සුරාධ ස්ථවිරගාථා වර්ණනාව
“ඛීණා හි මය්හං ජාතී” යනු ආයුෂ්මත් සුරාධ තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන්හි දී පින්දහම් රැස්කරමින් පැමිණ “සිඛී” නම් භාග්යවතුන් වහන්සේගේ කාලයේ දී සිටු ගෙයක උපන්හ. වැඩි වියට පත් සිටු කුමරු එම භාග්යවතුන් වහන්සේ දැක, පැහැදුණු සිතින් නාරං ගෙඩියක් පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව්ලොව උපන් හෙතෙම, තව තවත් පින්දහම් සිදුකරමින් කාම සුගතීන්හි ම සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයේදී මුලින් විස්තර කළ රාධ බමුණාගේ බාල සෝයුරාව උපන්නේ ය. ඔහු “සුරාධ” නම් විය. වැඩිමල් සෝයුරු රාධ බමුණා පැවිදි වූ කල්හි, සුරාධ ද පැවිදි විය. සුරාධ තෙරණුවෝ විදසුන් කමටහනෙහි සිත පිහිටවූ සේක්, නොබෝ කලකින් ම රහත් ඵලයට පත්වූහ. උන්වහන්සේ අපදාන පාළියේ දී මෙසේ පැවසූහ -
“පුන් පෝ දිනයෙහි සඳ මෙන් බබලන්නා වූ කිණිහිරි රුක් වැනි වූ පහන් ගසක් මෙන් භෝග මාන වූ ලෝක නායක වූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
නාරං ගෙඩියක් රැගත් මම දක්ෂිණාර්හ වූ මහා ප්රඥා වූ මහා වීර ශාස්තෲන් වහන්සේට පහන් සිතින් දෙ අතින්ම එය පූජා කළෙමි.
එකල්හි මීට කල්ප තිස් එකකට පෙර දී යම් ඵල දානයක් පැවැත්වූයෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වාම දුගතියක නූපන්නෙමි. ඵලදානයේ විපාකය එබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
රහත් බවට පත් වූ සුරාධ තෙරණුවෝ බුදු සසුනේ නෛර්ය්යාණික භාවය දැක්වීම පිණිස සිය රහත් බව ප්රකාශ කරමින් මේ ගාථා දෙක වදාළහ.
“ඛීණාහි මය්හං ජාති වුසිතං ජිනසාසනං,
පහීණො ජාලසංඛාතො - භවනෙත්ති සමූහතා”
පහීණො ජාලසංඛාතො - භවනෙත්ති සමූහතා”
“යස්සත්ථාය පබ්බජිතො අගාරස්මා අනගාරියං,
සො මො අත්ථො අනුප්පත්තො සබ්බසංයොජනක්ඛයො”
සො මො අත්ථො අනුප්පත්තො සබ්බසංයොජනක්ඛයො”
එහි “ඛීණා” යනු ක්ෂය වූ කෙළවරට ගිය. “ජාති” යනු භවයයි. භවෝත්පත්තියයි. “වුසිතං ජින සාසනං” යනු ජින නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි බඹසර වැස නිමවූයෙමි. “පහීණො ජාල සඞ්ඛාතො” සත්ත්වයන්ගේ සන්තානය වසාගෙන, මිදීමට නිදහස් වීමට අවස්ථාවක් නොදෙන දැලක් වැනි වූ හෙයින් “ජාල” නම් වූ අවිද්යා දෘෂ්ටි දෙක ප්රහීණ කරන ලදි. ආර්ය මාර්ගයෙන් මුලුමනින් ම සිඳ දමන ලදි. “භවනෙත්ති සමූහතා” කාමාදීභවයන්ට පමුණුවන, සංසාරික පැවැත්මට උපකාරවන තණ්හාව මුලිනුපුටා දමන ලදි. “යම් අර්ථයක් සඳහා මම ගිහිගෙයින් නික්ම අනගාරී සසුනෙහි පැවිදිවූයෙම් ද ඒ සියලු ඕරම්භාගිය හා උද්ධම්භාගිය යන ප්රභේද ඇති දස සංයෝජනයෝම ප්රහීණ කළෙමි. අර්ථවත් වූ නිර්වාණ සංඛ්යාත පරමාර්ථය, අර්හත් සංඛ්යාත (තම යහපත්) ස්වාර්ථය ද මම ලබාගත්තෙමි. සලසා ගත්තෙමි” යන අර්ථයයි.
සුරාධ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
ගෞතම ස්ථවිරගාථා වර්ණනාව
“සුඛං සුපන්තී” යනු ආයුෂ්මත් ගෝතම තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු කෙරෙහි සිත් පහදවා කරන ලද ප්රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන්හිදී නිවන් පතාගෙන බොහෝ පින් දහම් රැස්කරගත්හ. විපස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයේදී සිටුගෙයක ඉපදුණු හෙතෙම වැඩිවියට පත්ව, දිනක් මම භාග්යවතුන් වහන්සේ දැක පැහැදී ආමෝද ඵලයක් පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව්ලොව ඉපදී තව තවත් පින්දහම් සිදුකරමින් කාම සුගතීන්හිම සැරිසැරූ ඔහු මේ බුද්ධෝත්පාද කාලයේදී රජගහ නුවර බමුණු ගෙදරක උපන්නේය. “ගෝතම” නමින් ප්රකට වූ ඒ බමුණු කුමරු සත්වියේදී අපනයනය (බමුණු පූනනූල දැමීම) කර, රුවන් භික්ෂාවෙහි (මුදල් සිඟාකෑමෙහි) හැසිරුණේය. ඉන් කහවනු දහසක් ලබාගත් ඔහු එය ආරක්ෂිත තැනක තබා බඹසර සුරකිමින් වත සමාදානය ආරක්ෂා කළේය. වයස අවුරුදු දාසයක්, දාහතක් වන කාලයෙහි අයහපත් මිතුරු ඇසුරුට පත් වූ ගෝතම කුමරු කාම පීඩිත වූයේ එක් ගණිකාවක් දැක, තමා රැස්කර ගත් කහවනු දහස ඇයට දී බඹසර විනාශ කර ගත්තේය. ඇය ඔහුගේ බඹසර විනාශ වූ බව දැක කළකිරුණු ස්වභාවයක් දැක්වූවාය. මේ දුටු බමුණු කුමරු ද ඇය හා එක් රැයක් විසීමෙන් ම කළකිරුණේ, තමා ගේ බඹසර විනාශවීම ද ධනහානිය ද සිහිකර “මවිසින් නුසුදුසුවූවක් කරන ලදී”යැයි විපිළිසර විය. මෙම අවස්ථාවෙහි බුදුනුවණින් ගෝතම කුමරුගේ හේතුසම්පත් දුටු ශාස්තෲන් වහන්සේ, ඔහුගේ කාමයේ නොඇලුණු සිත ද දැක, ඔහු සමීපයේ තමන්වහන්සේගේ රූපය දැක්වූ සේක. ගෝතම කුමරු බුදුරුව දැක පැහැදී, සතුටු සිතින් උන්වහන්සේ වෙත එළඹ ධර්මශ්රවණය කළේය. ධර්මශ්රවණය කිරීමෙන් හටගත් ශ්රද්ධාව ඇති ඔහු සසුනේ පැවිදි වූයේ හිසකෙස් බාද්දීම රහත් ඵලයට පත්විය. ගෝතම තෙරණුවෝ අපදාන පාළියේ දී මෙසේ පැවසූහ -
“දානමානාදී පුදපූජා පිළිගැනීමට යෝග්ය වූ රන්වන් පාටින් බබළන්නා වූ වීථියට පිළිපන් බුදුරජාණන් වහන්සේ දැක, මම ආමෝද ඵලයක් පුජා කළෙමි.
මීට කල්ප අනූ එකකට පෙර යම් ඵල දානයක් පැවැත්වූයෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා මම දුගතියක නූපන්නෙමි. ඵලදානයේ විපාකය මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත්බවට පත් වූ ගෝතම තෙරුන් ධ්යාන සුවයෙන් කල් යවන කල්හි එක් ගිහි කාලයේ සිටි යහලුවෙක් පැමිණ, “ඇවැත්නි! නුඹ විසින් ලබාගත් රුවන් භික්ෂාවට පැවිදිවන අවස්ථාවෙහි කුමක් කළේ ද?”යි විචාළේය. එය ඇසූ තෙරණුවෝ, “මෙන්ම දෙයක් කළෙමි”යි නොපවසා, ස්ත්රියගේ දොස් දක්වමින් ද තමන් වහන්සේගේ වීතරාගී බව දක්වමින් ද සිය රහත් බව ප්රකාශ කරමින් ද මේ ගාථා දෙක වදාළහ.
“සුඛං සුපන්ති මුනයො යෙ ඉත්ථීසු න ඛජ්ඣරෙ,
සදා වෙ රක්ඛිතබ්බාසු යාසු සච්චං සුදුල්ලභං”
සදා වෙ රක්ඛිතබ්බාසු යාසු සච්චං සුදුල්ලභං”
“වධං චරිම්හ තෙ කාම අණනා දානි තෙ මයං,
ගච්ඡාමදානි නිබ්බාණං යත්ථ ගන්ත්වා න සොචතී”ති
ගච්ඡාමදානි නිබ්බාණං යත්ථ ගන්ත්වා න සොචතී”ති
එහි “සුඛං සුපන්ති මුනයො යෙ ඉත්ථීසු න ඛජ්ඣරෙ” යනු යමෙක් ස්ත්රීන් කෙරෙහි විෂය වශයෙන් හෝ නිමිති වශයෙන් රාගයෙන් නොබැඳෙත් ද නො ඇලෙත් ද ඒ සේඛ මුනිවරු වූ තපස්වීවරු වූ සංයම වූ ඉඳුරන් ඇත්තෝ සුවසේ නිදති. සුවසේ වෙසෙති. ඔවුන්ට කිසිදු දුකක් නැත යන අදහසයි. “සුපන්තී” යනු නිදසුනක් දැක්වීම් පමණකි. “යදා වෙ රක්ඛිතබ්බාසු” යනු ඒකාන්තයෙන්ම සැමකල්හි රැකිය යුත්තෝය. ස්ත්රීහු වනාහි මහල් සතක් වූ පුරුෂයන්ගෙන් තොර වූ ප්රාසාදයක මතු මහලෙහිම වාසය කරවූවත් කුසේ තබාගත් නමුත් රැක ගැනීමට අපහසුවූවෝය. එනිසා ඔවුහු ගොයම් ආදිය මෙන් සෑම කල්හි ආරක්ෂා කරගත යුතු වෙති. බොහෝ ධනය ඇති සැමියන් විසින් අලංකාර වස්ත්රාභරණ දීමෙන් ආදී වශයෙන් ඈලා ගේ සිත වෙනත් පුරුෂයකු කරා ඇදී නොයන සේ රැකිය යුතුය. මුලු ශරීරයම මල් ගඳ විලවුන් ආදියෙන් වැසීම් වශයෙන් හෝ ආරක්ෂා කළ යුතු සිත් ඇති බැවින් ස්ත්රීහු නිතරම රැකිය යුත්තෝ වෙති. “යාසු සච්චං සුදුල්ලභං” ස්ත්රීන්ගෙන් සත්ය වචනයක් ලබාගැනීමට නොහැක. ස්ත්රීහු වනාහි ස්වභාවයෙන්ම ගින්නට වදිති. විස ද කති. සැනින් ගෙල කපා ගනිති. ගෙල වැළලා ගනිති. මෙසේ කළුරිය කළත් සත්යයේ පිහිටීමට අසමත් වෙති. එනිසා මෙබඳු ස්ත්රීහු හැරදමා සිටි මුනිවරු නම් සුවසේ වෙසෙන්නෝම බව දක්වයි.