තිස්ස ස්ථවිරගාථා වර්ණනාව
“බහු සපත්තෙ ලභතී” යනාදී ගාථා ආයුෂ්මත් තිස්ස තෙරණුවෝ වදාළහ. එම ගාථාවන්ගේ උපත කෙසේ ද? පෙර බුදුවරු හමුවෙහි කළ ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හිදී සසරින් මිදීම සඳහා පින් දහම් රැස්කර ගනිමින් පැමිණි උන්වහන්සේ පියදස්සී භාග්යවතුන් සමයේදී බමුණු කුලයක උපන්හ. වැඩිවිය පත් බමුණු කුමරු ශිල්ප ශාස්ත්රයන්හි පරතෙරට ගොස් කාමයේ ආදීනව දැක, ගිහිගෙයින් නික්ම තවුස් පැවිද්දෙන් පැවිදිව සල්වනයේ - අසපුවක් කරවාගෙන එහි වාසය කළේය. භාග්යවතුන් වහන්සේ එම තවුසාට අනුග්රහ පිණිස අසපුව නුදුරෙහි වූ සල් වනයේ නිරෝධ ඵල සමවතට සම වැදුනහ. අසපුවෙන් නික්ම ඵලවැල නෙලීමට ගිය තවුසා භාග්යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතැතිව දඬු සතරක් සිටුවා උන්වහන්සේ මත්තේ සුපිපි සල් අතුවලින් ශාඛා මණ්ඩපයක් සාදා සත් දිනක් වර්ණවත් සල් මලින් බුදුරදුන් පුදමින් බුද්ධාලම්භන ප්රීතියෙන්ම කල් ගත කළේය. සත්දින ඇවෑමෙන් නිරෝධ ඵල සමවතින් බුදුරජාණන් වහන්සේ නැගී සිට භික්ෂු සංඝයා පිළිබඳව සිහිපත් කළ සේක. එකෙණෙහිම ලක්ෂයක පමණ රහතන් වහන්සේලා ශාස්තෲන් වහන්සේ පිරිවරා ගත්හ. භාග්යවතුන් වහන්සේ තවුසාට ලැබෙන සම්පත් පිළිබඳ සඳහන් පුණ්යානුමෝදනාවක් පවත්වා භික්ෂු සංඝයා පිරිවරා වැඩිසේක. ඒ පින්කමේ විපාක ලෙස දෙව්ලොව උපන් තවුසොණෝ කාම සුගතීන්හිම සැරිසරා අවුත් මේ බුද්ධෝත්පාද කාලයේදී රජගහනුවර බමුණු පවුලක ඉපිද තිස්ස නමින් ප්රකට විය. වැඩිවියට පත්ව ත්රිවේධ පාරගත වූ තිස්ස බමුණා පන්සීයක් පමණ තරුණයන්ට වේදය උගන්වමින් කීර්ති, ප්රශංසා, ලාභාදියෙන් අග්රප්රාප්ත විය. රජගහ නුවරට වැඩම කළ මුල් දිනයේ උතුම් බුදුසිරි දුටු තිස්ස බමුණා ලැබූ ශ්රද්ධා ඇතිව සසුනේ පැවිදි විය. විදසුන් කමටහනෙහි සිත පිහිට වූ තිස්ස තෙරණුවෝ නොබෝ කලකින්ම රහත් වූහ. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ වදාළහ -
“සල්වනයට පිවිසි මා විසින් එහි මැනවින් අසපුවක් කරන ලදි. සල්මලින් ගැවසීගත් වනයේ වාසය කරන සමයෙහි සියලු දෙය තමන් වහන්සේ විසින්ම අවබෝධ කළා වූ භාග්යවත් පියදස්සී සම්බුදුරජාණෝ විවේක සැප කැමතිව සල්වනයට එළඹි සේක.
එකල්හි ම අසපුවෙන් නික්ම වනයට ගොස් එහි මුල් හා ඵල සොයමින් ඇවිද්දෙමි.
ඒ මහා වනයෙහි මනාව වැඩහුන්නා වූ සමාධියට සමවැදුණු බබළන මහත් යසස් ඇති පියදස්සී බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
මුදුනෙන් එකට බැඳ දඬු සතරක් තැබූ මම බුදුරදුන් මතුයෙහි සෙවන පිණිස මනා මඬුවක් සාදා එය සල්මලින් වැසූවෙමි.
සල් මල් සෙවිලි කළ එම මණ්ඩපය සත් දිනක් දරා සිටි මම එහි සිත පහදවා බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේට වැන්දෙමි.
පුරුෂෝත්තම වූ භාග්යවතුන් වහන්සේගේ සමාධියෙන් නැගිට වියදඬු පමණ දුර බලමින් වැඩ හුන්හ.
එකල්හි උන්වහන්සේගේ වරුණ නම් ශ්රාවකයාණෝ ලක්ෂයක් රහතුන් පිරිවරාගෙන බුදුරදුන් සමීපයට වැඩම කළහ.
පස්මරුන් දිනූ ලෝක ජ්යෙෂ්ඨ වූ නර ශ්රේෂ්ඨ වූ පියදස්සි භාග්යවත්හු භික්ෂු සංඝයා මැද හිඳ සිනා පහළ කලහ.
පියදස්සී බුදුරදුන්ගේ අනුරුද්ධ නම් උපස්ථායක තෙරණුවෝ සිවුර ඒකාංශ කොට බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසූහ.
“භාග්යවතුන් වහන්ස!, ශාස්තෲන් වහන්සේ සිනා පහළ කිරීමට හේතු කවරේද? ශාස්තෲන් වහන්සේලා කරුණක් ඇතිවීමට සිනා පහළ කරති.”
එවිට බුදුපියාණන් වහන්සේ “යම් මානවකයෙක් මා හට සතියක් පුරා මල් හෙවනක් දැරුවේ ද ඔහුගේ කුසල කර්මය දැක මම සිනා පහළ කළෙමි.
එම පින විපාක දේ නම් ඊට අවකාශ ඇති තැනක් මම නොදකිමි. දිව්ය මනුෂ්ය ලෝකයත් ඊට නොසෑහේ.
පිනින් පිරුණු දෙව්ලොව වසන ඔහුගේ සියලු පිරිස ද සල් සෙවනින් වැසුනාහු වෙති.
මේ පින් විපාක විඳින ඔහු දිව්යමය වූ නෘත්ය, ගීත, වාදිතාදියෙන් හැම කල්හි දෙව්ලොව සිත් අලවා වෙසේ.