හෙරඤ්ඤකානි ස්ථවිරගාථා වර්ණනාව
“අච්චයන්ති අහොරත්තා” යනු ආයුෂ්මත් හේරඤ්ඤකානි තෙරුන්ගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ සිදුවීද? උන්වහන්සේ පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි දී හංසවතී නුවර කුලගෙයක උපන්හ. වියටපත් හෙතෙම අනුන්ගේ මෙහෙකරුවෙක්ව නුවර හැසිරෙනුයේ, දිනක් සුජාත නම් බුද්ධශ්‍රාවකයන් වහන්සේ පාංශුකූලයක් සොයමින් වඩිනු දැක, උන්වහන්සේට රෙදි කැබැල්ලක් පූජා කළේය. ඒ පින්කම හේතුවෙන් තව්තිසාවෙහි උපන් ඔහු අනතුරුව ඒ ඒ දිව්‍ය-මනුෂ්‍ය භවයන්හි හැසිර මේ බුද්ධෝත්පාද කාලයේ දී කොසොල් රජුගේ ග්‍රාම භෝජක වූ චෝරඝාතකයාගේ පුතුව උපන්නේ ය. හේරඤ්ඤික නමින් ප්‍රකට වූ හෙතෙම තම පියා කළුරිය කළ පසුව රජු විසින් එම තනතුරෙහිම හෙවත් ගම්පති තනතුරෙහිම තබන ලදි. ජේතවනාරාමය පිළිගන්නා දින උතුම් බුදු සිරිය දුටු හෙතෙම ලැබූ ශ්‍රද්ධා ඇතිව තම බාල සෝයුරාට ග්‍රාමභෝජක තනතුර දී, රජුට ද දන්වා පැවිදි විය. පැවිදි කිස මැනවින් සැපිරූ හේරඤ්ඤික හිමියෝ නොබෝ කලකින්ම රහත් වූහ. අපදානපාළියේ දී උන්වහන්සේ මෙසේ පැවසූහ.
එකල පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකු වූ සුජාත තෙරුන් වහන්සේ සිවුරු පිණිස පාංශුකූල රෙදිකඩක් සොයමින් කසල ඇතිතැන්හි හැසිරුණහ.
මම හංසවතී නුවර අනුන්ගේ මෙහෙකරු වූයෙමි. උන්වහන්සේට රෙදි කඩක් පිදූ මම හිස නමා වැන්දෙමි.
මැනවින් කළ ඒ කර්මය නිසාත්, චිත්තප්‍රණිධිය නිසාත් මිනිස් සිරුර හැර දැමූ මම තව්තිසා දෙව්ලොව උපන්නෙමි.
තිස් තුන්වරක් දෙව්රජව උපන් මම සැත්තෑ සත් වරක් සක්විති සම්පත් වින්දෙමි.
මා ලැබූ ප්‍රදේශ රාජ්‍ය සම්පත් ගිණිය නොහැක. අඩ වස්ත්‍රයක් පිදුවෙම් භය විරහිතව සතුටු වෙමි.
අද මම කැමති නම් පර්වත සහිත වූ මේ මුළු පෙදෙසම කොටු පිළියෙන් වැසීමේ හැකියාවෙන් යුක්ත වෙමි. අඩ වතක් පිදීමේ විපාක එබඳුය.
මෙයින් කල්ප ලක්ෂයකට පෙර දුන් දානයේ විපාක වශයෙන් දුගතියක නූපන්නෙමි.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
රහත්බවට පත් වූ උන්වහන්සේ තම බාල සෝයුරා ඒ ගිහි කටයුතුවලින් වළක්වාගනු කැමතිව, ගිහි කටයුතුවලම තදින් ඇලුණු ඔහුට චෝදනා කරමින් මේ ගාථා දෙක වදාළහ.
“අච්චයන්ති අහොරත්තා ජීවිතං උපරුජ්ඣති,
ආයු ඛීයති මච්චානං කුන්නදීනං ව ඔදකං”
ආයු ඛීයති මච්චානං කුන්නදීනං ව ඔදකං”
“අථ පාපානි කම්මානි කරං බාලොන බුජ්ඣති,
පච්ඡාස්ස කටුකං හොති, විපාකො හිස්ස පාපකො”
පච්ඡාස්ස කටුකං හොති, විපාකො හිස්ස පාපකො”
එහි “අච්චයන්ති” ඉක්මවා යති, “වහ වහා ඉවත්වයති” යන අර්ථයයි. “අහොරත්තා” රූ දාවල් දෙක “ජීවිතං උපරුජ්ඣතී” ජීවිතින්ද්රිය ද ක්ෂණිකව නිරුද්ධවීම් වශයෙන් නිරුද්ධ වේ. මෙසේ පවසන ලදි. “මහණ! නුඹ ක්ෂණයක් ක්ෂණයක් පාසා උපදින්නෙහිය, දිරායන්නෙහිය, චුතවන්නෙහිය, උපදින්නෙහිය. “ආයු ඛීයති මච්චානං” මැරෙන ස්වභාවයෙන් යුතු බැවින් “මච්ච” (සත්ත්ව) නම් වූ මේ සත්වයන්ගේ ආයුෂ - “යමෙක් වර්ෂ සීයක් හෝ ඊට මදක් අඩු හෝ වැඩිව චිරාත් කාලයක් ජීවත් වේ” යනුවෙන් පිරිසිඳ දක්වන ලද පරමායුෂ ක්ෂය වේ. ගෙවීමට බිඳීයාමට පත් වේ. කුමක් මෙන්ද යත් - කුඩා නදීන්හි දිය මෙනි. යම් සේ පර්වතයේ සිට ගලා බසින කුඩා දිය පහරවල ජලය බොහෝ කාලයක් නොසිටින්නේ ද, වහාම ක්ෂය වේද, ගලාගෙන පැමිණි මොහොතෙහි ඉවත්වේ ද සත්වයන්ගේ ආයුෂ ද එසේම වහා ගෙවී යයි. වහා ක්ෂය වේ. මෙහි ද ජලය ම “ඔදකං” යනුවෙන් අදහස් කෙරුණි. “මන” නම් සිත ම “මානස” වන්නාක් මෙනි. “උදක” නම් ජලය “ඔදක” වේ.
“අථ පාපානි කම්මානි කරං බාලො න බුජ්ඣතී” මෙසේ සංසාරය, ජීවිතය අනිත්‍ය වුවත් මෝඩයා, අනුවණයා, ලෝභයෙන් හෝ ක්‍රෝධයෙන් පව් කම් කරයි. පව් කම් කරමින් මේ පිළිබඳව අවබෝධ කර නොගනියි. පව්කම් කරන්නා තමා කරන්නේ පාපී වූ කටයුතු බව නොදන්නේ නොවේ. ඔහු එය දනියි. නමුත් මේ කර්මයට, මේ පාප ක්‍රියාවන්ට මේ මේ ප්‍රතිවිපාක දුක් පීඩා ලැබේය යන කරුණ ඔහු නොදනියි. අවබෝධ කර නො ගනියි. “පච්ඡාස්ස කටුකං හොතී” ඉදින් පාප කර්ම රැස්කරන මොහොතෙහි මේ ක්‍රියාවට මෙබඳු විපාක ලැබේ යැයි නොසිතයි. ඉන් පසුව නිරයාදියෙහි ඉපිදුණු එම පව් කම් කළ මෝඩයාට කටුක, අකමැති දුක්ම පිදීමට සිදු වේ. ඒ පාපියාට හිමි විපාක ලැබේ. මේ පාපකර්මවල විපාක නම් පාපීය, නිහීනය, අකමැති වූ දුක්දෙන්නාහුම වෙති. මෙම අවවාදය ඇසූ හේරඤ්ඤකානි තෙරණුවන්ගේ බාල සොහොයුරා රජුට දන්වා පැවිදි ව, නොබෝ කලකින්ම ස්ව අර්ථ සිද්ධිය ඉටුකර ගත්තේය. (රහත් වූයේය)