි.
හුදකලාව වසන මා වෙත බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ එළඹි සේක. “බුදු රජ” යැයි නොදත් මම පිළිසඳර කථා කළෙමි.
පිළිසඳර කතා කොට නම් ගොත් විචාළෙමි. “ඔබ වහන්සේ දෙවියෙක් ද? නැතිනම් ශක්‍රයෙක් වේද?