වලලිය ස්ථවිරගාථා වර්ණනාව
“මක්කටො පඤ්චද්වාරාය” යනු ආයුෂ්මත් වල්ලිය තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි දී කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී පින්දහම් සිදුකරගත්හ. මෙයින් කල්ප තිස් එකකට පෙරදී සිටුගෙයක ඉපිද වැඩිවිය පත් වූ හෙතෙම, එක් දිනක් කිසියම් කටයුත්තතකට ආරණ්‍යයට ගියේ එහි දී නාරද නම් පසේ බුදුරජාණන් වහන්සේ රුක් මුල වැඩහිඳුනු දැක පැහැදුණු සිතින් බටවලින් ශාලාවක් සාදා තණපතින් එය වසා පූජා කළේය. සක්මන් කරන තැන ද සෝදා පවිත්‍රකර, වැලි ඇතිරුවේය. ඒ පින්කම නිසා දිව්‍යමානුෂික කාමසුගතීන් හි ම සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේ දී සැවැත් නුවර බමුණු මහසල් කුලයක ඉපිද, “වල්ලිය” යන නමින් ප්‍රකට විය. වැඩිවියට පත් වල්ලිය බමුණු කුමරු යොවුන් බවින් මත් ව ඉඳුරන් පිනවමින් හැසිරෙන කල්හි කල්‍යාණමිත්‍රාශ්‍රය නිසා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ ධර්‍මශ්‍රවණය කළේය. ලැබූ ශ්‍රද්ධා ඇතිව සසුනේ පැවිදි වූ වල්ලිය තෙරුන් නොබෝ කලකින් ම රහත්බවට පත්වූයේය. අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ පවසති.
“හිමවතට නුදුරෙහි හාරිත නම් පර්වතයක් විය. එකල්හි ලොව දතයුතු සියල්ල තමාම මැනවින් දැනගත් නාරද නම් පසේ බුදුරජාණන් වහන්සේ රුක්මුලක වැඩවිසූහ.
උන්වහන්සේට බටවලින් කුටියක් කරවා, එය තණපතින් හා බටකොළවලින් සෙවෙලි කොට වසා, සක්මන් මළුව ද පිරිසිදු කරවා පිදුවෙමි.
මැනවින් කරන ලද ඒ කර්මය හා ප්‍රාර්ථනා මහිමය නිසා මිනිස් කය හැර දැමූ මම තව්තිසාවෙහි ඉපදුනෙමි.
එහි මා හට පහළ වූ නළකිලිය නම් වූ විමානය සැට යොදුනක් උස් විය. එහි පළල යොදුන් තිසකි.
දෙව් ලොව කල්ප දාහතරක් සිත් ඇලවූ මම සැත්තෑ එක්වරක් දෙව් රජව උපන්නෙමි.
සක්විති රජව තිස් හතර වාරයක් උපන්නෙමි. මහත් වූ ප්‍රදේශ රාජ සම්පත් අසීමිතව වින්දෙමි.
ඒ මම දැන් සියලු ආකාරයෙන් උතුම් උපමා ඇති ධර්ම නම් ප්‍රාසාදයට නැගී ශාක්‍ය පුත්‍ර වූ බුදුරදුන්ගේ සසුනෙහි සුවසේ කැමති සේ වෙසෙමි.
මීට කල්ප තිස් එකකට පෙර යම් කුසල කර්මයක් කළෙම් ද එදා සිට මේ දක්වා දුගතියක නූපන්නෙමි. නළ කුටියක් පිදීමේ විපාක මෙබඳුය,
“දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
රහත්බවට පත් වූ වල්ලිය තෙරණුවෝ, පෙර තමා පුහුදුන් අවස්ථාවෙහි තමාගේ සිතේ පැවති රූපාදී අරමුණුවල කැමති සේ ඇලීසිටීමේ ආශාව දැන් මේ ආර්ය මාර්ගයෙන් නැති කර, ඊට නිග්‍රහ කරනු පිණිසත් සිය රහත් බව ප්‍රකාශ කරනු පිණිසත් මෙම ගාථා දෙක වදාළහ.
“මක්කටො පඤ්චද්වාරායං කුටිකායං පසක්කිය,
ද්වාරෙන අනුපරියෙති ඝට්ටයන්තො මුහුං මුහුං”
“තිට්ඨ මක්කට මාධාවි, නහිතෙ තං යථා පුරෙ,
නිග්ගහීතොසි පඤ්ඤාය නෙව දුරා ගමිස්සසී”
එහි “ඝට්ටයන්තො” යනු තමාගේ ලොල්බව නිසා ගසේ එක් අත්තක් හැර දමන විට ම තව අත්තක් අල්ලාගනිමින් නොයෙක් වර ඒ ගසේම එල්ලී සිටින ඵල කැමති වඳුරා මෙන් ඒ ඒ ඇස ආදී දොරටුවලින් රූපාදී අරමුණු එකක් මිදුන විට තව එකක් ගනිමින්, චිත්ත සන්තානයේ සමාධිගතවීම් වශයෙන් නිශ්චලව සිටීමට නොහැකිව, අසමත් ව නිතරම ගැටෙමින් - සැලෙමින් එම රූපාදී අරමුණුවල ම පෙරලෙමින් කැමතිසේ හැසිරෙයි. වර්තමානයට සමීප බැවින් මෙහි දී වත්තමාන විභක්තිය යොදන ලදි. මෙසේ “එහෙ - මෙහෙ යමින් ම සිටින වඳුර! එක තැනක සිටුව, නොදුවන්න, සිත නම් වඳුර! දැන් සිටුව, අරමුණු පසුපස නොදුවන්න. මෙතැන් සිට ඔබට දිවීමට නොහැකිය”, කුමක් නිසා ද? “නහි තෙ තං යථා පුරෙ” නුඹගේ ඒ කිළිය පෙර සේ නැත. ඒ ආත්මභාවය නම් ගෙය පෙර මෙන්, ඇසුරු කිරීමට නුඹට නොහැක්කෙහිය. එහි දොරටු වැසු බැවිනි. කිසිවක් යටපත් කරන, නසන ලද්දෙහි තමා ම දැන් තම ප්‍රඥාවෙන් ද මාර්ග ප්‍රඥාවෙන් ද කෙලෙස් රැස්කිරීම - සංස්කරණය කිරීම නම් වූ උපාදානයන්ගේ සිඳීමෙන්, අතිශයින් ම නිග්‍රහ කිරීමට පැමිණියෙහි ද එනිසා ඉතා දුර නො යන්නෙහි! මේ ආත්ම භාවයෙන් දුරට හෙවත් දෙවැනි ආත්ම භාවයකට නොයන්නෙහිය. “නුඹගේ ගමන මේ ජීවිතයේ අවසන් සිත පහළවීම දක්වා පමණි” යන අර්ථය දක්වයි. ඇතැම් හු මෙම අර්ථය ම ඇති “නෙතෙ දූරං” යන පාඨය ද දක්වති.
වල්ලිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
ගඞ්ගාතීරිය ස්ථවිරගාථා වර්ණනාව
“තිණ්ණං මෙ තාලපත්තානං” යන මේ ගාථාව ආයුෂ්මත් ගංගාතීරිය තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ පෙර පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක උපන්හ. වියපත් ඒ සිටුකුමරු බුදුසසුනෙහි දැඩිව පැහැදී භික්‍ෂු සංඝයාට පැන් පූජා කළේය. ඒ පින්කම් විපාක වශයෙන් දෙව්ලොව උපන් හෙතෙම, තව තවත් පින්දහම් සිදුකරමින් දෙව් මිනිස් දෙගතියෙහි ම සැරිසරා, මේ බුද්ධෝත්පාද කාලයේ දී සැවැත් නුවර එක්තරා ගහපතියකුගේ පුතු ව ඉපිද, “දත්ත” නමින් ප්‍රකට විය. වැඩිවියට පත් එකුමරු ගිහිගෙයි වසන්නේ පරලොවක්, සසර ගමනක් ඇති බව නොදැන සමාජ නීති ඉක්මවා හැසිරුනේය. නමුත් නැවත සසර ගමනක් ඇති බව දැන උපන් සංවේග ඇති දත්ත සිටුකුමරු බුදුසසුනේ පැවිදිව, තමාගේ පෙර ක්‍රියා පිළිකුල් කරමින් ඉතා දැඩි රූක්‍ෂ ප්‍රතිපත්තිවල පිහිටියේ ය. දත්ත හිමියෝ පාංශුකූල සිවුරු පමණක් ම පෙරවූහ. මිනීවලට දිය ඉසින බඳුනක් වැනි මැටි පාත්‍රයක් රැගෙන ගංගාතීරයට වැඩම කළ උන්වහන්සේ එහි තල් පත්‍ර තුනකින් කුටියක් සාදාගෙන වාසය කළහ. එනිසා උන්වහන්සේ “ගංගාතීරිය” නමින් ප්‍රකට වූහ. උන්වහන්සේ “රහත් බවට පත්වන තෙක්ම මම කිසිවකු හා කථා නොකරමි” යි යන අධිෂ්ඨානයෙන්, වසරක් ම නිශ්ශබ්දව වචීභේද නොකර ම විසූහ. දෙවැනි වසරේ දී පිඬුපිණිස යන ගමෙහි එක් ස්ත්‍රියක්, “මෙහිමියෝ ගොළුවූවෙක්දැ?යි විමසනු කැමැත්තී පාත්‍රයට කිරි වත්කරන්නී අතින් සංඥා කළ මුත් පාත්‍රය උතුරායන තෙක් කිරි වත් කරන්නට විය. එවිට ගංගාතීරිය හිමියෝ, “නැගණියෙනි! දැන් ඇති” යි පැවසූහ. මෙසේ හික්මුණු උන්වහන්සේ තෙවැනි වසරේ වස්කාලය තුල දී වෑයම් කර, උත්සාහ කර රහත්බවට පත්වූහ. අපදාන පාළියේ උන්වහන්සේ මෙසේ පැවසූහ.