ජෝතිදාස ස්ථවිරගාථා වර්ණනාව
“යෙ ඛො තෙ” යනු ආයුෂ්මත් ජෝතිදාස තෙරුන්ගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හිදී පින් රැස් කරමින් අවුත්, සිඛිනම් භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී සිටුගෙයක උපන්හ. වියටපත් මේ සිටුකුමරු දිනක් ශාස්තෲන් වහන්සේ පිඬු පිණිස වැඩම කරනු දැක, පැහැදුණු සිතින් කටු එරමිණිය ගෙඩියක් උන්වහන්සේට පිදුවේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් - මිනිස් දෙගතියේ සැරිසැරූ හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේ දී පානීයත්‍ථ ජනපදයේ මහත් සම්පත් ඇති බමුණකුගේ පුතුව ඉපිද “ජෝතිදාස” නමින් ප්‍රකට විය. වියටපත් ජෝතිදාස ගිහිගේ වසමින් සිටින කල්හි දිනක් මහා කාශ්‍යප තෙරුන් වහන්සේ තම ගමෙහි පිඬු පිණිස හැසිරෙනු දුටුවේය. පැහැදුණු සිතින් උන්වහන්සේ වළඳවා, සමීපයේ හිඳ ධර්‍ම ශ්‍රවණය කළ ජෝතිදාස, තම ගම සමීපයේ වූ පර්වතයක මහත් වූ විහාරයක් සාදවා, තෙරුන් වහන්සේ එහි වාසය කරවාගෙන සිවු පසයෙන් ඇප උපස්ථාන කරමින් නිතර බණ ඇසුවේය. තෙරුන්ගේ ධර්‍මය ශ්‍රවණය කිරීමෙන් ලැබූ ශ්‍රද්ධාව හා ගිහිගේ පිළිබඳ සංවේග ඇති ජෝතිදාස, විදසුන් භාවනාව වඩමින් නොබෝ දිනකින්ම ෂඩ් අභිඥා උපදවා ගත්තේය. ජෝතිදාස තෙරණුවෝ අපදාන පාළියේදී මෙසේ පැවසූහ.
“කඳු අතරෙහි වැඩ හුන්නා වූ සුපිපි කිණිහිරි රුකක් වැනි වූ රජස් විරහිත ලෝක ජ්‍යෙෂ්ඨ වූ, නරශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
පහන් සිත් ඇති මම සතුටු සිතින් හිසෙහි ඇඳිලි බැඳගෙන ඒ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට කටු එරමිණිය ගෙඩියක් පිදුවෙමි.
මෙයින් තිස් එක් කල්පයකට පෙර යම් ඵල පූජාවක් කෙළෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. ඵල දානයේ විපාක මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
ෂඩ් අභිඥාලාභී වූ ජෝතිදාස තෙරණුවෝ ත්‍රිපිටකය උගෙන විශේෂයෙන් විනය පිටකයෙහි ඉතා දක්ෂ බවට පත්ව, දස වසරක් සිවු පිරිසට උපස්ථාන කළහ. අනතුරුව බොහෝ භික්‍ෂූන් පිරිවරා භාග්‍යවතුන් වහන්සේට වැඳීම සඳහා සැවැත් නුවර බලා වැඩම කරන අතරමගදී, ගමන් වෙහෙස නිවා ගැනීමට එක් අන්‍ය තීර්ථකාරාමයකට පිවිසි උන්වහන්සේ, එහි එක් පසෙක හුන්නා වූ පංචතාපනයෙන් තමන් තවන්නා වූ බමුණෙකු දැක මෙසේ වදාළහ. “බමුණ! කිම තමා තවනුයේ යැයි අනිකක් තවනුයේ ද?” එය අසා කිපුණු එම බමුණා “එම්බා මුඩු තැනැත්ත!, අනික් තැවිය යුතු දේ කවරේ ද?” යි විචාළේය. ඊට පිළිතුරු දෙන තෙරණුවෝ
“කොධොච ඉස්සාච පරමොදනා ච, මානො ච සාරම්භමදො පමාදො,
තණ්හා අවිජ්ජා භවසංගතී ච, තෙ තපනීයා හි රූපක්ඛන්‍ධො”
“ක්‍රෝධය ද ඊර්ෂ්‍යාව ද මානය ද එකටෙක කියා ගැනීම ද මදය ද ප්‍රමාදය ද තණ්හාව ද අවිද්‍යාව ද භව පැවැත්ම ද යන මේවා රූප ස්කන්‍ධයාගේ තැවීම් වේ.”
යන ගාථාවෙන් ධර්ම දේශනා කළහ. එම දේශනාව ඇසූ බමුණා ප්‍රධාන එම තීර්ථකාරාම වැසි සියළු අන්‍ය තීර්ථකයෝ තෙරුන් සමීපයේ පැවිදි වූහ. තෙරුන් වහන්සේ ඔවුන් සමග සැවැත් නුවරට ගොස්, භාග්‍යවතුන් වහන්සේට වැඳ දින කිහිපයක් එහි වාසය කළහ. පසුව තම උපන් බිමට ම වැඩම වූ ජෝතිදාස තෙරුන් දැකීමට පැමිණියා වූ නානාවිධ පිළිගැනීම් හා යාග-ශුද්ධීන් පිළිගත් ඥාතීන්ට අවවාද දෙමින් මේ ගාථා දෙක වදාළහ.
“යෙ ඛො තෙ වෙසමිස්සෙන නානත්‍ථෙන ච කම්මුනා,
මනුස්සෙ උපරුන්‍ධන්ති ඵරුසුපක්කමා ජනා,
තෙපි තත්‍ථෙව කිරන්ති නහි කම්මං පනස්සති”
“යං කරොති නරො කම්මං කල්‍යාණං යදි පාපකං,
තස්ස තස්සෙව දායාදො යං යං කම්මං පකුබ්බතී”
එහි “යෙ” අනියමින් දැක්වීමකි. “තෙ” යනු නියම වශයෙන්ම නැවත දැක්වීමකි. පද දෙකෙහි සබඳතාව දක්වන “ඛො” යන්න නිපාතයකි. යම්කෙනෙක්, “වෙසමිස්සෙන” වරපට, කඩරෙදි ආදියෙන් හිස ආදී ශරීරාවයව වෙලීමෙන්, “වෙඨමිස්සෙන” යන්න ද පාළියෙහි යෙදේ. මෙම අරුතම ඇත. “නානත්‍ථෙන ච කම්මුනා” නසන, ඝාතනය කරන, අත් පා සිඳින කුදු බවට ශරීරය පත්වන සේ වෙලීම් ආදී නානා විධ අනුන් නසන ක්‍රියාවලින්. “මනුස්සෙ” යනු නිදසුන් ලෙස දැක්වීමක් පමණි. කිසියම් සත්ත්‍වයෙකු යන අර්ථයයි. “උපරුන්‍ධන්ති” පෙළති. පීඩා කරති. “ඵරුසූපක්කමා” දරුණු වූ ප්‍රයෝග ඇති, කුරිරුකම් ඇති. “ජනා” යනු සත්ත්‍වයෝ. “තෙපි තත්‍ථෙව කීරන්ති” මෙසේ අනුන්ට විපත් කරන්නා වූ, අන්‍යයන්ට උගුල් අටවන්නා වූ ඔවුහු, තමන්ම ඊට හසුව විපතට පත්වෙති. හෙළනු ලැබෙති. නැතිනම් ඊට සමාන හෝ දුකකට පත්වෙති යන අර්ථයයි. “තථෙව කීරන්ති” යන පාඨය ද යෙදේ. “තමා අනුන්ට යම් දුක් පැමිණවීද එලෙසින් ම අනුන් තමන්ට ද දුක් එළවති. දුකට පමුණුවති” යන අර්ථයයි. කුමක් නිසාද? කර්මය විපාක නොදී නොනැසෙන හෙයිනි. “නහි කම්මං පනස්ස” කර්‍ම අනිවාර්යයෙන්ම විපාක දෙයි. රැස්වූ කර්ම, ඉතිරිවූ ප්‍රත්‍යයන්ගේ එකතුවීම ඇති කල්හි විපාක නොදී අහෝසි නොවේ.