නන්‍ද ස්ථවිරගාථා වර්ණනාව
“අයොනිසො මනසිකාරා” යනු ආයුෂ්මත් නන්ද තෙරුන්ගේ ගාථාවන් ය. එහි උපත කෙසේ ද? නන්ද තෙරණුවෝ පෙර පදුමුත්තර භාග්‍යවතුන්ගේ කාලයේ හංසවතී නුවර සිටුගෙයක ඉපිද වියපත්ව නිතර එම භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය අසති. දිනක් ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක් ඉන්‍ද්‍රියසංවර භික්‍ෂූන්ගෙන් අගතනතුරෙහි තබනු දුටු ඔහු, “මම ද එම තනතුර ලබමි” යි පතා භාග්‍යවතුන් වහන්සේට ද භික්‍ෂු මහා සංඝරත්නයට ද පූජා සත්කාර කරමින් මහදන් පැවැත්වීය. දන් දී “මම ද අනාගතයේ පහළවන ඔබ වැනි ම වූ ලොව්තුරු බුදුවරයන් වහන්සේ කෙනෙකු හමුවේ මෙබඳු වූ ශ්‍රාවකයෙක් වෙමි” යි ප්‍රාර්ථනා කොට, එතැන් පටන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා අවුත්, අත්‍ථදස්සි බුදුරදුන් ගේ කාලයේදී විනතා නම් නදියේ මහත් කැස්බෑවෙකුව උපන්නේය. දිනක් ශාස්තෲන් වහන්සේ එතෙරවනු කැමතිව ගං ඉවුරෙහි සිටිනු දුටු කැස්බෑවා උන්වහන්සේ එතෙර කරවනු කැමතිව බුදු පාමුල හොත්තේය. ඔහුගේ අදහස දුටු ශාස්තෲන් වහන්සේ කැස්බෑවාගේ පිටට නැගි සේක. දැඩි සේ සතුටට පත් කැස්බෑවා ඉතා වේගයෙන් දිය පහර සිඳගෙන වහාම උන්වහන්සේ එතෙර කරවීය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට පුණ්‍යානුමෝදනා කර, ලැබෙන සම්පත් වර්ණනා කර වැඩි සේක.
මේ උතුම් පින්කම් නිසා කාමසුගතීන්හිම සැරිසැරූ ඔහු, අපගේ බුදුරජාණන් වහන්සේ පහළවන සමයෙහි කපිලවස්තුවේ සුද්ධෝදන මහරජුගේ පුතු ව මහාප්‍රජාපතී ගෞතමියගේ කුසෙහි ඉපදුණි. ඔහුට නම් තබන දවසේ “සියලු නෑ සමූහයා සතුටු කරමින් නන්දනය කරමින් උපන් බැවින්” “නන්ද” යැයි නම් තැබූහ. නන්ද කුමරු වියටපත්වූ සමයේ දී ශාස්තෲන් වහන්සේ දම්සක් දෙසුම පවත්වා, ලෝකයාට සෙත සලසමින් කපිලවත්‍ථුවට වැඩම වූහ. නෑයන් එකතු වූ අවස්ථාවෙහි වූ මල් වැස්ස අර්ථෝත්පත්ති කරගෙන වෙස්සන්තර ජාතකය දේශනා කළ තථාගතයන් වහන්සේ දෙවැනි දින පිඬුපිණිස හැසිරෙමින් “උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය” ගාථාවෙන් පියාට දහම් දෙසා ඔහු සෝවාන් ඵලයෙහි පිහිට වූ සේක. රජ මැදුරට පිවිසි උන්වහන්සේ “ධම්මං චරෙ” යන ගාථාවෙන් දහම් දෙසා මහා ප්‍රජාපතී ගෝතමිය සෝවාන් ඵලයෙහිද සුදොවුන් රජ සකෘදාගාමි ඵලයෙහිද පිහිට වූහ. තෙවැනි දින නන්ද කුමරුගේ අභිෂේකය, ගෘහ ප්‍රවේශය, විවාහය යන මංගල්‍ය තුනක් යෙදී තිබෙන කල්හි පිඬු පිණිස වැඩම කළ බුදුපියාණන් වහන්සේ නන්ද කුමරුට පාත්‍රය දී “සුභ මංගල්‍යයක් වේවා!”යි වදාරා, ඔහුගේ අතින් පාත්‍රය නොගෙනම විහාරයට වැඩි සේක. නන්ද කුමරු ද පාත්‍රය රැගෙන විහාරයට ම පැමිණි පසු ඔහු නොකැමැත්තෙන් ම පැවිදි කරවූ සේක. එසේ පැවිදි වූ නන්ද හිමි පැවිද්ද පිළිබඳව කළකිරී සිටි බව දුටු තථාගතයන් වහන්සේ උපායකින් එය දුරු කළ සේක. සිහිනුවණින් විමසා බලා විදර්ශනාවෙහි සිත පිහිටුවා ගත් නන්ද හිමියෝ නොබෝ කලකින්ම රහත් වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.
“සියල්ල තමන් වහන්සේම අවබෝධ කළා වූ ලෝකනාය වූ භාග්‍යවත් වූ අත්‍ථදස්සී බුදුරජාණන් වහන්සේ විනතා නදී තෙරට වැඩම කළහ.
එකල මම ජලයේ හැසිරෙන කැසුබුවෙක් වූයෙමි. උන්වහන්සේ ගඟින් එතෙර කරවනු කැමති ව මම ලෝක නායකයන් වහන්සේ වෙත එළඹ මෙසේ සිතුවෙමි.
“මහාමුනි වූ බුදුරජාණෝ මාගේ පිටට නගීවා. ඔබ වහන්සේ ම තරණය කරන්නෙමි. ඔබ වහන්සේ ලෝකයාගේ දුක් කෙළවර කරන්නෙහිය.
මගේ අදහස් දත් මහත් යසස් ඇති අත්‍ථදස්සී බුදුපියාණෝ මා පිටට නැගි සේක.
යම් අත්භවෙක සිට මා පිළිබඳව සිහිකරම් ද යම් තැනක සිට නැණවත් බවට පැමිණියෙම්ද ඒ කිසිදු තැනෙක ඔබවහන්සේගේ පාද ස්පර්ශය ලද මොහොතේ මා හට දැනුණු සුවය නම් නොදැනුණි. එබඳු සුවයක් නොලදිමි.
මහත් යශස් ඇති බුදුහු ගඟින් එතෙර වී මේ ගාථාවන් වදාළහ.
“මේ ගඟ තරණය කරමි යි සිතූ මොහොතෙහි මේ ඥානවන්ත කැසිබුවා මා එතෙර කරවීය.,
මෙතෙම ඒ පිනින් ද මෙත් සිත් ඇති බැවින් ද කල්ප දහ අටක් දෙව්ලොව සිත් අලවා වසන්නේය.
කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ “දෙව්ලොවින් මෙහි පැමිණ හුනස්නෙහි ම සැක නම් සැඩපහර තරණය කරන්නේය.”
සරු කෙතක රෝපිත ස්වල්ප වූ බිජුවට මනාව වැසි වස්නා කල්හි ශස්‍ය ඵලය ගොවියා තුටු කරන්නාක් මෙන් මෙසේ බුදුරජාණන් වහන්සේ විසින් දෙසූ පරිදි බුදුන් වෙත කරන ලද පූජාව පිළිබඳ වූ දහම් වැස්ස වස්වන කල්හි ඒ පින් ඵල මා සතුටු කරවීය.
ප්‍රධන් වීර්යයෙහි මෙහෙයූ සිතැත්තෙමි. උපශාන්ත වූයෙමි. උපධි රහිත වූයෙමි. සියලු ආශ්‍රව ප්‍රහීන කොට දැන් අනාශ්‍රවව වෙසෙමි.
මීට කල්ප දහ අටකට පෙර කරන ලද පින්කම නිසා එතැන් පටන් දුගතියක නූපන්නෙමි. බුදුරදුන් එතෙර කිරීමේ පින මෙබඳුය.
දැන් මම කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.
රහත් බවට පත්ව විමුක්ති සුව විඳින නන්ද තෙරණුවෝ ඒ පිළිබඳ සිහිකරමින් “ශාස්තෲන් වහන්සේගේ උපායෙහි දක්‍ෂ බව පුදුමයි! මම භව, සංසාර නම් මඩ ගොහොරුවෙන් උඩට ගෙන නිවන් නම් ගොඩබිමෙහි පිහිටුවීම ඉතා පුදුම සහගතයි” යනුවෙන් තමන්වහන්සේ කෙලෙස් ප්‍රහීණ කර ලැබූ සුවය සිහිපත් කිරීමෙන් හටගත් සොම්නසින් මේ ගාථා දෙක වදාළහ.
“අයොනිසො මනසිකාරා මණ්ඩනං අනුයුඤ්ජිසං,
උද්ධතො චපලොචාසිං කාමරාගෙන අට්ටිතො”