ගඞ්ගාතීරිය ස්ථවිරගාථා වර්ණනාව
“තිණ්ණං මෙ තාලපත්තානං” යන මේ ගාථාව ආයුෂ්මත් ගංගාතීරිය තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ පෙර පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක උපන්හ. වියපත් ඒ සිටුකුමරු බුදුසසුනෙහි දැඩිව පැහැදී භික්ෂු සංඝයාට පැන් පූජා කළේය. ඒ පින්කම් විපාක වශයෙන් දෙව්ලොව උපන් හෙතෙම, තව තවත් පින්දහම් සිදුකරමින් දෙව් මිනිස් දෙගතියෙහි ම සැරිසරා, මේ බුද්ධෝත්පාද කාලයේ දී සැවැත් නුවර එක්තරා ගහපතියකුගේ පුතු ව ඉපිද, “දත්ත” නමින් ප්‍රකට විය. වැඩිවියට පත් එකුමරු ගිහිගෙයි වසන්නේ පරලොවක්, සසර ගමනක් ඇති බව නොදැන සමාජ නීති ඉක්මවා හැසිරුනේය. නමුත් නැවත සසර ගමනක් ඇති බව දැන උපන් සංවේග ඇති දත්ත සිටුකුමරු බුදුසසුනේ පැවිදිව, තමාගේ පෙර ක්‍රියා පිළිකුල් කරමින් ඉතා දැඩි රූක්ෂ ප්රතිපත්තිවල පිහිටියේ ය. දත්ත හිමියෝ පාංශුකූල සිවුරු පමණක් ම පෙරවූහ. මිනීවලට දිය ඉසින බඳුනක් වැනි මැටි පාත්‍රයක් රැගෙන ගංගාතීරයට වැඩම කළ උන්වහන්සේ එහි තල් පත්‍ර තුනකින් කුටියක් සාදාගෙන වාසය කළහ. එනිසා උන්වහන්සේ “ගංගාතීරිය” නමින් ප්‍රකට වූහ. උන්වහන්සේ “රහත් බවට පත්වන තෙක්ම මම කිසිවකු හා කථා නොකරමි” යි යන අධිෂ්ඨානයෙන්, වසරක් ම නිශ්ශබ්දව වචීභේද නොකර ම විසූහ. දෙවැනි වසරේ දී පිඬුපිණිස යන ගමෙහි එක් ස්ත්‍රියක්, “මෙහිමියෝ ගොළුවූවෙක්දැ?යි විමසනු කැමැත්තී පාත්‍රයට කිරි වත්කරන්නී අතින් සංඥා කළ මුත් පාත්‍රය උතුරායන තෙක් කිරි වත් කරන්නට විය. එවිට ගංගාතීරිය හිමියෝ, “නැගණියෙනි! දැන් ඇති” යි පැවසූහ. මෙසේ හික්මුණු උන්වහන්සේ තෙවැනි වසරේ වස්කාලය තුල දී වෑයම් කර, උත්සාහ කර රහත්බවට පත්වූහ. අපදාන පාළියේ උන්වහන්සේ මෙසේ පැවසූහ.
“මම පදුමුත්තර බුදුරදුන්ගේ අනුත්තර වූ භික්ෂු සංඝයා කෙරෙහි පහන් සිත් ඇත්තෙම්, සොම්නස් වූයේම පැන්කළයක් පිදුයෙමි.
පර්වත මුදුනෙහි හෝ ගස් මුදුනක හෝ අහසෙහි හෝ පොළවෙහි හෝ යම් කලෙක පැන් කැමති වූ මා හට පැන් ලැබේ.
මීට කල්ප ලක්ෂයකට පෙර යම්බඳු පැන් දානයක් දුන්නෙම් ද ඒ හේතුවෙන් මේ දක්වා ම දුගතියක නූපන්නමෙි. පැන් පිදීමේ විපාකය මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත් බවට පත් වූ උන්වහන්සේ, තමාගේ පූර්ව භාග ප්‍රතිපත්තිය ප්‍රකට කිරීම සඳහා රහත් බව ප්‍රකාශ කරන සේක්, මේ ගාථා දෙක වදාළහ.
“තිණ්ණං මෙ තාලපත්තානං ගංගාතීරෙ කුටී කතා,
ඡවසිත්තොව මෙ පත්තො පංසුකූලං ච චීවරං”
ඡවසිත්තොව මෙ පත්තො පංසුකූලං ච චීවරං”
“ද්වින්නං අන්තරවස්සානං එකා වාචා මෙ භාසිතා,
තතියෙ අන්තරවස්සම්හි තමොක්ඛන්ධො පදාළිතො”
තතියෙ අන්තරවස්සම්හි තමොක්ඛන්ධො පදාළිතො”
එහි “තිණ්ණං මෙ තාලපත්තානං ගංගාතීරෙ කුටී කතා” යනු තල් ගසින් වැටුණු තල් කොළ තුනකින් මාහට වැස්සෙන් වන උවදුරු, දුරුකර ගැනීමට ගඟ ඉවුරෙහි කුටියක් සාදාගත්තෙමි. මේ ප්‍රකාශයෙන් තමාගේ සෙනසුන පිළිබඳ තෘප්තිමත් භාවය සතුටුවීම දක්වයි. දම්සෙනෙවි සැරියුත් තෙරණුවෝ මෙසේ වදාළහ.
“පල්ලඞ්කෙන නිසින්නස්ස ජන්නුකෙ නාභිවස්සති,
අලං ඵාසු විහාරාය පහිතත්තස්ස භික්ඛුනො”
අලං ඵාසු විහාරාය පහිතත්තස්ස භික්ඛුනො”
“පලක් බැඳ හුන්නා වූ ධ්‍යාන වඩන භික්ෂුවගේ දණමඬල දක්වා වූ ප්‍රදේශය නොතෙමේ නම්, එය උන්වහන්සේට පහසු විහරණයකි.”
ඇතැම්හු “තාලපත්තීනං” යන පාඨය දක්වති. එහි ද මේ අර්ථයම ඇත. “ඡවසිත්තොව මෙ පත්තො” යනු මගේ පාත්‍රය මිනීවලට දිය - කිරි ඉසින බඳුනක් වැනිය. මළවුන්ගේ සිරුරට කිරිදිය ඉසින කුඩා බඳුනක් වැනිය. “පංසුකූලං ච චීවරං” මේ මගේ සිවුර ද අතරමග, සොහොන් ආදියේ අත්හැර දැමූ රෙදිකඩවලින් සාදාගත් පාංශුකූලයකි. මේ දෙපදයෙන් උන්වහන්සේගේ පිරිකර ආහාර - වස්ත්‍ර ලැබී මෙහි තෘප්තිමත් භාවය දක්වයි.
“ද්වින්නං අන්තර වස්සානං” පැවිදිව වසර දෙකක් තුල දී රහත්බවට පත් වූ වසරේදී “එකා වාචා මෙ භාසිතා” එකම වදනක් “නැගණියෙනි! ඇති” යන කිරි ප්‍රතික්ෂේප කිරීම සඳහා වූ එකම වචනයක් මවිසින් පවසන ලදි. මා හට වෙනත් කිසිදු වාග් භේදයක් සිදුනොවිණි. මෙම ප්‍රකාශයෙන් උසස් බවට ගිය කාය - වාග් සංවරබව දක්වයි. “තතියෙ අන්තරවස්සම්හී” තෙවැනි (පැවිද්දෙන්) වසර තුළදීම එය නිමවීමට පෙරදීම “තමොක්ඛන්ධො පදාළිතො” යනු “ආර්ය මාර්ගයේ ගමන් කිරීමෙන් මම මෝහ නැමති කෙලෙස් කඳ බිඳ දැමුවෙමි. අවිද්‍යාදී අනුසයන් මුලිනුපුටා දැමුවෙමි” යන අදහසයි. මේ පදයෙන් මුලුමනින් ම කෙලෙස් නසා අර්හත් ඵලය සාක්ෂාත් කළ බව පවසයි.
ගංගාතීරිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
අජින ස්ථවිරගාථා වර්ණනාව
“අපිචෙහොති තෙවිජ්ජො” යනු ආයුෂ්මත් අජින තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී පින් රැස් කරමින් පැමිණි උන්වහන්සේ, එක් බුද්ධශූන්‍ය වූ කාලයක (ලොව) සිටුගෙයක උපන්හ. වැඩිවියට පත් ඒ සිටුකුමරු කිසියම් කටයුත්තකට කැළයට ගියවිට, එහි දී “සුචිත්තිත” නම් පසේ බුදුරජාණන් වහන්සේ අසනීප වී වැඩ හිඳිනු දැක - සමීපයට ගොස් වැඳ පැහැදුණු සිතින් බෙහෙත් සඳහා ගිතෙල් ස්වල්පයක් පිළිගැන්වීය. ඒ පින්කමේ විපාක ලෙස දෙව් ලොව ඉපිද තව තවත් පින්දහම් සිදුකර කාමසුගතීන් හි ම සැරිසරා, මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර එක් දිළිඳු බමුණකුට දාව බැමිණියගේ කුස පිළිසිඳ ගත්තේය. එකුමරු බිහිවන මොහොතෙහි අඳුන් දිවි සමකින් පිළිගත් බැවින් “අජින” නාමය තබනලදි. ඔහු භවභෝග ලැබීමට නිසි පිනක් නොකළ බැවින් දිළිඳු පවුලක ඉපදී, වැඩිවියට පත්වුවත් අල්ප වූ ආහාර පාන ඇති බැවින් ඔබිනොබ ඇවිදගියේය. එවිට ජේතවනාරාමය පිළිගන්නා අවස්ථාවෙහි බුද්ධානුභාවය දැකීමෙන් හටගත් ශ්‍රද්ධාව නිසා බුදුසසුනේ පැවිදිවූ හෙතෙම විදසුන් කමටහන් වඩා නොබෝ දිනකින් ම ෂඩ් අභිඥාලාභී විය. අපදාන පාළියේ අජින තෙරණුවෝ මෙසේ සිය චරිතාපදානය දැක්වූහ -