මහාචුන්‍ද ස්ථවිරගාථා වර්ණනාව
“සුස්සූසා” යනු ආයුෂ්මත් මහාචුන්ද තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇති උන්වහන්සේ ද ඒ ඒ භවයන්හි දී පින් රැස් කරමින් පැමිණ, විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී කුම්භකාර කුලයෙහි ඉපදුනහ. වැඩිවියට පත් ඔහු කුඹල් කර්මාන්තයෙන් ජීවත්වන සමයෙහි, දිනක් ශාස්තෲන් වහන්සේ දැක පැහැදුණු සිතින් එක් මැටි පාත්‍රයක් මැනවින් සාදා උන්වහන්සේට පූජා කළේය. ඒ පින්කමේ බලයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා අවුත් මේ බුද්ධෝත්පාද කාලයේ දී “මගධ” රට “නාලක” ගමෙහි රූපසාරී බැමිණියගේ පුතුව, සැරියුත් මහ තෙරුන්ගේ බාල සෝයුරාව උපන් ඔහු “චුන්ද” නමින් ප්‍රකට විය. වැඩිවියට පත් චුන්ද කුමරු දම්සෙනෙවි සැරියුත් තෙරුන් අනුවම පැවිදි වී, උන්වහන්සේ ඇසුරු කරමින් වෙසෙන්නේ විදසුනෙහි සිත පිහිටුවා උත්සාහ කර, වෑයම් කර නොබෝ කලකින්ම ෂඩ් අභිඥා උපදවා ගත්තේය. චුන්ද තෙරණුවෝ අපදාන පාළියෙහි දී මෙසේ පැවසූහ -
“මම එකල්හි හංසවතී නුවර කුඹලෙක් ව උපන්නෙමි. චතුරෝඝයන් තරණය කළ, ආශ්‍රව රහිත වූ කෙලෙස් දූවිලි පිස දැමූ බුදුරදුන් දුටුවෙමි.
මම මනාව සෑදූ මැටි පාත්‍රයක් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට පිදුවෙමි. සෘජු වූ තාදී ගුණැති උන්වහන්සේට පාත්‍රය පිදූ මම සසර භවයන්හි ඉපිද රන්තලී ලබමි. රිදීමය, රන්මය, මැණික්මය තැටි ද භාජන ද මම පරිභෝග කරමි. පාත්‍ර පිදීමේ පුණ්‍ය විපාකය මෙබඳුය. ඒ මම කීර්තියට ද දන ධාන්‍යාදී සැප ද ලැබුවෙමි.”
“යම් සේ සුන්දර තැනක රෝපිත ඉතා කුඩා වූත් බීජය, මැනවින් වැසිදිය ලබා ශස්‍ය ඵලයෙන් (අස්වැන්නෙන්) ගොවියාගේ සිත සතුටු කරයි ද එසේම බුද්ධ ක්‍ෂේත්‍රයේ රෝපිත මේ පාත්‍ර දානය නම් බීජය ප්‍රීති ධාරා වස්නා කල්හි එහි ඵලය මා සිත සතුටු කරන්නේ ය.
සංඝයාගේ ද සමූහයාගේ ද යම්තාක් පින් කෙත් වේ නම් ඒවා උතුම් බුද්ධ ක්‍ෂේත්‍රය (බුද්ධ නම් කෙත) මෙන් සත්ත්වයන්ට සුව සෙත සැලසීමට සමත් නොවේ.”
“එනිසා පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්ස! ඔබ වහන්සේට නමස්කාර වේවා! පුරුෂෝත්තමයන් වහන්ස! ඔබවහන්සේට නමස්කාර වේවා! එකම පාත්‍රයක් දුන් මම අචල වූ නිවණට පැමිණියෙමි.
මෙයින් කල්ප අනූ එකකට පෙර යම් පාත්‍රයක් දුන්නෙම් ද එදා සිට මේ දක්වා දුගතියක නූපන්නෙමි. පාත්‍ර දානයේ විපාකය මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේ අනුශාසනය ඉටුකළෙමි.
ෂඩ් අභිඥා ලාභී වූ චුන්ද තෙරණුවෝ තමන් වහන්සේ ලබාගත් ගුණ සම්පත්තීන්ට හේතු භූත වූ ගුරු ඇසුර ද විවේකයෙහි ඇලීම ද ප්‍රකට කරන සේක්, මෙම ගාථා දෙක වදාළහ.
“සූස්සූසා සුතවඩ්ඪනී, සුතං පඤ්ඤාය වඩ්ඪනං,
පඤ්ඤාය අත්‍ථං ජානාතී, ඤාතො අත්‍ථො සුඛාවහො”
“සෙවෙථ පන්‍ථානි සෙනාසනානි, චරෙය්‍ය සංයෝජන විප්පමොක්ඛං,
සචෙ රතිං නාධිගච්ඡෙය්‍ය තත්‍ථ, සඞ්ඝ වසෙ රක්ඛිතත්තො සතීමා”
එහි “සූස්සූසා” යනු ගුරු ඇසුරෙහි වසන්නා විසින් ඇසිය යුතුවූ අසා දැන ගත යුතු වූ දේ පිළිබඳ අසනු කැමැත්ත. දිට්ඨධම්මිකාදී (මෙලොවදී ඵල ලැබෙන) ප්‍රභේදයන්හි අර්ථය අසනු කැමැත්තා, කලණ මිතුරන් වෙත ගොස්, වත් පිළිවෙත් ආදියෙන් ඔවුන් ඇසුරු කරයි. එසේ ඇසුරු කිරීමෙන් ඔවුන්ගේ සිත සතුටු කර, මඳ වේලාවක් ඔවුන් සමීපයේ හිඳිනු කැමති වේ. මෙසේ සමීපයේ හිඳ අවබෝධ කරගත යුතු බැවින් අසනු කැමති, යොමුකළ කන් ඇති බව අසනු කැමැත්තයි. ගුරු ඇසුරද ඇසීමට - ශ්‍රවණයට උපකාර වන බැවින් “සූස්සූසා” නම් වේ. ඒ මේ අසනු කැමැත්ත නිසා සත්‍ය, ප්‍රතීත්‍ය සමුත්පාදාදිය ප්‍රතිසංයුත්ත වූ ශ්‍රැතවත්භාවයෙන් පුද්ගලයා පිරිපුන් වේ. ශ්‍රැතයෙන් වැඩේ යන අරුතින් “සුතවඩ්ඪනී” නම් වේ. හෙවත් බහුශ්‍රැත බව ඇති කරයි. “සුතං පඤ්ඤාය වඩ්ඪනං” යම් ඒ සුතධර වූ ශ්‍රැතයෙන් යුක්ත වූ ඇතමෙක් මෙහි බහුශ්‍රැතයෙක් වේ. සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණා දී වශයෙන් දේශිත නවංග සත්‍ථුශාසනය බහුශ්‍රැත බව ඇති කරයි. එය අකුසල් දුරු කර, කුසලාධිගමනයට හේතු භූත වන හෙයින් ප්‍රඥාව වඩයි. එනිසා ඇසීමෙන්, ශ්‍රැතයෙන් ප්‍රඥාව වැඩේ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“මහණෙනි! ශ්‍රැතවත් (ඇසූපිරූ තැන් ඇති) ආර්ය ශ්‍රාවකයන් වහන්සේ අකුසල් දුරු කරයි. කුසල් වඩයි. සාවද්‍ය සේ බැහැරලයි. නිරවද්‍ය දේ වඩයි. පිරිසිදු වූ තමා (අභ්‍යන්තර - බාහිර වශයෙන්) පරිහරණය කරයි.”
“පඤ්ඤාය අත්තානං ජානාති” බහුශ්‍රැතව සුතමය ඤාණයෙහි පිහිටා ඒ පිළිවෙත් පුරන්නා විසින් ශ්‍රැතානුසාරයෙන්, අර්ථ මෙනෙහි කරමින්, ධර්මාවබෝධය ලැබීමට එය වඩනුයේ, ලෞකික - ලෝකෝත්තරාදී භේද ඇති දිට්ඨධම්මිකා දී විභාග ද දුක්ඛා දී විභාග ද ඇති අර්ථයන් තත්ත්වාකාරයෙන් දැන ගනියි. අවබෝධ කරගනු ලබයි. එනිසා භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. –
“අසන්නා වූ, අසා පිළිවෙත් පුරන්නාට අර්ථය මැනවින් වැටහී, ධර්මානුධර්ම පිළිවෙතට මනාව පිළිපන්නේ වේ.”