භද්දජි ස්ථවිරගාථා වර්ණනාව
“පනාදො නාම සො රාජා” යනු ආයුෂ්මත් භද්දජි තෙරුන්ගේ ගාථාවන් ය. එහි උපත කෙසේ සිදුවී ද? උන්වහන්සේ පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි බමුණු කුලයක ඉපිද වැඩිවියට පත්වූහ. බමුණු ශිල්ප ශාස්ත්රයන්හි පරතෙරට ගිය හෙතෙම, කාමුක සම්පත් හැරදමා තවුස් පැවිද්දෙන් පැවිදිව ආරණ්යයෙහි අසපුවක් සාදාගෙන වෙසේ. දිනක් ශාස්තෲන් වහන්සේ අහසින් වඩිනු දුටු එම තවුසා පහන් සිතින් ඇඳිලි බැඳගෙන සිටියේය. ශාස්තෲන් වහන්සේ ඔහුගේ අදහස දැන අහසින් බැස වැඩ හිඳි සේක. එසේ වැඩසිටි භාග්යවතුන් වහන්සේට මිහිරි වූ මී පැණි ද නෙළුම් අල හා දඬු ද ගිතෙල් ද කිරි ද පිළිගැන්වූ පසු, එම තවුසාට අනුකම්පාවෙන් ඒවා පිළිගත් භාග්යවතුන් වහන්සේ පුණ්යානුමෝදනා කොට වැඩි සේක. ඒ පින්කම නිසා තුසිතයේ උපන් ඔහු, එහි පරමායුෂ විඳ නැවත කාම සුගති ලෝකවල ම උපදිමින් සසර සැරිසරා අවුත්, විපස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයේ දී මහධන සිටුවරයෙක් ව උපන්නේය. එකල හැට අට දාහක් භික්ෂූන්ට දානය පූජා කළ ඔහු තුන් සිවුරු පූජා කළේය.
මෙසේ බොහෝ පින්දහම් කළ සිටුතුමා දෙව්ලොව ඉපදී ආයු කෙළවර දක්වා එහි සැප විඳ, බුද්ධ ශූන්ය කාලයක මනුලොව උපන්නේය. පසේ බුදුවරු පන්සීයකට සිවුපසයෙන් උපස්ථාන කළේය. ඉන් චුත ව රජ කුලයේ ඉපිද රාජ්ය කරන සමයෙහි තම පුතු පසේ බුදුවරයකු වූ කල්හි උන්වහන්සේට උපස්ථාන කළේය. උන්වහන්සේ පිරිනිවි කල්හි ධාතු ගෙන සෑයක් කරවා පූජා පැවැත්වීය. මෙසේ ඒ ඒ භවයන්හිදී නානා විධ පින්දහම් සිදුකරගත් හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේදී භද්දිය නුවර අසූ කෙළක් සම්පත් ඇති භද්දිය සිටුගේ එකම පුතු ව උපන්නේය. “භද්දජි” නමින් ප්රකට වූ එකුමරු ඉසුරු සම්පත්, පිරිවර හා භෝග සම්පත් ලබාගෙන අවසන් ආත්මභාවය ගෙවන බෝසත්වරයකු මෙන් සැප වින්දේය.
එකල්හි ශාස්තෲන් වහන්සේ සැවතෙහි වස් වැස භද්දජි කුමරුට අනුග්රහ පිණිස මහත් වූ සඟ පිරිසක් පිරිවරා ගෙන භද්දිය නුවරට වැඩ ස්වාභාවික වන පෙතක විසූහ. කුමරුගේ නුවණ මුහුකුරා යෑම බලමින් මෙසේ වැඩ සිටින සමයේ, දිනක් මතු මහලෙහි සිටි ඔහු, සීමැදුරු කවුළුව හැර බලනුයේ භාග්යවතුන් වහන්සේගෙන් ධර්මය ඇසීමට යන මහජනතාව දුටුවේය. “මේ ජනයා කොහි යන්නේ ද?”යි ඇසූ කුමරු ධර්මශ්රවණයට යන බව අසා, මහත් පිරිසක් පිරිවරාගෙන ධර්මශ්රවණයට බුදුන් වෙත ගියේය. ධර්මදේශනාවසානයෙහිදී සර්වාභරණයන්ගෙන් සැරසී සිටගෙන ම සියලු කෙලෙස් නසා රහත් බවට පත්විය. අපදාන පාළියේදී භද්දජි තෙරණුවෝ මෙසේ වදාළහ.
“එකල මම නානාවිධ හස්තීන් ඇසුරු කළ පොකුණකට බැස සාදුක නිසා නෙළඹු අල උදුරමි.
එවිට කසට වස්ත්ර දරන්නා වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පාංශුකූල සිවුර කම්පා කරමින් අහසින් වැඩම කළ සේක. ඒ ශබ්දය ඇසූ මම උඩ බලන්නෙම්, ලෝක නායකයාණන් වහන්සේ දුටුවෙමි.
එහිම සිටි මම මෙසේ ආයාචනා කළෙමි. “මගේ නෙළඹු අල සහිත වූ මී ද කිරි ද ගිතෙල් ද නෙළඹු දැලි ද පසැස් ඇති බුදුරජාණන් වහන්සේ පිළිගනිත්වා”
එය ඇසූ ඉතා කාරුණික වූ, මහත් යසස් ඇති සර්වඥයන් වහන්සේ මාගේ භික්ෂාව මා හට අනුකම්පාවෙන් පිළිගෙන පුණ්යානුමෝදනා කළ සේක.
“මහ පින්වත! සුවපත් වන්න. ඔබගේ ගතිය සමෘද්ධිමත් වේවා. මේ නෙළඹු අල දානය හේතුවෙන් මහත් සැප ලබත්වා.”
පස්මරුන් දිනූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරා අහසින් වැඩි සේක.
ඉක්බිති මම නෙළුඹු අල ගෙන මගේ අසපුවට පැමිණ, ඒවා ගසක එල්ලා මාගේ දානය පිළිබඳව සිහිකළෙමි.
එවිට මහා වාතයක් නැඟී වනය කම්පා කළේය. හෙණ පුපුරමින් අහස ගිගිරුම් දුණි.