සිරිමන්ත ස්ථවිරගාථා වර්ණනාව
“පරෙච නං පසංසන්තී” ආයුෂ්මත් සිරිම තෙරණුවන්ගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ සිදුවීද? පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්රාර්ථනා ඇති උන්වහන්සේ ඒ ඒ භවයන්හිදී පින්දහම් රැස්කරමින් අවුත්; පදුමුත්තර බෝසතාණන් වහන්සේ පාරමී සම්පූර්ණ කර තුසිත භවනයේ සිටින කල්හි බමුණු පවුලක උපන්හ. වියපත් බමුණු තරුණයා ත්රිවේද පාරගතව, නිඝණ්ඩු - කෙටුභ - සහිත අක්ෂර ප්රභේදාදිය ද පස්වන වේදය වූ ඉතිහාසය ද පද ව්යාකරණාදියද ලෝකායත මහා පුරුෂ ලක්ෂණාදී ශාස්ත්ර ද හදාරා ගිහිගෙයින් නික්මීමේ අදහස් ඇතිවය. කාම සම්පත් හැර තවුස් පැවිද්දෙන් පැවිදි වූ ඔහු අසූහාරදහසක් පමණ තාපස සමූහයක් පිරිවරාගෙන හිමවතෙහි දෙවියන් මැවූ අසපුවක ධ්යාන අභිඤ්ඤා උපදවා ගෙන වාසය කළේය. නායක තාපසයාණෝ පෙර බුදුවරු කෙරෙහි කළ ප්රාර්ථනා ඇති බැවින් ලක්ෂණ ශාස්ත්රයේ දැක්වෙන අයුරින්ම බුදු ගුණ සිහිකර, අතීත බුදුවරු උදෙසා එක්තරා ගං තෙරක වැලි සෑයක් සාදා ඊට පූජා සත්කාර කළහ. එය දුටු ශිෂ්ය තාපසවරු “මේ පූජා සත්කාර කරන්නේ කවුරු උදෙසාද?” ඇසූහ. එවිට නායක තවුසා ඔවුන්ට ලක්ෂණ ශාස්ත්රය ගෙන හැර දක්වා, එහි දැක්වෙන මහා පුරුෂ ලක්ෂණ බෙදා දක්වමින් ඒ අනුසාරයෙන් තම ශක්ති පමණින් බුදු ගුණ පැවසීය. එය අසා පහන් සිත් ඇති වූ ඒ ශිෂ්ය තාපසවරු ද එතැන් පටන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා ථූප පූජා පවත්වමින් විසූහ.
මේ කාලයේ දී පදුමුත්තර බෝසත්හු තුසිත දෙව්ලොවින් චුතව මවුකුස පිළිසිඳ ගත්හ. ඒ අවසන් භවයේදී දෙතිස් පූර්ව නිමිති ද සියලු ආශ්චර්ය අද්භූත ධර්ම ද පහළ විය. එම අසිරිමත් ලක්ෂණ සෙසු තවුසන්ට පෙන්වා සම්මා සම්බුදුවරු පිළිබඳ අධික ප්රසාදයක් ඇති කරවූ නායක තවුසාණෝ මියගොස් බඹලොව උපන්හ. තම ශරීරය දවමින් පුද පූජා කරන ශිෂ්ය සමූහයා වෙත පැමිණි ඒ බ්රහ්මයා, “මම නුඹලාගේ ගුරුවරයා වෙමි. සෑයට පූජා කිරීමෙන් මම බඹලොව උපන්නෙමි. නුඹලා ද අප්රමාදී වවු.”යි පවසා බඹලොවටම ගියේය.
හෙතෙම මෙසේ දෙව් මිනිස් දෙගතියේ සැරිසරමින් අවුත් මේ බුද්ධෝත්පාද කාලයේදී සැවැත්නුවර ගහපති නිවසක උපන්නේය. ඔහු උපන් දිනයේ පටන් ඒ නිවසේ ශ්රී සම්පත් වැඩුණේය. එබැවින් ඔහුට “සිරිම” යන නම තබන ලදි. සිරිම කුමරු පා තබා ඇවිදින අවස්ථාවෙහි ඔහුට බාල සොහොයුරෙක් උපන්නේය. එකුමරුට “මොහු සිරි වඩන්නේය. ශ්රී වඩමින් උපන්නේය”යි “සිරිවඩ්ඪ” යන නම තබන ලදි. ඒ දෙසොහොයුරෝම ජේතවනාරාමය පිළිගත් දින පැවති බුදුසිරි දැක පැහැදීමෙන් බුදු සසුනේ පැවිදි වූහ. ඒ දෙදෙනාගෙන් සිරිවඩ්ඪ හිමියෝ උතුරු මිනිස් දම් උපදවා ගැනීම දක්වා ම ගිහි පැවිදි සමූහයා විසින් සත්කාර සම්මාන කරන ලද්දාහු සිවුපසය ද බොහෝ ලබන්නෙක් වූහ. සිරිම තෙරණුවෝ පැවිදි වූ දින පටන් එබඳු පින් දහම් සිදු නොකළ බැවින් සිවුපසය අල්පය ලබන්නෙක්ව මහජනයා විසින් නොපුදන ලද්දේ වූහ. උන්වහන්සේ සමථ-විදර්ශනා කමටහන්හිම සිත පිහිට වූ සේක් නොබෝ දිනකින්ම ෂඩ්අභිඥා උපදවා ගත්හ. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ පැවසූහ.
“එකල මම හිමවතෙහි දේවල නම් තවුසෙක් වූයෙමි. දෙවියෝ මාගේ සක්මන මවා දුන්හ.
එකල්හි ජටා දරන මම, පැන් කෙණ්ඩියක් ගෙන උතුම් අර්ථය සොයමින් වනයෙන් නික්මුණෙමි.
එසමයේ මට අසූහාරදාහක් ශිෂ්යයෝ උවටැන් කළහ. ඔවුහු සිය කටයුතු කරමින් වනයේ විසූහ.
අසපුවෙන් නික්මුණු මම වැලි සෑයක් සෑදුවෙමි. නොයෙක් මල් ගෙන එයට පිදුවෙමි.
එහි සිත පහදවා අසපුවට පිවිසියෙමි. සියලු සිසුහු රැස් ව මාගෙන් මෙසේ විමසූහ.
“නුඹ වහන්සේ වැලි වලින් කළ සෑයෙහි පුදන දෙවියා පිළිබඳ අපි ද දැනගනු කැමැත්තෙමු. ඒ පිළිබඳව විචාළ අපට එය පවසනු මැනවි”
එවිට මම මෙසේ පැවසුවෙමි. “අපගේ වේද මන්ත්රවල දැක්වෙන මහත් යසස් ඇති බුදුවරු වෙති. මම ඒ මහත් වූ ශ්රේෂ්ඨ බුදුවරු නමදිමි”
සිසුහු නැවතත් මෙසේ විචාළහ. “ඒ මහා වීර වූ සර්වඥ වූ ලෝකනායකවරු කෙබඳුද? කෙසේ වූ පා සටහන් ඇත්තෝ ද? කෙසේ වූ ස්වභාව ඇත්තෝ ද?”
මම මෙසේ පැවසුවෙමි. “බුදුවරු දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇත්තෝය. සාළිසක් (40) දත් ඇත්තෝය. තථාගතයන්ගේ වස්සකුගේ වැනි ඇස් පිහාටු ඇති නේත්රයේ ඔලිඳ ඵල වැනි පැහැ ඇති වෙති.
උන්වහන්සේලා වියදඬු පමණ දුර බලමින් වැඩම කරති. උන්වහන්සේගේ දණහිස, අත් පා සන්ධි හඬ නොනගයි.
පළමු කොට දකුණු පය පෙරට තබා ගමන් ඇරඹීම උන්වහන්සේලාගේ සිරිතකි. ඒ බුද්ධ ධර්මතාවෝය.
ඒ බුදුවරු කේසර සිංහරාජයන් මෙන් නිර්භීතයහ. තමන් උසස් කරමින් සෙසු සත්ත්වයන් හෙළා නොදකිති.
මාන අවමාන දෙකින් මිදුනු බුදුවරු සව් සතුන් කෙරෙහි සම සිත් ඇත්තෝය. තමා හුවා නොදැක්වීම බුද්ධ ධර්මතාවකි.
උන්වහන්සේලා මනුලොව පහළවන කල්හි ආලෝක දක්වති. ආකාර සයකින් මුළු පොළවම කම්පා කරති;
උන්වහන්සේලා නිරය ද දකිති. එවිට එහි ගිනි නීවී යයි. මහවැසි වසී. මේ බුද්ධ ධර්මතා වේ.