සබ්බමිත්ත ස්ථවිරගාථා වර්ණනාව
“ජනො ජනම්හි සම්බද්ධො” යනු ආයුෂ්මත් සබ්බමිත්ත තෙරුන් වහන්සේ වදාළ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන්හිදී පින්දහම් රැස් කරමින් අවුත්, මෙයින් කල්ප අනූ දෙකකට පෙර තිස්ස භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි වැදි කුලයේ උපන්හ. වනයේ හැසිරෙන වැද්දෙකු වූ ඔහු වනයේ මුවන් මරා මස් කමින් ජීවත් විය. පසුව භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුග්‍රහ පිණිස වසන තැනට නුදුරෙන් පා සලකුණු තුනක් දක්වා වැඩි සේක. පෙර සිටම සම්මා සම්බුදුවරුන් කෙරෙහි කරන ලද පුහුණුවීම් ඇති ඒ වැදිතෙම, පා සලකුණේ සක් ලකුණු දැක පැහැදුණු සිතැත්තේ කරඬු මලින් පූජා කළේය. ඒ පින්කම හේතුවෙන් තව්තිසා භවනයෙහි ඉපිද සැප විඳි ඔහු ඒ ඒ කාම සුගතීන්හිම උපදිමින් සසර සැරිසරා අවුත් මේ බුද්ධෝත්පාද කාලයේදී සැවැත්නුවර බමුණු කුලයක උපන්නේය. “සබ්බමිත්ත” නමින් ප්‍රකට වූ ඔහු වියට පැමිණ ජේතවනාරාමය පිළිගන්නා උත්සවයේදී පැවති බුද්ධානුභාවය දැක ලබන ලද ශ්‍රද්ධාවෙන් පැවිදි විය. ශ්‍රද්ධාවෙන් පැවිදි වී කමටහන් ගෙන ආරණ්‍යයට වැඩම කළ සබ්බමිත්ත තෙරණුවෝ වස් නිමවා භාග්‍යවතුන් වහන්සේට වැඳීම සඳහා සැවැත් නුවර බලා පිටත් වූහ. අතරමග මුව වැද්දෙකු ඇටවූ උගුලකට හසු වූ මුව පොවුවකු දුටු උන්වහන්සේ එහි මඳක් නතර වූහ. උගුලට හසු නොවුණත් දරු සෙනෙහස නිසා මව වූ මුවැත්තිය ඉතා දුර නොගොස්, මරණ භය නිසා උගුල සමීපයට ද නොගොස් පෙනෙන තෙක් මානයේ සිටියාය. මුව පැටියා ද බියවී එහෙ මෙහෙ පෙරලෙන්නේ බැගෑපත් හඬින් හඬයි. මෙය දුටු තෙරණුවෝ “අනේ සත්ත්වයින්ගේ සෙනෙහසින් බැඳීම නිසා ඇතිවූ දුකක තරම”යි පවසා ඉදිරියට වැඩම කළහ. තවත් තැනකදී බොහෝ සොරු එක්ව එක් පුරුෂයෙකු ජීවග්රහයෙන් අල්ලාගෙන ඔහුගේ මුළු සිරුරම පිදුරුවලින් වසා දවනු දුටුවේය. ඒ මිනිසා ද මහ හඬින් කෑගැසීය. මේ සිදුවීම් දෙකම දැකීමෙන් හටගත් සංවේග ඇති සබ්බමිත්ත තෙරණුවෝ සොරුන්ට ඇසෙන සේ මේ ගාථා දෙක වදාළහ.
“ජනො ජනම්හි සම්බද්ධො ජන මෙවස්සිතො ජනො,
ජනො ජනෙන හෙඨීයති හෙඨෙති ච ජනො ජනං”
ජනො ජනෙන හෙඨීයති හෙඨෙති ච ජනො ජනං”
“කොහි තස්ස ජනෙනත්ථො ජනෙන ජනිතෙන වා,
ජනං ඔහාය ගච්ඡන්තං හෙඨයිත්වා බහුං ජනං”
ජනං ඔහාය ගච්ඡන්තං හෙඨයිත්වා බහුං ජනං”
එහි “ජනො” යනු අඳබාල ජනයායි. “ජනම්හි” අන්‍ය ජනයා විසින් “සම්බද්ධො” තණ්හා බැඳීමෙන් බඳින ලදි. “මේ මගේ දරුවා” යැයි මාපියවරු දරුවාට බැඳී සිටිති. “මොවුහු මා පෝෂණය කරන්නේ ය. මම ජීවත්වන්නේ මොවුන් නිසාය” යනුවෙන් දරුවා ද මාපියාදීන්ට බැඳී සිටියි. “ජනමෙවස්සීතො ජනො” - මේ මගේ පුතාය, දුවය ආදී වශයෙන් අන්‍ය ජනයා අන්‍යවූම ජනයා සමග තණ්හාවෙන් ඇලී - බැඳී සිටිති. “ජනො ජනෙන හෙඨීයති හෙඨෙති ච ජනො ජනං” කර්ම කළ බැවින් ද තත් වූ පරිදි සත්‍ය වශයෙන් අවබෝධ නොකළ බැවින් ද මධ්‍යස්ථ නොවී ලෝභයෙන් ඇලීමෙන් ජනයා අන්‍ය ජනයාට ඇලී සිටිති. “මෙහි ඵල විපාක මතු මත්තෙහි මා වෙත පැමිණේයැ”යි නොදන්නා බැවින් ද්වේෂයෙන් ජනයා අන්‍ය ජනයා පෙළති. අන්‍යයන්ට පීඩා කරති.
“කොහි තස්ස ජනෙනත්ථො” එසේ ජනයා අන්‍යජනයා විසින් තණ්හාවෙන් ඇලී සිටීමෙනුත් ද්වේෂයෙන් පීඩාවට පත් කිරීමෙනුත් කවර ප්‍රයෝජනයක් ද? “ජනෙන ජනිතෙන වා” මවුපියවරු වී ඒ අන්‍යජනයා ඉපදවීමෙන් කවර ප්‍රයෝජනයක් ද? “ජනං ඔහාය ගච්ඡන්තං හෙඨයිත්වා බහුං ජනං” සසර සැරිසරන සත්ත්වයාට මෙම පිළිවෙත් දෙකම ඇති බැවින් ඒ ජනයා තුළ තණ්හාව ද ද්වේෂය ද වැඩිවීමෙන් ඔවුන්ම පෙළෙමින් සිටිති. එනිසා එම ලෝභ-දෝස දෙක මුළුමනින්ම සිඳ දමා, අත්හැර යා යුතුයි. එසේ යන්නෝ උපද්‍රව රහිත වූ ක්ෂේම භූමියට යන්නෝය. පැමිණෙන්නෝය. මෙසේ ගාථා දේශනාව පැවැත්වූ තෙරණුවෝ එකෙණෙහිම විදසුන් වඩා රහත් බවට පත්වූහ. අපදාන පාළියේ උන්වහන්සේ මෙසේ පැවසූහ.
“පෙර මම පිය මුතු පරපුරින් වනයේ දඩයම කරනුයේ සිවුපාවුන් මැරීමෙන් ජීවත්වූයෙමි. මට කුසලයක් රැස් නොවිණි.
තිස්ස නම් බුදුරජාණන් වහන්සේ මගේ අසපුව අබියසට වැඩ පසැස් ඇති ලෝකනායකයාණන් වහන්සේගේ පියවර තුනක් දැක්වූ සේක.
එම පා සටහන් දැක හඳුනාගත් මම සතුටුව සතුටු සිතින් පා සටහනෙහි සිත පැහැදවූයෙමි.
පිපී ගිය කරඬු ගසක් දුටු මම ඉන් කොපු සහිත මල් ගෙන ඒ ශ්‍රේෂ්ඨ ශ්‍රී පාද ලාංඡනය පිදුවෙමි.
මැනවින් කරන ලද එම කුසල කර්මය නිසාත් චිත්ත ප්‍රණිධිය නිසාත් මිනිස් සිරුර හැර දැමූ මම තව්තිසා දෙව්ලොව උපන්නෙමි.
දිව්‍ය-මනුෂ්‍යාදී යම් අත්බවෙක උපනෙම් ද එකල මාගේ ශරීරය කෝරණ්ඩ පුෂ්ප වර්ණයෙන් බබළන්නේය. කරඬු මල් පාට සමක් මට ලැබෙන්නේය.