අජින ස්ථවිරගාථා වර්ණනාව
“අපිචෙහොති තෙවිජ්ජො” යනු ආයුෂ්මත් අජින තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී පින් රැස් කරමින් පැමිණි උන්වහන්සේ, එක් බුද්ධශූන්‍ය වූ කාලයක (ලොව) සිටුගෙයක උපන්හ. වැඩිවියට පත් ඒ සිටුකුමරු කිසියම් කටයුත්තකට කැළයට ගියවිට, එහි දී “සුචිත්තිත” නම් පසේ බුදුරජාණන් වහන්සේ අසනීප වී වැඩ හිඳිනු දැක - සමීපයට ගොස් වැඳ පැහැදුණු සිතින් බෙහෙත් සඳහා ගිතෙල් ස්වල්පයක් පිළිගැන්වීය. ඒ පින්කමේ විපාක ලෙස දෙව් ලොව ඉපිද තව තවත් පින්දහම් සිදුකර කාමසුගතීන් හි ම සැරිසරා, මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර එක් දිළිඳු බමුණකුට දාව බැමිණියගේ කුස පිළිසිඳ ගත්තේය. එකුමරු බිහිවන මොහොතෙහි අඳුන් දිවි සමකින් පිළිගත් බැවින් “අජින” නාමය තබනලදි. ඔහු භවභෝග ලැබීමට නිසි පිනක් නොකළ බැවින් දිළිඳු පවුලක ඉපදී, වැඩිවියට පත්වුවත් අල්ප වූ ආහාර පාන ඇති බැවින් ඔබිනොබ ඇවිදගියේය. එවිට ජේතවනාරාමය පිළිගන්නා අවස්ථාවෙහි බුද්ධානුභාවය දැකීමෙන් හටගත් ශ්‍රද්ධාව නිසා බුදුසසුනේ පැවිදිවූ හෙතෙම විදසුන් කමටහන් වඩා නොබෝ දිනකින් ම ෂඩ් අභිඥාලාභී විය. අපදාන පාළියේ අජින තෙරණුවෝ මෙසේ සිය චරිතාපදානය දැක්වූහ -
“සුචින්තිත නම් (ලොවට ජ්‍යෙෂ්ඨ වූ භාග්‍යවතුන් වහන්සේ) පසේ බුදුන් වහන්සේ වාතාබාධයකින් පීඩිතව මහ වනයේ වැඩ වසනු දුටු මම, සිත පහදවා පිරිසිදු ගිතෙල් ස්වල්පයක් පිළිගැන්වූයෙමි.
මේ පින්කම කිරීමෙන් හා වැඩූ සිත් ඇති බැවින් මෙම භගීරථි ගඟ ද සිවුමහ සමුදුරු ද මගේ අදහස අනුව මී සකුරු බවට පත්වේ. සිවුමහ දිවයිනට අයත් වූ මේ වෘක්‍ෂයෝ පවා මගේ අදහස අනුව කල්ප වෘක්‍ෂයෝ වෙති. මම වසර පනහක් දෙව් රජය කරවූයෙමි,
පනස් එක් වාරයක් සක්විති රජව උපන්නෙමි, මා ලැබූ ප්‍රදේශ රාජ සම්පත්තිය පමණ කළ නොහැක.
මෙයින් කල්ප අනූ හයකට පෙර යම් ගිතෙල් දානයක් දුන්නෙම් ද ඒ හේතුවෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. පිරිසිදු ගිතෙල් පිදීමේ විපාකය මෙබඳුය,
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
පෙර කර්ම නිසා රහත් බවට පත් වූවත් අල්ප ලාභ ඇතිව අප්‍රකට ව උන්වහන්සේ විසූහ. උදෙසන බත්, සලාක බත් ආදිය ද අල්පව ලැබේ. කර්ම බලය නිසා පුහුදුන් භික්‍ෂූහු හා සාමණේරාදීහු අජින තෙරුන්ට “අප්‍රකට වූවෙකු”යි අවමන් කළහ. උන්වහන්සේ එම භික්‍ෂූන්ට සංවේග උපදවමින් මේ ගාථා දෙක වදාළහ.
“අපි චෙ හොති තෙවිජ්ජො මච්චුහායී අනාසවො,
අප්පඤ්ඤාතොති නං බාලා අවජානන්ති අජානනා”
“යො ච ඛො අන්නපානස්ස ලාභී හොතීධ පුග්ගලො,
පාපධම්මොපි චෙ හොති සො නෙසං හොති සක්කතො”
එහි “අපි” යනු සම්භාවනාර්ථයේ නිපාතයකි. “චෙ” යනු පරිකල්පනාර්ථයේ නිපාතයකි. “හොති” වේ මොහුට ත්‍රිවිද්‍යාව ඇත යන අරුතින් “තෙවිජ්ජො” නම් වේ. මරණය නවතාලූයේය යන අරුතින් “මච්චුහායී” නම් වේ. කාමාදී ආශ්‍රව නොමැති නිසා “අනාසවො” නම් වේ. මෙහි අරුත මෙසේ දතයුතුයි. දිව්‍ය චක්‍ෂුඥානය, පුබ්බේ නිවාසානුස්සති ඥානය, අසවක්‍ෂය ඥානය යන මේ ත්‍රිවිද්‍යාව. අවබෝධ කරගත් බැවින් තේවිජ්ජ නම් වූ, එසේ ම සියලු කාමාදී ආශ්‍රව ක්‍ෂය කළ බැවින් අනාශ්‍රව නම් වූ නැවත අනාගත උත්පත්තියක් නොමැති බැවින් මරණාදියෙන් තොරවූ නිසා මච්චුනායී නම් වේ. ඉදින් මෙසේ ගුණමහිම පැවතියත් මෝඩයෝ මැනවින් ගිහිගෙයින් නික්ම, අනගාරී සසුනෙහි පැවිදිවේ ද ඒ අර්ථයක් සඳහා කුලපුත්‍රයෝ මැනවින් ගිහිගෙයින් නික්ම, අනගාරී සසුනෙහි පැවිදිවේ ද ඒ අර්ථයට මනාව පැමිණියා වූ උතුම් පුරුෂයා, “ධුතවාදියෙකි”, “බහුශ්‍රැතයෙකි”, “ධර්මකථිකයෙකි” යනුවෙන් කීර්ති ප්‍රශංසාදියක් නොමැති හෙයින් “අප්‍රකටයෙකි” “සැඟවුණු කෙනෙකි” යි බාලයෝ හා මෝඩ - අනුවණ පුද්ගලයෝ අවමන් කරති. කුමක් නිසා ද? “අජානනා” නොදන්නා බැවිණි. “ගුණයන්ගේ නොදැනීමෙන් ම මෙ කරුණ සිදුවේ” යැයි දක්වයි.
ඒ උතුමන්ගේ ගුණ නොදන්නා බැවින් බාලයෝ ලාභ - කීර්ති මත පිහිටා ගරු කළ යුත්තන්ට අවමන් කරති. මෙසේ ගුණ නොදැනීමෙන් ලාභාදිය ගරු කරන්නන්ට ම මෙසෙ අවමන් කළ යුතු යැයි දක්වමින් දෙවැනි ගාථාව පවසන ලදි. එහි “යො” යනු අනියමාර්ථ වචනයකි. යමෙක්, “ච” ශබ්දය වැඩි ශබ්දයකි. ඉන් මුලින් පැවසූ පුද්ගලයාම, ඒ පුද්ගලයා පිළිබඳව ම විශේෂයක් ඇති කරයි. “ඛො” යනු අවධාරණාර්ථයේ නිපාතයකි. “අන්නපානස්ස” යනු නිදසුනක් - දැක්වීම පමණි. ආහාර පානාදියක් “ලාභී” ලබන්නේ හෝ වේද, “ඉධ” මේ ලෝකයේ ජරාමරණ දෙකින් ඒ ඒ සත්තාවාසයන් පුරවන බැවින් වගුරුවන බැවින් “පුග්ගල” නම් වේ. “පාපධම්මො” ලාමක පවිටු දහම් ඇති, මෙහි අර්ථ මෙසේ දත යුතුයි, - “යම් පුද්ගලයෙක් චීවරා දී ප්‍රත්‍ය පමණක්ම ලබන්නේ ද ධ්‍යානාදියක් නොලබන්නේ ද, ඔහු පවිටු බැවින් ද දුසිල් බැවින් ද හීන වූ ධර්ම ඇති බැවින් ද මේ ලෝකයේ වෙසෙන මෝඩයන්ගේ ලාභගරු බවට, සත්කාර කිරීමට, ගරුකිරීමට පත්වේ. ලක්වේ.”