වසභ ස්ථවිරගාථා වර්ණනාව
“පුබ්බෙ හන්ති අත්තානං” යනු ආයුෂ්මත් වසභ තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇති උන්වහන්සේ ද ඒ ඒ භවයෙහිදී රැස් කරගත් පින්දහම් ඇතිව ලොවුතුරු බුදුවරුන්ගෙන් ලෝකය ශූන්‍ය වූ කාලයකදී බමුණු කුලයක උපන්හ. වියපත් ඔහු බමුණු ශිල්ප ශාස්ත්‍රයන්හි පරතෙරට පැමිණ, ගිහිගෙයින් නික්මීමේ වැදගත්කම දුටු බැවින් ගිහි වාසය හැර තවුස් පැවිද්දෙන් පැවිදි ව, දාහතර දහසක් තවුසන් පිරිවරාගෙන, හිමවතට නුදුරෙන් වූ “සමග්ග” නම් පර්වතයේ අසපුවක විසීය. ධ්‍යානාභිඥා උපදවා තවුසන්ට අවවාද අනුශාසනා කරන හෙතෙම මෙසේ සිතීය. “මම දැන් මේ තවුසන් විසින් කරන සත්කාර, සම්මාන හා පුද පූජාදියෙන් පිදුම් ලබමින් වෙසෙමි. මවිසින් පිදිය යුත්තෙක්, ගරු කළ යුත්තෙක් නොලබමි. මේ ලෝකයේ ගුරුවරයෙකු, ගරුකළයුත්තෙක් නොලබමි. මේ ලෝකයේ ගුරුවරයකු, ගරු කළයුත්තෙකු නොමැතිව විසීම දුකකි” මෙසේ සිතා පෙර බුදුවරු වෙත කරන ලද ප්‍රාර්ථනා ඇති බැවින්, පෙර බුදුවරුන්ගේ චෛත්‍යයන්ට තමා විසින් කරන ලද පූජා සත්කාර සිහිපත් කර, “ම පෙර බුදුවරු උදෙසා වැලිවලින් චෛත්‍යයක් සාදා පූජා කරන්නේ නම් මැනවි” යි සිතා සතුටු සිතින් සෘද්ධියෙන් රන්වන් වූ වැලි සෑයක් මැවීය. එම සෑයට රන්මය වූ තුන්දහසක් පමණ මලින් දිනපතා ම පූජා පවත්වමින් ආයුෂ කෙළවර වනතෙක් නොපිරිහුණු ධ්‍යානයෙන් යුතුව සිට, කළුරිය කොට බඹලොව උපන්නේය. එහි ද පරමායුෂ විඳි හෙතෙම ඉන් චුතව තව්තිසා දෙව්ලොව ඉපදුණි. පසුව ඒ ඒ කාම සුගති භවයන් සැරිසරා අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේ දී විශාලා මහනුවර ලිච්ඡවි රජකුලයෙහි උපන්නේය. “වසභ” නමින් ප්‍රකට වූ ඔහු වැඩිවියට පත්ව විශාලා මහනුවරට වැඩම වූ බුදුරදුන්ගේ ආනුභාවය දැකීමෙන් හටගත් ශ්‍රද්ධාව නිසා බුදුසසුනේ පැවිදි විය. විදසුන් භාවනාව වැඩූ වසභ තෙරණුවෝ නොබෝ කලකින්ම රහත් බවට පත් වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ පැවසූහ.
“හිමවතට නුදුරෙහි ‘සමග්ග’ නම් පර්වතයක් විය. එහි මනාව කරන ලද පන්සලක මම වාසය කළෙමි.
එකල මම “නාරද” නම් වූ උග්‍ර තපස් ඇති ජටිලයෙක් වූයෙමි. දාහතර දහසක් ශිෂ්‍යයෝ මා පිරිවරා ගත්හ.
විවේකීව සිටියා වූ මට මෙබඳු සිතිවිල්ලක් විය. “සියලු ජනයා මා හට පුදති. මම කිසිවකු නොපුදමි.
මට ඔවා දෙන්නෙක් නැත. මම ආචාර්ය උපාධ්‍යායකු නොමැතිව වන වාසයට පැමිණියෙමි.
මම යමෙකු ඇසුරු කරන්නෙම් ද ගුරු සිත උපදවන්නෙම් ද එබඳු වූ ගුරුවරයෙකු මා හට නැත. මෙසේ වනයේ විසුම නිරර්ථකය.
ම විසින් පිදිය යුතු වූ එසේම ගරුභාවනීය වූ උතුමෙක් සොයන්නෙමි. එබඳු උතුමෙකු ඇසුරු කරමින් වෙසෙමි. එවිට කිසිවෙක් මට නො ගරහන්නේ ය.”
නොගැඹුරු ඉවුරු ඇති මනා තොටුපල ඇති සුදෝසුදු වැලිතලාවෙන් ගැවසීගත් කුඩා ගඟක් මාගේ අසපුව සමීපයෙහි විය.
එකල මම “අපදික” නම් වූ ඒ නදියට පිවිස වැලි එකතු කොට වැලි සෑයක් සෑදුවෙමි.
“භවය කෙළවර කළා වූ යම් ඒ සම්මා සම්බුදුවරු වැඩසිටියෝ නම් මේ සෑය උන්වහන්සේලා සඳහා ය. මෙය උන්වහන්සේලා අරමුණු කරගෙන මම සාදමි.”
මෙසේ සිතමින් වැලි සෑය සෑදූ මම සෘද්ධියෙන් රන් මවා ඉන් රන් කිකිණිමල් තුන් දහසක් පූජා කළෙමි.
මෙසේ කරවූ සෑය වෙත උදේ සවස පැමිණි මම හටගත් සතුටින් බැඳැදිලිව නමස්කාර කළෙමි. සම්බුදුරජහු අභිමුවෙහි මෙන් සැමදා වැන්දෙමි.
යම් කලෙක මා හට කාමාශ්‍රිත විතර්ක පහළ වේ නම් එකල්හි සර්වඥ ස්තූපය සිහිකරමි. මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කළෙමි.
“නිදුකාණෙනි! සාර්ත්‍ථවාහක වූ විනායක වූ බුදුරජාණන් වහන්සේ ඇසුරු කොට පවතින නුඹ කෙලෙස් සමඟ වෙසෙහි නම් එය නුසුදුසුය”
මෙසේ සෑය සිහිකරන්නා වූ කෙණෙහිම මාගේ සිතෙහි බුද්ධ ගෞරවය ඇති වේ. කණමුලට අණින යවුලෙන් පෙලූ ඇතෙකු මෙන් මිථ්‍යා විතර්ක දුරුකරමි.
මෙලෙස විසූ මම මාරයාට යටත් වූයෙමි. එහි කලුරිය කළ මම බඹලොව උපන්නෙමි.