ගෞතම ස්ථවිරගාථා වර්ණනාව
“සුඛං සුපන්තී” යනු ආයුෂ්මත් ගෝතම තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු කෙරෙහි සිත් පහදවා කරන ලද ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන්හිදී නිවන් පතාගෙන බොහෝ පින් දහම් රැස්කරගත්හ. විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී සිටුගෙයක ඉපදුණු හෙතෙම වැඩිවියට පත්ව, දිනක් මම භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදී ආමෝද ඵලයක් පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව්ලොව ඉපදී තව තවත් පින්දහම් සිදුකරමින් කාම සුගතීන්හිම සැරිසැරූ ඔහු මේ බුද්ධෝත්පාද කාලයේදී රජගහ නුවර බමුණු ගෙදරක උපන්නේය. “ගෝතම” නමින් ප්‍රකට වූ ඒ බමුණු කුමරු සත්වියේදී අපනයනය (බමුණු පූනනූල දැමීම) කර, රුවන් භික්ෂාවෙහි (මුදල් සිඟාකෑමෙහි) හැසිරුණේය. ඉන් කහවනු දහසක් ලබාගත් ඔහු එය ආරක්ෂිත තැනක තබා බඹසර සුරකිමින් වත සමාදානය ආරක්ෂා කළේය. වයස අවුරුදු දාසයක්, දාහතක් වන කාලයෙහි අයහපත් මිතුරු ඇසුරුට පත් වූ ගෝතම කුමරු කාම පීඩිත වූයේ එක් ගණිකාවක් දැක, තමා රැස්කර ගත් කහවනු දහස ඇයට දී බඹසර විනාශ කර ගත්තේය. ඇය ඔහුගේ බඹසර විනාශ වූ බව දැක කළකිරුණු ස්වභාවයක් දැක්වූවාය. මේ දුටු බමුණු කුමරු ද ඇය හා එක් රැයක් විසීමෙන් ම කළකිරුණේ, තමා ගේ බඹසර විනාශවීම ද ධනහානිය ද සිහිකර “මවිසින් නුසුදුසුවූවක් කරන ලදී”යැයි විපිළිසර විය. මෙම අවස්ථාවෙහි බුදුනුවණින් ගෝතම කුමරුගේ හේතුසම්පත් දුටු ශාස්තෲන් වහන්සේ, ඔහුගේ කාමයේ නොඇලුණු සිත ද දැක, ඔහු සමීපයේ තමන්වහන්සේගේ රූපය දැක්වූ සේක. ගෝතම කුමරු බුදුරුව දැක පැහැදී, සතුටු සිතින් උන්වහන්සේ වෙත එළඹ ධර්මශ්රවණය කළේය. ධර්මශ්රවණය කිරීමෙන් හටගත් ශ්‍රද්ධාව ඇති ඔහු සසුනේ පැවිදි වූයේ හිසකෙස් බාද්දීම රහත් ඵලයට පත්විය. ගෝතම තෙරණුවෝ අපදාන පාළියේ දී මෙසේ පැවසූහ -
“දානමානාදී පුදපූජා පිළිගැනීමට යෝග්‍ය වූ රන්වන් පාටින් බබළන්නා වූ වීථියට පිළිපන් බුදුරජාණන් වහන්සේ දැක, මම ආමෝද ඵලයක් පුජා කළෙමි.
මීට කල්ප අනූ එකකට පෙර යම් ඵල දානයක් පැවැත්වූයෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා මම දුගතියක නූපන්නෙමි. ඵලදානයේ විපාකය මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත්බවට පත් වූ ගෝතම තෙරුන් ධ්‍යාන සුවයෙන් කල් යවන කල්හි එක් ගිහි කාලයේ සිටි යහලුවෙක් පැමිණ, “ඇවැත්නි! නුඹ විසින් ලබාගත් රුවන් භික්ෂාවට පැවිදිවන අවස්ථාවෙහි කුමක් කළේ ද?”යි විචාළේය. එය ඇසූ තෙරණුවෝ, “මෙන්ම දෙයක් කළෙමි”යි නොපවසා, ස්ත්‍රියගේ දොස් දක්වමින් ද තමන් වහන්සේගේ වීතරාගී බව දක්වමින් ද සිය රහත් බව ප්‍රකාශ කරමින් ද මේ ගාථා දෙක වදාළහ.
“සුඛං සුපන්ති මුනයො යෙ ඉත්ථීසු න ඛජ්ඣරෙ,
සදා වෙ රක්ඛිතබ්බාසු යාසු සච්චං සුදුල්ලභං”
සදා වෙ රක්ඛිතබ්බාසු යාසු සච්චං සුදුල්ලභං”
“වධං චරිම්හ තෙ කාම අණනා දානි තෙ මයං,
ගච්ඡාමදානි නිබ්බාණං යත්ථ ගන්ත්වා න සොචතී”ති
ගච්ඡාමදානි නිබ්බාණං යත්ථ ගන්ත්වා න සොචතී”ති
එහි “සුඛං සුපන්ති මුනයො යෙ ඉත්ථීසු න ඛජ්ඣරෙ” යනු යමෙක් ස්ත්‍රීන් කෙරෙහි විෂය වශයෙන් හෝ නිමිති වශයෙන් රාගයෙන් නොබැඳෙත් ද නො ඇලෙත් ද ඒ සේඛ මුනිවරු වූ තපස්වීවරු වූ සංයම වූ ඉඳුරන් ඇත්තෝ සුවසේ නිදති. සුවසේ වෙසෙති. ඔවුන්ට කිසිදු දුකක් නැත යන අදහසයි. “සුපන්තී” යනු නිදසුනක් දැක්වීම් පමණකි. “යදා වෙ රක්ඛිතබ්බාසු” යනු ඒකාන්තයෙන්ම සැමකල්හි රැකිය යුත්තෝය. ස්ත්‍රීහු වනාහි මහල් සතක් වූ පුරුෂයන්ගෙන් තොර වූ ප්‍රාසාදයක මතු මහලෙහිම වාසය කරවූවත් කුසේ තබාගත් නමුත් රැක ගැනීමට අපහසුවූවෝය. එනිසා ඔවුහු ගොයම් ආදිය මෙන් සෑම කල්හි ආරක්ෂා කරගත යුතු වෙති. බොහෝ ධනය ඇති සැමියන් විසින් අලංකාර වස්ත්රාභරණ දීමෙන් ආදී වශයෙන් ඈලා ගේ සිත වෙනත් පුරුෂයකු කරා ඇදී නොයන සේ රැකිය යුතුය. මුලු ශරීරයම මල් ගඳ විලවුන් ආදියෙන් වැසීම් වශයෙන් හෝ ආරක්ෂා කළ යුතු සිත් ඇති බැවින් ස්ත්‍රීහු නිතරම රැකිය යුත්තෝ වෙති. “යාසු සච්චං සුදුල්ලභං” ස්ත්‍රීන්ගෙන් සත්‍ය වචනයක් ලබාගැනීමට නොහැක. ස්ත්‍රීහු වනාහි ස්වභාවයෙන්ම ගින්නට වදිති. විස ද කති. සැනින් ගෙල කපා ගනිති. ගෙල වැළලා ගනිති. මෙසේ කළුරිය කළත් සත්‍යයේ පිහිටීමට අසමත් වෙති. එනිසා මෙබඳු ස්ත්‍රීහු හැරදමා සිටි මුනිවරු නම් සුවසේ වෙසෙන්නෝම බව දක්වයි.
දැන් යමක් ප්‍රහීණ නොකිරීමෙන් මෙබඳු ස්ත්රීන්ට බැඳීමට සිදුවේ. ඒ කාමය රාගය තමන් වහන්සේට නොමැති බව, තමා එය ප්‍රහීණ කළ බව, අතිශයින්ම නිවීමට ගිය බව දක්වමින් දෙවන ගාථාව වදාරති. “වධං චරිම්හ තෙ කාමා” එම්බා කාමය! නුඹ වැසුවෙමි. නුඹ අතිශයින්ම මුලිනුපුටා දැමුවෙමි. ආර්ය මාර්ගයෙහි මම හැසිරෙමි. “චරිම්හසෙ” යන පාඨය ද යෙදේ. “වධය පිණිස, ප්රහාණය පිණිස මග බඹසරෙහි හැසිරුනෙමි” යන අර්ථය එහි ඇත. “අණනාදානි තෙ මයං” දැන් අග්‍ර මාර්ගයෙහි නියුක්ත වූ අවස්ථාවෙහි සිටම ණය බව ඇති කරන ධර්ම නෑසූ බැවින් කාමය! අපි නුඹට ණය නැත්තෝ වෙමු. නුඹගේ ණය ගෙවූයෙමු. අවීතරාගීවූවෝ රාගයට වසඟව පවතින බැවින් කාමට දාස වූ ණය ගත්තෝ මෙනි. වීතරාගීහු වනාහි කාමය ඉක්මවා උතුම් වූ ප්‍රීතිමත්, ඉසුරුමත් භාවයෙන් යුතු බැවින් ණය නැත්තෝ වෙති. “අනිමිත්තා එව ගච්ඡාම, දානි නිබ්බාණං යත්ථ ගන්ත්වා න සොචතී” “යම් නිවණකට ගමන් කිරීම නිසා සර්ව ප්‍රකාරයෙන් ම ශෝක හේතූන් නැසූ බැවින් ශෝක නොකරමු. ඒ අනුපාදිශේෂ වූ නිවණටම දැන් අපි ගියෙමු. පැමිණියෙමු” යන අර්ථයයි.
ගෝතම ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
වසභ ස්ථවිරගාථා වර්ණනාව
“පුබ්බෙ හන්ති අත්තානං” යනු ආයුෂ්මත් වසභ තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇති උන්වහන්සේ ද ඒ ඒ භවයෙහිදී රැස් කරගත් පින්දහම් ඇතිව ලොවුතුරු බුදුවරුන්ගෙන් ලෝකය ශූන්‍ය වූ කාලයකදී බමුණු කුලයක උපන්හ. වියපත් ඔහු බමුණු ශිල්ප ශාස්ත්‍රයන්හි පරතෙරට පැමිණ, ගිහිගෙයින් නික්මීමේ වැදගත්කම දුටු බැවින් ගිහි වාසය හැර තවුස් පැවිද්දෙන් පැවිදි ව, දාහතර දහසක් තවුසන් පිරිවරාගෙන, හිමවතට නුදුරෙන් වූ “සමග්ග” නම් පර්වතයේ අසපුවක විසීය. ධ්‍යානාභිඥා උපදවා තවුසන්ට අවවාද අනුශාසනා කරන හෙතෙම මෙසේ සිතීය. “මම දැන් මේ තවුසන් විසින් කරන සත්කාර, සම්මාන හා පුද පූජාදියෙන් පිදුම් ලබමින් වෙසෙමි. මවිසින් පිදිය යුත්තෙක්, ගරු කළ යුත්තෙක් නොලබමි. මේ ලෝකයේ ගුරුවරයෙකු, ගරුකළයුත්තෙක් නොලබමි. මේ ලෝකයේ ගුරුවරයකු, ගරු කළයුත්තෙකු නොමැතිව විසීම දුකකි” මෙසේ සිතා පෙර බුදුවරු වෙත කරන ලද ප්‍රාර්ථනා ඇති බැවින්, පෙර බුදුවරුන්ගේ චෛත්‍යයන්ට තමා විසින් කරන ලද පූජා සත්කාර සිහිපත් කර, “ම පෙර බුදුවරු උදෙසා වැලිවලින් චෛත්‍යයක් සාදා පූජා කරන්නේ නම් මැනවි” යි සිතා සතුටු සිතින් සෘද්ධියෙන් රන්වන් වූ වැලි සෑයක් මැවීය. එම සෑයට රන්මය වූ තුන්දහසක් පමණ මලින් දිනපතා ම පූජා පවත්වමින් ආයුෂ කෙළවර වනතෙක් නොපිරිහුණු ධ්‍යානයෙන් යුතුව සිට, කළුරිය කොට බඹලොව උපන්නේය. එහි ද පරමායුෂ විඳි හෙතෙම ඉන් චුතව තව්තිසා දෙව්ලොව ඉපදුණි. පසුව ඒ ඒ කාම සුගති භවයන් සැරිසරා අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේ දී විශාලා මහනුවර ලිච්ඡවි රජකුලයෙහි උපන්නේය. “වසභ” නමින් ප්‍රකට වූ ඔහු වැඩිවියට පත්ව විශාලා මහනුවරට වැඩම වූ බුදුරදුන්ගේ ආනුභාවය දැකීමෙන් හටගත් ශ්‍රද්ධාව නිසා බුදුසසුනේ පැවිදි විය. විදසුන් භාවනාව වැඩූ වසභ තෙරණුවෝ නොබෝ කලකින්ම රහත් බවට පත් වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ පැවසූහ.