උත්තර ස්ථවිරගාථා වර්ණනාව
“ඛන්‍ධා මයා පරිඤ්ඤාතා” යන ගාථා දෙක ආයුෂ්මත් උත්තර තෙරණුවෝ වදාළහ. ඒවායේ උපත කෙසේ ද? පෙර බුදුවරු හමුවෙහි කළ පැතුම් ඇති උන්වහන්සේ ද සසර ඒ ඒ භවයන්හි දී කුසල් රැස් කරගනිමින් නිවන් පතාගෙන අවුත්, මෙයින් කල්ප අනූ දෙකකට පෙර පහළ වූ සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ සිටු ගෙයක උපන්හ. තරුණ වියටපත් සිටුතෙම බුදු සසුනේ පැහැදී උපාසකයකුව උපස්ථාන කළේය. බුදුහු පිරිනිවි කල්හි තම ඤාතීන් පිරිවරාගෙන අවුත්, බොහෝ පූජා ද්‍රව්‍ය රැස්කර ධාතු පූජා පැවැත්වූහ. ඒ පින්කම නිසා දෙව් මිනිස් දෙගතියෙහි සැරි සැරූ හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේ දී සාකේත නුවර බමුණු පවුලක ඉපිද “උත්තර” නමින් ප්‍රකට විය. තරුණ වියපත් උත්තර බමුණා දිනක් කිසියම් කටයුත්තකට සැවැත් නුවරට ගියේ ගණ්ඩම්බ රුක් මුල පැවැත්වූ යමක මහා ප්‍රාතිහාර්ය දුටුවේය. නැවත කාලාකාරාම සූත්‍ර දේශනාව අසා වර්ධනය වූ ශ්‍රද්ධාව ඇති ඔහු සසුනේ පැවිදි විය. ශාස්තෲන් වහන්සේ සමග රජගහ නුවරට වැඩම වූ උත්තර තෙරුන් එහිදී උපසපන්ව, රජගහ නුවරම වෙසෙමින් විදසුනෙහි සිත පිහිටුවා නොබෝ කලකින්ම ෂඩ් අභිඥාලාභී මහරහතන් වහන්සේ නමක් බවට පත් විය. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ වදාළහ.
“ලොවට එකම පිහිටවූ සිද්ධත්‍ථ ලෝක නායකයන් වහන්සේ පිරිනිවි කල්හි මගේ ඤාතීන් කැඳවා උතුම් ධාතු පූජාවක් මම කරවූයෙමි.
මෙයින් කල්ප අනූ හතරකට පෙර යම් ධාතු පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් දුගතියක නූපන්නෙමි. ධාතු පූජාවේ විපාක මෙබඳු ය.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.
ෂඩ් අභිඥාලාභීව සැවැත් නුවර ශාස්තෲන් වහන්සේ සමග වෙසෙන උත්තර තෙරුන්ගෙන්, රජගහ නුවර සිට සැවැත් නුවරට බුද්ධෝපස්ථානය සඳහා පැමිණි භික්‍ෂූහු මෙසේ විමසූහ. “ඇවැත්නි! කිම නුඹ පැවිද්දෙහි කටයුතු මස්තකප්‍රාප්ත කරගත්තෙහිද?” එවිට තම රහත්භාවය ප්‍රකාශ කරන උත්තර තෙරණුවෝ මේ ගාථා දෙක වදාළහ.
“ඛන්‍ධා මයා පරිඤ්ඤාතා, තණ්හා මෙ සුසමූහතා,
භාවිතා මම බොජ්ඣඞ්ගා, පත්තො මෙ ආසවක්ඛයො”
“යොහං ඛන්‍ධෙ පරිඤ්ඤාය අබ්බූහිත්‍වාන ජාලිනිං,
භාවයිත්‍වාන බොජ්ඣඞ්ගෙ නිබ්බායිස්සං අනාසවො”
එහි “ඛන්‍ධා” යනු පඤ්චස්කන්‍ධයෝය. “පරිඤ්ඤාතා” “මෙය දුක වේ. මෙයින් අන්‍යවූවක් නැතැ”යි පිරිසිඳ දැන ගත්තෙමි. එයින් දුක්ඛාර්ය සත්‍යයේ පිරිසිඳ දැනීම පවසන ලදි. “තණ්හා” ආශා කරයි. (තසති) වඩාත් ආශා කරයි යනු තණ්හාවයි. “සුසමූහතා” මනාව උදුරා දමන ලදි. මෙම වැකියෙන් සමුදය සත්‍යය ප්‍රහාණය කරන ලද බව දක්වයි. “භාවිතා මම බොජ්ඣඞ්ගා” “බෝධි” නම් වූ සති ආදී ධර්මයන්ගෙන් යුක්තවීම නිසා හෝ බෝධි නම් වූ ආර්ය පුද්ගලයාගේ අංග බැවින් බොජ්ඣංග නම් වූ - සතිය, ධම්ම විචය, විරිය, ප්‍රීතිය, පස්සද්ධිය, සමාධිය හා උපේක්‍ෂාව යන ආර්ය මාර්ගයට අයත් ධර්ම මවිසින් වඩන ලදි. උපදවන ලදි. භාවිත කරන ලදි. මෙහිදී බොජ්ඣංග නාමයෙන් ඒ හා සමගම සියලු මාර්ග ධර්ම ද සියලු බෝධි පාක්‍ෂික ධර්ම ද අදහස් කරන ලදැයි දත යුතුයි. මේ වැකියෙන් මාර්ග සත්‍යය වැඩීම දක්වයි. “පත්තො මෙ ආසවක්ඛයො” කාමාශ්‍රවාදී ආශ්‍රව ක්‍ෂය කිරීම, “ආශ්‍රවක්‍ෂය” නම් වේ. ආශ්‍රවක්‍ෂය නම් අසංකත ධර්‍මයට, නිවණට මම පැමිණියෙමි, නිවණ අවබෝධ කළෙමි. මෙයින් නිරෝධ සත්‍යය සාක්‍ෂාත් කරගැනීම අදහස් කරයි. මෙපමණකින් තමන් වහන්සේගේ සෝපාදිසේස නිර්වාණ ධාතුවට සමවැදි බව දක්වයි.
දැන් අනුපාදිසේස නිර්වාණ සම්පත්තිය ද තමාට ඇති බව දෙවන ගාථාවෙන් පවසයි. “යොහං” ඒ මම, මෙසේ ඉහත පැවසූ ලෙස පස්කඳ මැනවින් දැන, එසේ තත්ත්වාකාරාවබෝධයෙන් සිය අත්බවට, පර අත්බවට අයත් ආධ්‍යාත්මික හා බාහිර වු සෑම දෙයක් පිළිබඳවම ඇති, අතීත-අනාගතාදී භේද ඇති නැවත නැවත මහන්නා වූ ආකාර ඇති - නැවත නැවත උපදිමින් මැරෙන කාරණයට හේතුවූ දැලක් වැනි හෙයින් “ජාලිනී” නම් තණ්හාව මාගේ සිතින් උපුටා දමා මම මැඩලූයෙමි. එසේ මැඩලූ මගේ සිතේ බොජ්ඣංග ධර්ම වැඩුවෙමි. ඒ ඉහත දැක්වූ ප්‍රභේද සහිත බොජ්ඣංග ධර්‍ම වඩා, එහි සම්පූර්ණත්වයට පත්වූයෙම් එහිදීම අනාශ්‍රව වූයෙමි. දැන් අවසන් වූ චුති සිත නිරුද්ධ වීමත් සමගම උපාදාන රහිත වූයෙම්, ගිනි සිළුවක් නිවී යන්නාක් මෙන් නිවෙමි. පිරිනිවෙන්නෙමි.
උත්තර ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
භද්දජි ස්ථවිරගාථා වර්ණනාව
“පනාදො නාම සො රාජා” යනු ආයුෂ්මත් භද්දජි තෙරුන්ගේ ගාථාවන් ය. එහි උපත කෙසේ සිදුවී ද? උන්වහන්සේ පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි බමුණු කුලයක ඉපිද වැඩිවියට පත්වූහ. බමුණු ශිල්ප ශාස්ත්‍රයන්හි පරතෙරට ගිය හෙතෙම, කාමුක සම්පත් හැරදමා තවුස් පැවිද්දෙන් පැවිදිව ආරණ්‍යයෙහි අසපුවක් සාදාගෙන වෙසේ. දිනක් ශාස්තෲන් වහන්සේ අහසින් වඩිනු දුටු එම තවුසා පහන් සිතින් ඇඳිලි බැඳගෙන සිටියේය. ශාස්තෲන් වහන්සේ ඔහුගේ අදහස දැන අහසින් බැස වැඩ හිඳි සේක. එසේ වැඩසිටි භාග්‍යවතුන් වහන්සේට මිහිරි වූ මී පැණි ද නෙළුම් අල හා දඬු ද ගිතෙල් ද කිරි ද පිළිගැන්වූ පසු, එම තවුසාට අනුකම්පාවෙන් ඒවා පිළිගත් භාග්‍යවතුන් වහන්සේ පුණ්‍යානුමෝදනා කොට වැඩි සේක. ඒ පින්කම නිසා තුසිතයේ උපන් ඔහු, එහි පරමායුෂ විඳ නැවත කාම සුගති ලෝකවල ම උපදිමින් සසර සැරිසරා අවුත්, විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී මහධන සිටුවරයෙක් ව උපන්නේය. එකල හැට අට දාහක් භික්‍ෂූන්ට දානය පූජා කළ ඔහු තුන් සිවුරු පූජා කළේය.