සෝමමිත්ත ස්ථවිරගාථා වර්ණනාව
“පරිත්ත දාරුං” යනාදී ගාථා ආයුෂ්මත් සෝමමිත්ත තෙරණුවෝ වදාළහ. එම ගාථාවල උපත කෙසේ සිදුවීද? උන්වහන්සේ පූර්ව බුදුරජාණන් වහන්සේලා ඉදිරියෙහි දී ඒ ඒ භවයන්හි ඉපිද පින් රැස් කරමින් අවුත් “සිඛි” නම් බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක උපන්හ. වියපත් සිටුකුමරු බුදුගුණ අසා පැහැදුණු සිතින් දිනක් පිපුණු එරබදු ගසක් දැක, ඉන් මල් නෙලාගෙන ශාස්තෲන් වහන්සේ උදෙසා අහසට දමා පූජා කළේය. ඒ පින්කම නිසා දෙව් මිනිස් දෙගතියෙහි සැප විඳි ඔහු, මේ බුද්ධෝත්පාද කාලයේ දී බරණැස් නුවර බමුණු පවුලක “සෝම මිත්ත” යන නමින් උපන්නේ ය. ත්‍රිවේද පාරගත වූ ඔහු විමල නම් තෙරුන් වහන්සේ ඇසුරු කරමින් නිතර උන්වහන්සේගේ ධර්‍මය අසයි. ධර්ම ශ්‍රවණයෙන් උපදවාගත් ශ්‍රද්ධා ඇති සෝමමිත්ත බමුණා බුදුසසුනේ පැවිදි උපසම්පදා බව ලබා වත් පිළිවෙත් සපුරමින් වාසය කළේය. විමල තෙරණුවෝ කුසීතව, කම්මැලිව නිදිමත බහුල වූයේ දිවා රෑ නිදාගනිමින් කල් ගෙවූහ. සෝමමිත්ත හිමියෝ “කුසීතයා සමග විසීමෙන් කවර ගුණයක් උපදී ද?” යි විමල තෙරුන් අත්හැර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වෙත පැමිණ, උන්වහන්සේගේ අවවාදයන්හි පිහිටා විදසුන් වඩා නොබෝ දිනකින්ම රහත් ඵලයෙහි පිහිටියහ. අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ පැවසූහ.
“පිපීගිය කෑලගසක් දැක ඇඳිලි බැඳගෙන බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කොට අහසෙහි එම මල් තිබියදීම පූජා කළෙමි.
මැනවින් කරන ලද එම කර්මය නිමිති කරගෙන හා චිත්ත ප්‍රණිධිය නිසා මිනිස් කය අත්හළ මම දෙව්ලොව උපන්නෙමි.
මීට කල්ප තිස් එකකට පෙර කරන ලද පින්කම හේතුවෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. බුද්ධ පූජාවේ විපාක මෙබඳුය.
“මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත් සෝමමිත්ත තෙරණුවෝ, විමල තෙරුන්ට අවවාද දෙමින් තර්ජනය කරන සේක් මේ ගාථා දෙක වදාළහ.
“පරිත්තං දාරුමාරුය්හ යථාසීදෙ මහණ්ණවෙ,
එවං කුසීතමාගම්ම සාධුජීවී විසීදති,
තස්මා තං පරිවජ්ජෙය්‍ය කුසීතං හීනවීරියං”
“පවිවිත්තෙහි අරියෙහි පහිතත්තෙහි ඣායිහී,
නිච්චං ආරද්ධවිරියෙහි පණ්ඩිතෙහි සහාවසෙ”
එහි “පරිත්තං දාරුමාරුය්හ යථා සීදෙ මහණ්ණවෙ” සුපේශල ශික්‍ෂාකාමී කුලපුත්‍රයා ද කුසීත අලස පුද්ගලයෙකු ඇසුරු කිරීමෙන් සසරෙහි ගිලේ (වැටේ) නිවණ නම් වූ පරතෙරට පැමිණීමට නොහැකි වේ. මෙලෙසින් ඒ අකුසල් දහම් වශයෙන් හිස නොඔසවාම කුසෙහි ගිලා බසී. කුසීත වූ වීර්යාරම්භ කිරීමෙන් දුරු වූ හීන වීර්ය ඇති පුද්ගලයා සියලුම ආකාරයෙන් වර්ජනය කරන්නේ ය. එබඳු පුද්ගලයා දිට්ඨානුගතියට (අනකරණයට) සුදුසු බවට පත් නො වන්නේය” යන අර්ථයයි.
මෙසේ පුද්ගල අධිෂ්ඨාන වශයෙන් කුසීත බවෙහි ආදීනව මුල් ගාථාවෙන් දක්වා, දැන් වීර්යාරම්භයෙහි ආනිසංස දැක්වීමට “පවිවිත්තෙහි” යනාදී ගාථාව වදාළහ. එහි අර්ථ - යමෙක් කාය විවේකයෙන් හටගත් අතිශය වූ විවේකයෙන් ම කෙලෙසුන් දුරු කිරීමෙන් ආර්ය වූ නිර්වාණයට යැවූ සිත් ඇති බැවින් ආරම්මණ හා ලක්‍ෂණයන්ගේ මෙනෙහි කිරීම් වශයෙන් ධ්‍යාන වඩන්නා වූ, සියලු කාලයම එසවූ වීර්ය ඇති බැවින් අරඹන ලද වීර්ය ඇති, ලෞකික ලෝකෝත්තර භේද ඇති ප්‍රඥාවෙන් යුක්ත වූ බැවින් හෙතෙම පණ්ඩිතයෙකි. එබඳු වූ පණ්ඩිතයන් සමග වසන්නේ ය. ස්වාර්ථය ඉටුකරගනු කැමති පුද්ගලයෝ එබඳු උතුමන් හා එක්ව වසන්නේය. මෙය ඇසූ විමල තෙරණුවෝ සංවේගයට පත් සිතැත්තේ විදසුන් වඩා ස්වාර්ථ සාධනය කරගත්හ. ස්වාර්ථය වූ නිර්වාණාවබෝධයට පැමිණියහ.
සෝමමිත්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
සබ්බමිත්ත ස්ථවිරගාථා වර්ණනාව
“ජනො ජනම්හි සම්බද්ධො” යනු ආයුෂ්මත් සබ්බමිත්ත තෙරුන් වහන්සේ වදාළ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන්හිදී පින්දහම් රැස් කරමින් අවුත්, මෙයින් කල්ප අනූ දෙකකට පෙර තිස්ස භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි වැදි කුලයේ උපන්හ. වනයේ හැසිරෙන වැද්දෙකු වූ ඔහු වනයේ මුවන් මරා මස් කමින් ජීවත් විය. පසුව භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුග්‍රහ පිණිස වසන තැනට නුදුරෙන් පා සලකුණු තුනක් දක්වා වැඩි සේක. පෙර සිටම සම්මා සම්බුදුවරුන් කෙරෙහි කරන ලද පුහුණුවීම් ඇති ඒ වැදිතෙම, පා සලකුණේ සක් ලකුණු දැක පැහැදුණු සිතැත්තේ කරඬු මලින් පූජා කළේය. ඒ පින්කම හේතුවෙන් තව්තිසා භවනයෙහි ඉපිද සැප විඳි ඔහු ඒ ඒ කාම සුගතීන්හිම උපදිමින් සසර සැරිසරා අවුත් මේ බුද්ධෝත්පාද කාලයේදී සැවැත්නුවර බමුණු කුලයක උපන්නේය. “සබ්බමිත්ත” නමින් ප්‍රකට වූ ඔහු වියට පැමිණ ජේතවනාරාමය පිළිගන්නා උත්සවයේදී පැවති බුද්ධානුභාවය දැක ලබන ලද ශ්‍රද්ධාවෙන් පැවිදි විය. ශ්‍රද්ධාවෙන් පැවිදි වී කමටහන් ගෙන ආරණ්‍යයට වැඩම කළ සබ්බමිත්ත තෙරණුවෝ වස් නිමවා භාග්‍යවතුන් වහන්සේට වැඳීම සඳහා සැවැත් නුවර බලා පිටත් වූහ. අතරමග මුව වැද්දෙකු ඇටවූ උගුලකට හසු වූ මුව පොවුවකු දුටු උන්වහන්සේ එහි මඳක් නතර වූහ. උගුලට හසු නොවුණත් දරු සෙනෙහස නිසා මව වූ මුවැත්තිය ඉතා දුර නොගොස්, මරණ භය නිසා උගුල සමීපයට ද නොගොස් පෙනෙන තෙක් මානයේ සිටියාය. මුව පැටියා ද බියවී එහෙ මෙහෙ පෙරලෙන්නේ බැගෑපත් හඬින් හඬයි. මෙය දුටු තෙරණුවෝ “අනේ සත්ත්වයින්ගේ සෙනෙහසින් බැඳීම නිසා ඇතිවූ දුකක තරම”යි පවසා ඉදිරියට වැඩම කළහ. තවත් තැනකදී බොහෝ සොරු එක්ව එක් පුරුෂයෙකු ජීවග්‍රහයෙන් අල්ලාගෙන ඔහුගේ මුළු සිරුරම පිදුරුවලින් වසා දවනු දුටුවේය. ඒ මිනිසා ද මහ හඬින් කෑගැසීය. මේ සිදුවීම් දෙකම දැකීමෙන් හටගත් සංවේග ඇති සබ්බමිත්ත තෙරණුවෝ සොරුන්ට ඇසෙන සේ මේ ගාථා දෙක වදාළහ.