කිම්බිල ස්ථවිරගාථා වර්ණනාව
“පාචීනවංස දායම්හී” යනු ආයුෂ්මත් කිම්බිල තෙරුන්ගේ ගාථාවන් ය. ඒවායේ උපත කෙසේද? උන්වහන්සේගේ පෙර කථා පුවත; සංවේග උපදවා ගැනීම හා පැවිද්ද ඒක නිපාතයේ “අභිසත්තො” යනාදී ගාථාවේ අර්ථ වර්ණනාවේදී පැවසූ පරිදිම දත යුතුයි. එම ගාථාවේදී කිම්බිල තෙරණුවෝ තමාගේ විශේෂාධිගමයන්ට හේතුව දක්වන ලදි. මෙහිදී විශේෂාධිගම ලබා තමාගේත් ආයුෂ්මත් නන්දිය හිමියන්ගේත් සමගි වාසය නිමිති කරගෙන මෙම ගාථා දෙක දක්වන ලදි. සමගිව වාසය කරනු කැමැත්තෝ කෙසේ විසිය යුතු ද? යන්න මෙම ගාථාවන්හි පැවසේ.
“පාචීනවංසදායම්හී සක්යපුත්තා සහායකා,
පහායානප්පකෙ භොගෙ උඤ්ඡ පත්තාගතෙ රතා”
පහායානප්පකෙ භොගෙ උඤ්ඡ පත්තාගතෙ රතා”
“ආරද්ධවිරියා පහිතත්තා නිච්චං දළ්හ පරක්කමා,
රමන්ති ධම්මරතියා හිත්වාන ලොකියං රතිං”
රමන්ති ධම්මරතියා හිත්වාන ලොකියං රතිං”
මෙම ගාථාවන්හි “පාචීනවංසදායම්හී” යනු ප්රාචීනවංස නම් වූ රක්ෂිත, සුරක්ෂිත උවදුරු දුරලූ වනයෙහි. එහිදී ද ගමට නැගෙනහිරින් (ප්රාචීන) පිහිටි බැවින් සහ උණගොමු ආදියෙන් ආරක්ෂිත වූ බැවින් “ප්රාචීනවංසදාය” යැයි කියන ලදි. නැතිනම් එක්ව වසන බැවින් “වංසදාය” යැයි කියන ලදි. “සක්යපුත්තා” අනුරුද්ධාදි ශාක්ය රජ කුමාරවරු “සහායකා” යනු සංවේග උපදවා එකට පැවිදි වී එකටම මහණදම් පුරමින් එක්ව වසන, සමගිව යන, එන, පවතින අර්ථයෙන් සහායක වූ යහළුවෝ, “පහායානප්පකෙ භොගෙ” මහත් වූ පුණ්යානුභාවයෙන් ද කුල පරපුරින් ද හිමි වූ මහත් වූ සම්පත් රාශිය හැර දමා, පාළියෙහි “සහායානප්පකෙ” යනුවෙන් ද යෙදේ. “උඤ්ඡපත්තාගතෙ රතා” පිඬුසිඟායෑමෙන් පමණි. පිඬුසිඟා පාත්රයට ලැබුණු බැවින් “පත්තාගත” නම් වූ පාත්රයට ලැබුණු දෙයින් තෘප්තිමත් වූ, සතුටු වූ, නිර්වාණාවබෝධයට පෙර දී සඟබත් ආදී අතිරේක ලාභ පිළිකෙව් කර, කෙණ්ඩා (පාවල) ශක්තියෙන් ඇවිද, භික්ෂාවේ හැසිර තබන ලද මිශ්ර වූ බතින්ම සතුටු වූ” යන අර්ථයයි.
“ආරද්ධ විරියා” උතුම් අර්ථය වූ අධිගමය වූ නිර්වාණාවබෝධයට මුලින්ම, පූර්වයේ සිට ම සන්සුන් වූ වීර්ය ඇති, “පහිතත්තා” බෑවුම් තැනිතලා කඳුහෙල් නොමැති හෙයින් කලින් කලට නිවණට සමවැදීම් වශයෙන් නිවණ කෙරෙහිම යෙදවූ සිත් ඇති, “නිච්චං දළ්හ පරක්කමා” වත් පිළිවෙත්හි දිට්ඨධම්මික සුඛ විහරණයෙන් මුලු කාලයම ලිහිල් නොවූ වීර්යයෙන්, පරාක්රමයෙන් ගත කරන. නිතර දැඩි වීර්ය ඇති, “රමන්ති ධම්මරතියා හිත්වාන ලොකියං රතිං” ලෝකයේ දැනගත්, ප්රකට වූ බැවින් ද ලෝකයට අයත් වූ බැවින් ද ලෞකික නම් වූ රූපාදී අරමුණුවල ඇලීම මාර්ග ප්රඥාවෙන් දුරුකර, ඉවත ලා ලෝකෝත්තර දහම්හි ඇලීමෙන් ද අග්රඵලය වූ නිර්වාණයෙහි ඇලීමෙන් ද සතුටු වේ. නිවණෙහි වෙසෙසින් ඇලෙමි.
කිම්බිල ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
නන්ද ස්ථවිරගාථා වර්ණනාව
“අයොනිසො මනසිකාරා” යනු ආයුෂ්මත් නන්ද තෙරුන්ගේ ගාථාවන් ය. එහි උපත කෙසේ ද? නන්ද තෙරණුවෝ පෙර පදුමුත්තර භාග්යවතුන්ගේ කාලයේ හංසවතී නුවර සිටුගෙයක ඉපිද වියපත්ව නිතර එම භාග්යවතුන් වහන්සේගෙන් ධර්මය අසති. දිනක් ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක් ඉන්ද්රියසංවර භික්ෂූන්ගෙන් අගතනතුරෙහි තබනු දුටු ඔහු, “මම ද එම තනතුර ලබමි” යි පතා භාග්යවතුන් වහන්සේට ද භික්ෂු මහා සංඝරත්නයට ද පූජා සත්කාර කරමින් මහදන් පැවැත්වීය. දන් දී “මම ද අනාගතයේ පහළවන ඔබ වැනි ම වූ ලොව්තුරු බුදුවරයන් වහන්සේ කෙනෙකු හමුවේ මෙබඳු වූ ශ්රාවකයෙක් වෙමි” යි ප්රාර්ථනා කොට, එතැන් පටන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා අවුත්, අත්ථදස්සි බුදුරදුන් ගේ කාලයේදී විනතා නම් නදියේ මහත් කැස්බෑවෙකුව උපන්නේය. දිනක් ශාස්තෲන් වහන්සේ එතෙරවනු කැමතිව ගං ඉවුරෙහි සිටිනු දුටු කැස්බෑවා උන්වහන්සේ එතෙර කරවනු කැමතිව බුදු පාමුල හොත්තේය. ඔහුගේ අදහස දුටු ශාස්තෲන් වහන්සේ කැස්බෑවාගේ පිටට නැගි සේක. දැඩි සේ සතුටට පත් කැස්බෑවා ඉතා වේගයෙන් දිය පහර සිඳගෙන වහාම උන්වහන්සේ එතෙර කරවීය. භාග්යවතුන් වහන්සේ ඔහුට පුණ්යානුමෝදනා කර, ලැබෙන සම්පත් වර්ණනා කර වැඩි සේක.
මේ උතුම් පින්කම් නිසා කාමසුගතීන්හිම සැරිසැරූ ඔහු, අපගේ බුදුරජාණන් වහන්සේ පහළවන සමයෙහි කපිලවස්තුවේ සුද්ධෝදන මහරජුගේ පුතු ව මහාප්රජාපතී ගෞතමියගේ කුසෙහි ඉපදුණි. ඔහුට නම් තබන දවසේ “සියලු නෑ සමූහයා සතුටු කරමින් නන්දනය කරමින් උපන් බැවින්” “නන්ද” යැයි නම් තැබූහ. නන්ද කුමරු වියටපත්වූ සමයේ දී ශාස්තෲන් වහන්සේ දම්සක් දෙසුම පවත්වා, ලෝකයාට සෙත සලසමින් කපිලවත්ථුවට වැඩම වූහ. නෑයන් එකතු වූ අවස්ථාවෙහි වූ මල් වැස්ස අර්ථෝත්පත්ති කරගෙන වෙස්සන්තර ජාතකය දේශනා කළ තථාගතයන් වහන්සේ දෙවැනි දින පිඬුපිණිස හැසිරෙමින් “උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්ය” ගාථාවෙන් පියාට දහම් දෙසා ඔහු සෝවාන් ඵලයෙහි පිහිට වූ සේක. රජ මැදුරට පිවිසි උන්වහන්සේ “ධම්මං චරෙ” යන ගාථාවෙන් දහම් දෙසා මහා ප්රජාපතී ගෝතමිය සෝවාන් ඵලයෙහිද සුදොවුන් රජ සකෘදාගාමි ඵලයෙහිද පිහිට වූහ. තෙවැනි දින නන්ද කුමරුගේ අභිෂේකය, ගෘහ ප්රවේශය, විවාහය යන මංගල්ය තුනක් යෙදී තිබෙන කල්හි පිඬු පිණිස වැඩම කළ බුදුපියාණන් වහන්සේ නන්ද කුමරුට පාත්රය දී “සුභ මංගල්යයක් වේවා!”යි වදාරා, ඔහුගේ අතින් පාත්රය නොගෙනම විහාරයට වැඩි සේක. නන්ද කුමරු ද පාත්රය රැගෙන විහාරයට ම පැමිණි පසු ඔහු නොකැමැත්තෙන් ම පැවිදි කරවූ සේක. එසේ පැවිදි වූ නන්ද හිමි පැවිද්ද පිළිබඳව කළකිරී සිටි බව දුටු තථාගතයන් වහන්සේ උපායකින් එය දුරු කළ සේක. සිහිනුවණින් විමසා බලා විදර්ශනාවෙහි සිත පිහිටුවා ගත් නන්ද හිමියෝ නොබෝ කලකින්ම රහත් වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.