රාධ ස්ථවිරගාථා වර්ණනාව
“යථා අගාරං දුච්ඡන්නං” යනු ආයුෂ්මත් රාධ තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයේ දී හංසවතී නුවර සිටු ගෙයක ඉපදුණු උන්වහන්සේ වියපත්ව විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේ වෙත පැමිණ වැඳ එකත් පසෙක සිටියහ. ඒ සිටුතුමා ශාස්තෲන් වහන්සේ විසින් එක් භික්ෂුවක් ප්රතිභාන ඇති භික්ෂූන් අතුරින් අගතනතුරෙහි පිහිටුවන දැක, තමා ද ඒ තනතුර ප්රාර්ථනා කරගෙන මහාදානයක් පැවැත්වීය. ශාස්තෲන් වහන්සේට මහත් වූ පූජාවක් ද කළේය. මෙසේ කළ ප්රාර්ථනා ඇති ඔහු ඉන් චුතව, සසර ඒ ඒ භවයන්හි දී තව තවත් පින්දහම් රැස්කරමින් අවුත් විපස්සී භාග්යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක උපන්නේ ය. වැඩිවියට පත් හෙතෙම පිඬු පිණිස වැඩම වූ බුදුරජාණන් වහන්සේට පහන් සිතින් එක් මිහිරි අඹ ඵලයක් පිදුවේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව්ලොව ඉපිද තව තවත් පින්දහම් සිදුකරගනිමින් දෙව් මිනිස් දෙගතියේ සැරි සරා අවුත් අපගේ භාග්යවතුන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි රජගහ නුවර බමුණු ගෙදරක උපන්නේ ය. “රාධ” නමින් ප්රකට වූ ඒ බමුණු කුමරු වැඩිවියට පත්ව ගිහිගේ වසන්නේ, මහලු කාලයේ දී අඹුදරුවන් විසින් නොසළකන ලද්දේ, “මා හට ගිහිගේ විසීමෙන් කවර ප්රයෝජනයක් ද? පැවිදිවන්නෙමි”යි විහාරයට ගොස් ස්ථවිර භික්ෂූන් සමීපයට ගොස් පැවිද්ද ඉල්ලීය. උන්වහන්සේලා විසින් “මේ බමුණා ඉතා මහලුවූවෙකි. වත් පිළිවෙත් පවා පිරීමට අසමර්ථයෙකි”යි ප්රතික්ෂේප කරන ලදි. ශාස්තෲන් වහන්සේ හමුවට ගිය රාධ බමුණා තම අදහස උන්වහන්සේට දැන්වීය. රාධගේ හේතු සම්පත් දුටු ශාස්තෲන් වහන්සේගේ අණ කිරීම මත දම් සෙනෙවි සැරියුත් තෙරුන් විසින් පැවිදි කරන ලද රාධ තෙරණුවෝ විදසුනෙහි සිත පිහිටුවා නොබෝ කලකින් ම රහත් ඵලයේ පිහිටියහ. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ පැවසූහ.
“ලොව දෙන්නවුන්ගේ දන් පිළිගන්නා වූ රන්වන් වූ බුදුරජාණන් වහන්සේ පිඬු පිණිස වීථියට වැඩම වූ කල්හි මම අඹ ඵලයක් පිදුවෙමි.
මීට කල්ප අනූ එකකට පෙර දී යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් දුගතියක නූපන්නෙමි. ඵල දානයේ විපාකය මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
රහත් බවට පත් වූ උන්වහන්සේ, ශාස්තෲන් වහන්සේ සමීපයේ ම හැසිරෙන්නේ, ශාස්තෲන් ධර්මදේශනාව වහා වටහාගන්නා වූ භික්ෂූන් අතර ප්රධාන වූහ. ඒ තෙරුන් වහන්සේට වනාහි දෘෂ්ඨි, සමුදය, ආචාරාදියට ද පැමිණි දසබලයන් වහන්සේගේ ධර්ම දේශනාව ඉන් තොරව අවබෝධ වේ. එනිසා භාග්යවතුන් වහන්සේ “මහණෙනි! මගේ ශ්රාවක භික්ෂූන් අතර ප්රතිභාන ඇති භික්ෂූන්ට මේ රාධ තෙරුන් අග්ර වේ” යැයි වදාළ සේක. රාධ තෙරණුවෝ දිනක් “මේ සත්ත්වයෝ සිත නොවැඩීම නිසා රාගයෙන් මුලාවෙකි. සිත වැඩීමෙන් යෙදුණේත් නැත” යැයි වැටහී භාවනාව පිළිබඳ උත්සාහය වඩමින් මෙම ගාථා දෙක වදාළහ.
“යථා අගාරං දුච්ඡන්නං වුට්ඨි සමතිවිජ්ඣති,
එවං අභාවිතං චිත්තං රාගො සමතිවිජ්ඣතී”
එවං අභාවිතං චිත්තං රාගො සමතිවිජ්ඣතී”
“යථා අගාරං සුච්ඡන්නං - වුට්ඨි න සමතිවිජ්ඣතී,
එවං සුභාවිතං චිත්තං - රාගො න සමතිවිජ්ඣති”
එවං සුභාවිතං චිත්තං - රාගො න සමතිවිජ්ඣති”
එහි “අගාරං” යනු යම්කිසි ගෙයක් “දුච්ඡන්නං” නොවැසූ, තැනින් තැන වැසූ හා තැනින් තැන තෙමෙන සිදුරු ඇති “සමතිවිජ්ඣතී” වැස්ස විනිවිද යන්නේ ද “අභාවිතං” ඒ වැස්සෙන් තෙමෙන ගෙය මෙත් වැඩීමක් පුරුදු-පුහුණු නොකළ සිතට “රාගො සමතිවිජ්ඣතී” රාගය පමණ නොව දෝෂ (තරහ) මෝහාදී සියලු කෙලෙස් වැදගනියි. එබඳු සිත විනිවිද යන්නේ මය. “සුභාවිතං” යනු සමථ-විදර්ශනා ආදී වශයෙන් මනාව වැඩූ සිත. මෙබඳු සිත මැනවින් සෙවිලි කළ ගෙයට වැස්ස නොපිවිසෙන්නාක් මෙන් රාගාදී කෙලෙසුන්ගෙන් පීඩා නොවේ. එබඳු සිත විනිවිද යෑමට නොහැකි වේ.
රාධ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
සුරාධ ස්ථවිරගාථා වර්ණනාව
“ඛීණා හි මය්හං ජාතී” යනු ආයුෂ්මත් සුරාධ තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන්හි දී පින්දහම් රැස්කරමින් පැමිණ “සිඛී” නම් භාග්යවතුන් වහන්සේගේ කාලයේ දී සිටු ගෙයක උපන්හ. වැඩි වියට පත් සිටු කුමරු එම භාග්යවතුන් වහන්සේ දැක, පැහැදුණු සිතින් නාරං ගෙඩියක් පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව්ලොව උපන් හෙතෙම, තව තවත් පින්දහම් සිදුකරමින් කාම සුගතීන්හි ම සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයේදී මුලින් විස්තර කළ රාධ බමුණාගේ බාල සෝයුරාව උපන්නේ ය. ඔහු “සුරාධ” නම් විය. වැඩිමල් සෝයුරු රාධ බමුණා පැවිදි වූ කල්හි, සුරාධ ද පැවිදි විය. සුරාධ තෙරණුවෝ විදසුන් කමටහනෙහි සිත පිහිටවූ සේක්, නොබෝ කලකින් ම රහත් ඵලයට පත්වූහ. උන්වහන්සේ අපදාන පාළියේ දී මෙසේ පැවසූහ -
“පුන් පෝ දිනයෙහි සඳ මෙන් බබලන්නා වූ කිණිහිරි රුක් වැනි වූ පහන් ගසක් මෙන් භෝග මාන වූ ලෝක නායක වූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
නාරං ගෙඩියක් රැගත් මම දක්ෂිණාර්හ වූ මහා ප්රඥා වූ මහා වීර ශාස්තෲන් වහන්සේට පහන් සිතින් දෙ අතින්ම එය පූජා කළෙමි.
එකල්හි මීට කල්ප තිස් එකකට පෙර දී යම් ඵල දානයක් පැවැත්වූයෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වාම දුගතියක නූපන්නෙමි. ඵලදානයේ විපාකය එබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
රහත් බවට පත් වූ සුරාධ තෙරණුවෝ බුදු සසුනේ නෛර්ය්යාණික භාවය දැක්වීම පිණිස සිය රහත් බව ප්රකාශ කරමින් මේ ගාථා දෙක වදාළහ.
“ඛීණාහි මය්හං ජාති වුසිතං ජිනසාසනං,
පහීණො ජාලසංඛාතො - භවනෙත්ති සමූහතා”
පහීණො ජාලසංඛාතො - භවනෙත්ති සමූහතා”
“යස්සත්ථාය පබ්බජිතො අගාරස්මා අනගාරියං,
සො මො අත්ථො අනුප්පත්තො සබ්බසංයොජනක්ඛයො”
සො මො අත්ථො අනුප්පත්තො සබ්බසංයොජනක්ඛයො”
එහි “ඛීණා” යනු ක්ෂය වූ කෙළවරට ගිය. “ජාති” යනු භවයයි. භවෝත්පත්තියයි. “වුසිතං ජින සාසනං” යනු ජින නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි බඹසර වැස නිමවූයෙමි. “පහීණො ජාල සඞ්ඛාතො” සත්ත්වයන්ගේ සන්තානය වසාගෙන, මිදීමට නිදහස් වීමට අවස්ථාවක් නොදෙන දැලක් වැනි වූ හෙයින් “ජාල” නම් වූ අවිද්යා දෘෂ්ටි දෙක ප්රහීණ කරන ලදි. ආර්ය මාර්ගයෙන් මුලුමනින් ම සිඳ දමන ලදි. “භවනෙත්ති සමූහතා” කාමාදීභවයන්ට පමුණුවන, සංසාරික පැවැත්මට උපකාරවන තණ්හාව මුලිනුපුටා දමන ලදි. “යම් අර්ථයක් සඳහා මම ගිහිගෙයින් නික්ම අනගාරී සසුනෙහි පැවිදිවූයෙම් ද ඒ සියලු ඕරම්භාගිය හා උද්ධම්භාගිය යන ප්රභේද ඇති දස සංයෝජනයෝම ප්රහීණ කළෙමි. අර්ථවත් වූ නිර්වාණ සංඛ්යාත පරමාර්ථය, අර්හත් සංඛ්යාත (තම යහපත්) ස්වාර්ථය ද මම ලබාගත්තෙමි. සලසා ගත්තෙමි” යන අර්ථයයි.