මහාකාල ස්ථවිරගාථා වර්ණනාව
“කාලී ඉත්ථී” යනු ආයුෂ්මත් මහාකාල තෙරුන්ගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී පින් රැස් කරමින් අවුත් මෙයින් කල්ප අනූ එකකට පෙර, කුලගෙයක ඉපිද වියට පත් වූහ. කිසියම් කටයුත්තකට ආරණ්යයට ගිය ඒ ගහපතියා අරණෙහි එක් ගසක් මුල වූ අත්තක එල්ලෙන පාංශුකූල චීවරයක් දැක “අර්ය ධ්වජයක් ලබන ලදී”යි සතුටුව කිණිහිරි මලින් එම සිවුර පිදුවේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව්-මිනිස් දෙගතියේ සැරී සැරූ හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේදී සේතව්ය නුවර ගැල්වලින් බඩුගෙන ගොස් විකුණන කුලයක ඉපිද “මහා කාල” නමින් ප්රකට විය. වියපත්ව ගිහිගේ වසන මහාකාල පන්සීයක් ගැලින් බඩුගෙන ගොස් වෙළඳාම් කරමින් සැවැත් නුවරට පැමිණ, එහි එක් තැනෙක ගැල් බහා සිය පිරිස සමග දිගු ගමන් වෙහෙස නිවා ගනිමින් සිටියේය. සවස් වේලෙහි සුවඳ තෙල් මල් ගෙන ජේතවනාරාමයට යන උපාසකයන් දුටු මහාකාල ද ඔවුන් සමග විහාරයට ගියේය. ශාස්තෲන් වහන්සේගෙන් ධර්මය අසා ලැබූ ශ්රද්ධාවෙන් සසුනේ පැවිදි වූ මහාකාල තෙරණුවෝ සොසානිකාංගය සමාදන්ව සොහොනේ වාසය කළහ. එක් දිනක් කාළී නම් කුලියට මිනී දවන ස්ත්රියක් තෙරුන්ට කමටහන සඳහා අලුත රැගෙන ආ මළ සිරුරක අත් පා සිඳ හිස ද දී සැලියක් මෙන් සිඳ එම සියලු අංග ප්රත්යංග සම්බන්ධ කරමින් තෙරුන්ට බලා සිටීමට සුදුසු තැනක තැබුවාය. එසේ තැබූ ඇය එකත් පසෙක සිටියාය. මේ මළසිරුර දුටු තෙරණුවෝ තමාටම අවවාද කර ගනිමින් මේ ගාථා දෙක වදාළහ.
“කාලි ඉත්ථි බ්රහති ධද්ධකරූපා, සත්ථිඤ්ච භෙත්වා අපරං ච සත්ථිං,
බාහං ච භෙත්වා අපරං ච බාහුං, සීසඤ්ච භෙත්වා දධිථාලිකංවා,
එසා නිසින්නා අභිසන්දහිත්වා”
බාහං ච භෙත්වා අපරං ච බාහුං, සීසඤ්ච භෙත්වා දධිථාලිකංවා,
එසා නිසින්නා අභිසන්දහිත්වා”
“යො වෙ අවිද්වා උපධිං කරොතී, පුනප්පුනං දුක්ඛමුපෙති මන්දො,
තස්මාපජානං උපධිං න කයිරා, මාහං පුන භින්නසිරො සයිස්සන්ති”
තස්මාපජානං උපධිං න කයිරා, මාහං පුන භින්නසිරො සයිස්සන්ති”
එහි “කාලි” යනු ඇගේ නමයි. ඇගේ ශරීරය කළු බැවින් මේ නම යෙදුණි. “බ්රහතී” මහත් ශරීර ඇති, ආරෝහ පරිනාහ ඇති. “ධද්ධක රූපා” කළුපාට බැවින් කපුටකුට බඳු රුව ඇති “සත්ථිං ච භෙත්වා” මළ සිරුරේ කලවයක් දණ මඬලින් බිඳ. “අපරඤ්ච සත්ථිං” අනිත් කලවයත් බිඳ “බාහඤ්ච භෙත්වා” අත් බාහු ඇට ද උරහිසින්ම බිඳ “සීසඤ්ච භෙත්වා දධිථාලිකං වා” මළසිරුරේ හිස බිඳ, දී සැළිය බිඳි කල්හි වැගිරෙන්නාක් මෙන් දඬු මුගුරු ආදියෙන් ගැසීම නිසා වැගිරෙන මොළ කෑලි අති හිස” යන අර්ථයයි. “එසා නිසින්නා අභිසන්දහිත්වා” සිඳින බිඳින ලද ඒ මළ සිරුරේ ඒ ඒ අවයවයන් නියමිත තැනම තබමින් සංවිධානය කර, ගලපා මස් වෙළඳාමක් ඇරඹූ තැනැත්තියක මෙන් මෙහි සිටින්නීය.
“යො වෙ අවිද්ධා උපධිං කරොති” යමෙක් මෙසේ ඔසවා තබන ලද කමටහන දැක දැකත් අඥාන අදක්ෂයෙකු බැවින් එම කමටහන අත්හැර අයෝනිසෝ මනසිකාරයෙන් (නුවණින් මෙනෙහි කරමින්) කෙලේස උපධීන් උපදවයිද ඔහු මෝඩයෙකි. මද නුවණ ඇත්තෙකි. සසර ගමන නොනැවැත්වීම නිසා නැවත නැවත නිරයාදී දුක්ඛයන්ට පැමිණේ! “තස්මා පජානං උපධිං නකයිරා” එනිසා නුවණැති පුද්ගලයා මේ සිරුර පිළිබඳව හටගන්නා දුක් යෝනිසෝ මනසිකාරයෙන් සිහිකර බලා කෙලෙස් උපධීන් ඇතිකර නොගත්තේය. කෙලෙස් නූපදවන්නේය. කුමක් නිසාද? “මාහං පුන භින්නසිරො සයිස්සං” යනු යම් සේ මළසිරුර සිඳී බිඳී මෙහි ශයනය කරන්නේ ද එලෙසින්ම කෙලෙස් උපධීන් නිසා සසර නැවත නැවත උපදිමින් ශරීරය වඩන්නෙකු වී සිඳුනු බිඳුනු ශරීර ඇති බවට පත්ව මම සයනය නොකරම්වා. මෙසේ පවසමින් ම විදසුනෙහි සිත පිහිට වූ තෙරුන් වහන්සේ රහත් වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ පැවසූහ.
“හිමවතට නුදුරින් ‘උරුගණ’ නම් පර්වතයක් විය. එහි ගස් මුදුනක එල්ලූ පාංශුකූල සිවුරක් දුටුවෙමි.
කිංකිණි මල් තුනක් නෙලා ගත් මම සතුටු සිතින් යුතුව ඒ උතුම් සිරුරට පූජා කළෙමි.
මැනවින් කරන ලද එම කුසල කර්මය හා චිත්ත ප්රණිධිය නිසා මිනිස් කය හැර දමා දෙව්ලොව උපන්නෙමි.
මෙයින් කල්ප අනූඑකකට පෙර යම් කුසල කර්මයක් කළෙම් ද එහි විපාක වහයෙන් දුගතියක නූපන්නෙමි. අර්හත් ධ්වජය පිදීමේ පින මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
මහාකාල ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
තිස්ස ස්ථවිරගාථා වර්ණනාව
“බහු සපත්තෙ ලභතී” යනාදී ගාථා ආයුෂ්මත් තිස්ස තෙරණුවෝ වදාළහ. එම ගාථාවන්ගේ උපත කෙසේ ද? පෙර බුදුවරු හමුවෙහි කළ ප්රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හිදී සසරින් මිදීම සඳහා පින් දහම් රැස්කර ගනිමින් පැමිණි උන්වහන්සේ පියදස්සී භාග්යවතුන් සමයේදී බමුණු කුලයක උපන්හ. වැඩිවිය පත් බමුණු කුමරු ශිල්ප ශාස්ත්රයන්හි පරතෙරට ගොස් කාමයේ ආදීනව දැක, ගිහිගෙයින් නික්ම තවුස් පැවිද්දෙන් පැවිදිව සල්වනයේ - අසපුවක් කරවාගෙන එහි වාසය කළේය. භාග්යවතුන් වහන්සේ එම තවුසාට අනුග්රහ පිණිස අසපුව නුදුරෙහි වූ සල් වනයේ නිරෝධ ඵල සමවතට සම වැදුනහ. අසපුවෙන් නික්ම ඵලවැල නෙලීමට ගිය තවුසා භාග්යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතැතිව දඬු සතරක් සිටුවා උන්වහන්සේ මත්තේ සුපිපි සල් අතුවලින් ශාඛා මණ්ඩපයක් සාදා සත් දිනක් වර්ණවත් සල් මලින් බුදුරදුන් පුදමින් බුද්ධාලම්භන ප්රීතියෙන්ම කල් ගත කළේය. සත්දින ඇවෑමෙන් නිරෝධ ඵල සමවතින් බුදුරජාණන් වහන්සේ නැගී සිට භික්ෂු සංඝයා පිළිබඳව සිහිපත් කළ සේක. එකෙණෙහිම ලක්ෂයක පමණ රහතන් වහන්සේලා ශාස්තෲන් වහන්සේ පිරිවරා ගත්හ. භාග්යවතුන් වහන්සේ තවුසාට ලැබෙන සම්පත් පිළිබඳ සඳහන් පුණ්යානුමෝදනාවක් පවත්වා භික්ෂු සංඝයා පිරිවරා වැඩිසේක. ඒ පින්කමේ විපාක ලෙස දෙව්ලොව උපන් තවුසොණෝ කාම සුගතීන්හිම සැරිසරා අවුත් මේ බුද්ධෝත්පාද කාලයේදී රජගහනුවර බමුණු පවුලක ඉපිද තිස්ස නමින් ප්රකට විය. වැඩිවියට පත්ව ත්රිවේධ පාරගත වූ තිස්ස බමුණා පන්සීයක් පමණ තරුණයන්ට වේදය උගන්වමින් කීර්ති, ප්රශංසා, ලාභාදියෙන් අග්රප්රාප්ත විය. රජගහ නුවරට වැඩම කළ මුල් දිනයේ උතුම් බුදුසිරි දුටු තිස්ස බමුණා ලැබූ ශ්රද්ධා ඇතිව සසුනේ පැවිදි විය. විදසුන් කමටහනෙහි සිත පිහිට වූ තිස්ස තෙරණුවෝ නොබෝ කලකින්ම රහත් වූහ. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ වදාළහ -