මෙලජින ස්ථවිරගාථා වර්ණනාව
“යදාහං ධම්මස්සොසිං” යනු ආයුෂ්මත් මේළජින තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේද? පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇති උන්වහන්සේ ද ඒ ඒ භවයන්හි දී පින් රැස් කරමින් පැමිණ සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී සිටුගෙයක ඉපදුනහ. වියපත් වූ සිටුකුමරු භාග්‍යවතුන් වහන්සේ පිඬුපිණිස වැඩම කරනු දැක, පැහැදුණු සිතින් එක් මිහිරි ආමෝද ඵලයක් පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිසුන් අතර සැරි සැරූ ඔහු මේ බුද්ධෝත්පාද කාලයෙහි බරණැස් නුවර ක්‍ෂත්‍රිය කුලයක ඉපිද, “මේළජින” යන නමින් හැඳින්විණි. සියලු විද්‍යා ශිල්ප ශාස්ත්‍රයන්හි කෙළවරට පැමිණි, පණ්ඩිත වූ විශාරද වූ හෙතෙම සියලු දිශාවන්හි ප්‍රකට විය. භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතනයේ වැඩවසන කල්හි එම විහාරයට ගිය මේළජින ධර්‍මශ්‍රවණ කිරීමෙන් ලැබූ ශ්‍රද්ධා ඇතිව බුදුසසුනේ පැවිදි විය. විදසුනෙහි සිත පිහිටවූ මේළජින තෙරණුවෝ පැවිදි වූ දිනම රහත් වූහ. අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ පැවසූහ -
“තමාම අවබෝධ කරගත් සත්‍ය ඇති, අපරාජිත වූ දහසක් රැස් දරන්නා වූ සිද්ධත්‍ථ නම් බුදුරජාණන් වහන්සේ, විවේකයෙන් නැගී සිටිසේක් - පිඬුපිණිස නික්මුණු සේක.
අතෙහි ඵල දරාගත් මම එකල්හි උන්වහන්සේ වෙත පැමිණියෙමි. පැහැදුණු සිතින් හා සතුටු සිතින් උන්වහන්සේට ආමෝද ඵලයක් පූජාකළෙමි.
මෙයින් කල්ප අනූ හතරකට පෙරදී යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. ඵලදානයාගේ විපාක මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත්වූ මේළජින තෙරුන්ගෙන් මෑත කාලයකදී භික්‍ෂූහු මෙසේ ඇසූහ. “ඇවැත්නි! කිම නුඹ වහන්සේ කිසියම් උතුරු මිනිස් දහමක් අවබෝධ කරගත් සේක්ද?” යනුවෙනි, ඊට පිළිතුරු වශයෙන් සිංහනාද පැවැත්වූ උන්වහන්සේ මේ ගාථා දෙක වදාළහ.
“යදාහං ධම්ම මස්සොසිං භාසමානස්ස සත්‍ථුනො,
න කඞ්ඛමභිජානාමි සබ්බඤ්ඤු අපරාජිතො”
“සත්‍ථවාහෙ මහාවීරෙ සාරථීනං වරුත්තමෙ,
මග්ගෙ පටිපදායං වා කඞ්ඛා මය්හං න විජ්ජතී”
එහි “යදා” යනු යම් කලෙක “අහං” යනුවෙන් තමන්වහන්සේ දක්වයි. “ධම්මං” චතුරාර්ය සත්‍යය ධර්‍මය. “අස්සොසිං” ඇසුවෙමි. “සත්‍ථුනො” යනු දිට්ඨධම්මික වූ (ඉදිරියේම ප්‍රතිඵල ලැබෙන) අර්ථයන්හි හික්මෙන්නවුන් පිහිටුවන අර්ථයෙන් ශාස්තෲන් වහන්සේගේ. “කඞ්ඛං” සැකයක්, සංඛත අසංඛත යනාදී සියල්ලම දන්නා වූ අර්ථයෙන් “සබ්බඤ්ඤු” සර්වඥ නම් වූ කිසිවෙකුට කිසිතැනකදී නොපැරදුණු බැවින් “අපරාජිතෙ” අපරාජිත වූ හික්මවන්නා වූ සත්ත්‍වයන් සසර කතරින් එතෙර කරවා නිවණට පමුණුවන බැවින් “සත්‍ථවාහෙ” ශ්‍රේෂ්ඨ සාත්තුවාහකයෙක් වූ මෙහි අදහස් මෙසේ දත යුතුයි. – “යම් දිනෙක මම ශාස්තෲන් වහන්සේගේ චතුරාර්ය සත්‍යය පිළිබඳ ධර්‍මය ඇසුවෙම් ද ශ්‍රෝතද්වාරයෙන් සලකා බැලුවෙම්ද ධාරණය කරගත්තේම් ද එසා සිට ලොව සියලුම සංඛත, අසංඛත සම්මුති ධර්මයන් තමන්වහන්සේ විසින්ම දැනගත් හෙයින් උන්වහන්සේගේ සර්වඥත්‍වය මැනවින් අවබෝධ කරගත්තෙමි. පංච මාරයන් අභිභවනය කිරීමෙන් ද ඒ මාරයන්ට නොමැඩලිය හැකි වූ බැවින්ද දෙවියන් සහිත ලෝකයේ කිසිවකු විසින් නො පැවැත්වූ දම්සක් පැවතුම් පැවැත්වූ බැවින්ද අපරාජිත වූ වේනෙය්‍ය සත්ත්‍වයන් කාන්තාරාදියෙන් (සසර නැමති) එතෙර කරවන බැවින් සාත්තුවාහකයෙකු වූ මහත් වූ වික්‍රම ඇති බැවින් මහාවීර වූ, අන්‍ය දමනය කළ නොහැකි පුරුෂාදීන් දමනය කරවීමෙන්, ඔවුන්ට පිහිටවීමෙන් හා අතිශය වූ දමනය කිරීම්වලින් සත්ත්‍වයා දමනය කරන්නා වූ රියදුරන් අතර ශ්‍රේෂ්ඨ-උතුම් සාරථී වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි “බුද්ධත්‍වයට පත්වී ද? නොවී ද?” යි සැකයක් නම් මා හට ඇති නොවිණි. එසේ සැක කිරීමට හේතුවක් නොමැති බැවිනි. එලෙසින් ම උන්වහන්සේ විසින් දෙසූ ආර්ය මාර්ගයෙහි ද ඊට උපකාර වූ සීලා දී ප්‍රතිපදාවෙහි ද “මෙම පිළිවෙත් පිරීමෙන් නිවණ ලැබේ ද? නොලැබේ ද?” යි සැකයක් හෝ විචිකිච්ඡාවක් මා හට නැත. මෙහි ද ආර්ය ධර්මයෙහි සැක රහිත බව පැවසීමෙන් ආර්ය සංඝයා කෙරෙහිද සැකයක් නොමැති බව අදහස් වී යැයි දත යුතුයි. එම ආර්ය සත් ධර්මයෙහි පිහිටි තැනැත්තාගේ (ස්ථිරව) වෙනස්වීමක් නම් නැති බැවිනි.
මේළජින ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
රාධ ස්ථවිරගාථා වර්ණනාව
“යථා අගාරං දුච්ඡන්නං” යනු ආයුෂ්මත් රාධ තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී හංසවතී නුවර සිටු ගෙයක ඉපදුණු උන්වහන්සේ වියපත්ව විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේ වෙත පැමිණ වැඳ එකත් පසෙක සිටියහ. ඒ සිටුතුමා ශාස්තෲන් වහන්සේ විසින් එක් භික්ෂුවක් ප්‍රතිභාන ඇති භික්‍ෂූන් අතුරින් අගතනතුරෙහි පිහිටුවන දැක, තමා ද ඒ තනතුර ප්‍රාර්ථනා කරගෙන මහාදානයක් පැවැත්වීය. ශාස්තෲන් වහන්සේට මහත් වූ පූජාවක් ද කළේය. මෙසේ කළ ප්‍රාර්ථනා ඇති ඔහු ඉන් චුතව, සසර ඒ ඒ භවයන්හි දී තව තවත් පින්දහම් රැස්කරමින් අවුත් විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක උපන්නේ ය. වැඩිවියට පත් හෙතෙම පිඬු පිණිස වැඩම වූ බුදුරජාණන් වහන්සේට පහන් සිතින් එක් මිහිරි අඹ ඵලයක් පිදුවේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව්ලොව ඉපිද තව තවත් පින්දහම් සිදුකරගනිමින් දෙව් මිනිස් දෙගතියේ සැරි සරා අවුත් අපගේ භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි රජගහ නුවර බමුණු ගෙදරක උපන්නේ ය. “රාධ” නමින් ප්‍රකට වූ ඒ බමුණු කුමරු වැඩිවියට පත්ව ගිහිගේ වසන්නේ, මහලු කාලයේ දී අඹුදරුවන් විසින් නොසළකන ලද්දේ, “මා හට ගිහිගේ විසීමෙන් කවර ප්‍රයෝජනයක් ද? පැවිදිවන්නෙමි”යි විහාරයට ගොස් ස්ථවිර භික්‍ෂූන් සමීපයට ගොස් පැවිද්ද ඉල්ලීය. උන්වහන්සේලා විසින් “මේ බමුණා ඉතා මහලුවූවෙකි. වත් පිළිවෙත් පවා පිරීමට අසමර්ථයෙකි”යි ප්‍රතික්‍ෂේප කරන ලදි. ශාස්තෲන් වහන්සේ හමුවට ගිය රාධ බමුණා තම අදහස උන්වහන්සේට දැන්වීය. රාධගේ හේතු සම්පත් දුටු ශාස්තෲන් වහන්සේගේ අණ කිරීම මත දම් සෙනෙවි සැරියුත් තෙරුන් විසින් පැවිදි කරන ලද රාධ තෙරණුවෝ විදසුනෙහි සිත පිහිටුවා නොබෝ කලකින් ම රහත් ඵලයේ පිහිටියහ. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ පැවසූහ.
“ලොව දෙන්නවුන්ගේ දන් පිළිගන්නා වූ රන්වන් වූ බුදුරජාණන් වහන්සේ පිඬු පිණිස වීථියට වැඩම වූ කල්හි මම අඹ ඵලයක් පිදුවෙමි.
මීට කල්ප අනූ එකකට පෙර දී යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් දුගතියක නූපන්නෙමි. ඵල දානයේ විපාකය මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
රහත් බවට පත් වූ උන්වහන්සේ, ශාස්තෲන් වහන්සේ සමීපයේ ම හැසිරෙන්නේ, ශාස්තෲන් ධර්‍මදේශනාව වහා වටහාගන්නා වූ භික්‍ෂූන් අතර ප්‍රධාන වූහ. ඒ තෙරුන් වහන්සේට වනාහි දෘෂ්ඨි, සමුදය, ආචාරාදියට ද පැමිණි දසබලයන් වහන්සේගේ ධර්‍ම දේශනාව ඉන් තොරව අවබෝධ වේ. එනිසා භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි! මගේ ශ්‍රාවක භික්‍ෂූන් අතර ප්‍රතිභාන ඇති භික්‍ෂූන්ට මේ රාධ තෙරුන් අග්‍ර වේ” යැයි වදාළ සේක. රාධ තෙරණුවෝ දිනක් “මේ සත්ත්වයෝ සිත නොවැඩීම නිසා රාගයෙන් මුලාවෙකි. සිත වැඩීමෙන් යෙදුණේත් නැත” යැයි වැටහී භාවනාව පිළිබඳ උත්සාහය වඩමින් මෙම ගාථා දෙක වදාළහ.