සෝභිත ස්ථවිරගාථා වර්ණනාව
“සතිමා පඤ්ඤවා” යනු ආයුෂ්මත් සෝභිත තෙරුන්ගේ ගාථාවන්ය. එහි උපත කෙසේද? උන්වහන්සේද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී පින් දහම් රැස් කරමින් අවුත්, පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ හංසවතී නුවර සිටුගෙයක උපන්හ. වැඩිවිය පත් සිටුකුමරු දිනක් ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසමින් සිටියදී, ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක් පුබ්බේනිවාස ඤාණය ලබන භික්‍ෂූන්ගෙන් අග්‍රස්ථානයෙහි තබනු දුටුවේය. ඔහු ද එම තනතුර සඳහා ප්‍රාර්ථනා කොට, පින්දහම් කරමින් සුගතීන්හිම සැරිසරා අවුත් සුමේධ නම් බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි බමුණකු වී උපන්නේය. වැඩිවිය පත් බමුණු කුමරු සියළු බ්‍රාහ්මණ ශිල්ප ශාස්ත්‍රයන් කෙළවරටම උගත්තේය. ගිහි ගේ කළකිරුණු ඔහු තවුස් පැවිද්දෙන් පැවිදි වී හිමවත සමීප ආරණ්‍යයක, අසපුවක් කරවා, වන මුල් ඵල වලින් යැපෙමින් විසීය. බුදුරදුන්ගේ පහළවීම ඇසූ තාපසතුමා සෑම තැනකම එක් රැයක් පමණක් වාසය කරමින් වහා බන්‍ධුමතී නුවරට ගොස් ශාස්තෲන් වහන්සේ එළඹ, පැහැදුණු සිතින් “තුවං සත්‍ථාච කෙතුච........” යනාදී ගාථා සයකින් උන්වහන්සේට ප්‍රශංසා කළේය. ශාස්තෲන් වහන්සේ ඔහුට ලැබෙන සැප සම්පත් පිළිබඳව මෙසේ වදාළ සේක. ඒ පින්කමේ විපාක විඳිමින් හෙතෙම දෙව්මිනිසුන් අතර සැරිසරා අවුත් මේ බුද්ධෝත්පාද කාලයේදී සැවැත්නුවර බමුණු කුලයක උපන්නේ ය. “සෝභිත” නමින් ප්‍රකට වූ ඔහු පසුකලෙක අප භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ බණ අසා පැහැදී සසුනේ පැවිදි විය. නොබෝ දිනකින්ම විදසුන් භාවනාව වැඩූ උන්වහන්සේ ෂඩ් අභිඥා ලබා පෙරකඳ පිළිවෙල සිහිකරන නුවණෙහි වශී භාවයට පත්වූහ. සෝභිත තෙරණුවෝ අපදාන පාළියේදී මෙසේ පැවසූහ.
“හිමවතට දකුණු දෙස මැනවින් කරන ලද අසපුවක් මට විය. එකල මම උතුම් වූ අර්ථය සොයමින් වනයෙහි විසුවෙමි.
ලාභාලාභ දෙකින් ද මුල්-ඵල වැලින් ද සතුටු වූ මම ආචාර්යවරයකු සොයමින් හුදකලාවම විසුවෙමි.
එකල සුමේධ නම් සම්බුදු රජ ලොව පහළ වූ සේක. මහජනයා සසරින් ගොඩලමින් උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළහ.
නමුත් උන්වහන්සේ පිළිබඳව මම නො ඇසුවෙමි. කිසිවකු උන්වහන්සේ පහළ වූ බව මට නොපැවසීය. වසර අටකට පසු මම බුදුරදුන් පිළිබඳව ඇසීමි.
අසපුවේ ගිනි-දර බැහැරලා පවිත්‍ර කළ මම පිරිකර ද ගෙන වනයෙන් නික්මුණෙමි.
ගම් නියම්ගම්හි එක් රැයක් විසූ මම පිළිවෙලින් චන්‍ද්‍රවතී ගඟ වෙත ගියෙමි.
එකල සුමේධ භාග්‍යවතුන් වහන්සේ සත්ත්‍වයන් සසරින් ගොඩලමින් අමෘතපදය දේශනා කළහ.
ජනසමූහයා ඉක්මවමින් ඉදිරියට ගිය මම ගුණසාගර වූ ජිනේන්‍ද්‍රයන් වහන්සේට වැද, අඳුන් දිවි සම ඒකාංශ කරගෙන බුදුපියාණන් වහන්සේට ස්තූති කළෙමි.
“ද්විපදෝත්තම වූ ඔබ වහන්සේ සත්ත්‍වයන්ට ශාස්තෲ ද කේතුව ද ධ්වජය ද යාගස්තම්භය ද පරායණය ද පිහිට ද ප්‍රදීපය ද වෙති.
චතුරාර්ය සත්‍යය දර්ශනයේ නිපුණ බව ඇති වීර වූ ඔබ වහන්සේ, ජන සමූහයා සසරින් එතෙර කරවූහ.
මුනීන්‍ද්‍රයන් වහන්ස! ලොව නුඹවහන්සේට වඩා උතුමෙක් නැත. ඒකාන්තයෙන් මහ සයුර කුස තණ අගින් ප්‍රමාණ කළ නොහැකි වුවත්, ඔබ වහන්සේගේ සර්වඥතාඥානය කිසිසේත් ප්‍රමාණ කළ නොහැක. පසැස් ඇති උතුමාණෙනි! තරාදියේ තබා පොළව ප්‍රමාණ කිරීමට හැකිවන්නේ ය. නමුත් ඔබ වහන්සේගේ ප්‍රඥාව ප්‍රමාණ කිරීමට නොහැකි වේ. සමුද්‍රයෙහි දියද අහසද පොළවද යන මේ මහා වස්තූහු ප්‍රමාණ කළ හැකි වුවත් ඔබ වහන්සේ ප්‍රමාණ කළ නොහැක.”
එකල මම මෙසේ ගාථා සයකින් මහත් යශස් ඇති සර්වඥයන් වහන්සේට ඇඳිලි බැඳගෙන ස්තූති කර, නිහඬ වූයෙමි.