පිණ්ඩෝලභාරද්වාජ ස්ථවිරගාථා වර්ණනාව
“නයිදං අනයෙන” යනු ආයුෂ්මත් පිණ්ඩෝල භාරද්වාජ තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයේ සිංහ රාජයෙක් ව උපන් පිණ්ඩෝල භාරද්වාර හිමි, එක් පර්වත ගුහාවක විසීය. භාග්‍යවතුන් වහන්සේ එම සිංහරාජයාට අනුග්‍රහ පිණිස, ඌ ගොදුරු පිණිස පිටතගිය වේලාවෙහි නිදන ගුහාවට වැඩමවා, නිරෝධ සමාපත්තියට සමවැදුනහ. සිංහයා ගොදුරු ගෙන ගුහාවට පැමිණ, ගුහා දොරකඩ දී භාග්‍යවතුන් වහන්සේ දැක සතුටු සිතින් දිය - ගොඩ හටගත් මලින් උන්වහන්සේ පුදා සිත්පහදවා ගෙන; උන්වහන්සේ ආරක්ෂා කරමින් සෙසු නපුරු වල් සතුන් එලවා දැමීම සඳහා තුන් වේලෙහිම සිංහ නාද පවත්වමින් බුදුගුණ මෙනෙහි කරමින් සිටියේ ය. පළමු දින මෙන් ම සත් දිනක් ම මෙසේ පූජා පැවැත් වූ පසු, සත්දින ගෙවීයාමෙන් සමවතින් නැගීසිටි භාග්‍යවතුන් වහන්සේ “මොහුට උපනිශ්‍රය සම්පත් සඳහා මෙපමණක්ම සෑහේ” යැයි දැන, සිංහයා බලා සිටියදීම අහසින් විහාරයට වැඩිසේක. පාරිලෙය්‍ය ඇතා මෙන් සිංහයාට ද බුදුරදුන්ගෙන් වියෝවීම ඉවසාගත නොහැකිව කළුරිය කළේය. මියගිය සිංහයා තිරිසන් භවයෙන් මිදී හංසවතී නුවර මහත් සම්පත් ඇති සිටු පවුලක ඉපිද වැඩිවියට පැමිණ නුවර වැසියන් සමග විහාරයට ගොස් ධර්මශ්රවණය කළේය. සත්දිනක් මහදන් පවත්වා දිවි ඇති තාක් පින්දහම් සිදුකළ හෙතෙම ඒ ඒ දිව්‍ය - මානුෂික වූ කාම භවයන් හි සැරිසරා අවුත්; අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී කොසඹෑවේ රජ වූ උදේනි රජුගේ පුරෝහිතයාගේ පුතුව ඉපදුණි. ඔහු “භාරද්වාජ” නමින් ප්‍රකට විය. වියටපත් ඒ බමුණු කුමරු, ත්‍රිවේද පාරගතව පන්සීයක් පමණ බමුණු කුමරුවන්ට වේදය උගන්වනුයේ, පිරිස මහත් බැවින් සමීපයේ විසීම අසීරුව, ඒ පිරිස හැරදමා රජගහනුවරට ගියේය. එහිදී භාග්‍යවතුන් වහන්සේට හා භික්ෂු මහා සංඝරත්නයට උපන් ලාභ සත්කාර දැක සසුනේ පැවිදි වූ හෙතෙම භෝජනයෙහි පමණ නොදැක මංමුලාව හැසිරෙන කල් හි, ශාස්තෲන් වහන්සේ විසින් උපායෙන් ද භාරද්වාජ උපතින් ම නුවණැති බැවින් ද විදසුනෙහි සිත පිහිටුවන ලදි. නොබෝ දිනකින් ම භාරද්වාජ හිමියෝ ෂඩ්අභිඥාලාභී මහරහතන් වහන්සේ නමක් වූහ. උන්වහන්සේ අපදාන පාළියේ දී මෙසේ පැවසූහ.
“පෙර මම මුව වැද්දෙක් වූයෙමි. වනයේ හැසිරෙමින් සිටි මම සියලු ධර්මයන් හි පරතෙරට ගිය කෙලෙස් දූවිලි පිසදැමූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
පියල් ගෙඩියක් ගෙන පැහැදුණු සිතින් පින්කෙත වූ වීර වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට පිදුවෙමි.
මීට කල්ප තිස් එකකට පෙර යම් ඵල දානයේ විපාකය මෙබඳුය.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි, -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
ෂඩ් අභිඥාලාභී වූ භාරද්වාජ තෙරණුවෝ, භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි (හමුවෙහි) “ශ්‍රාවකයන් විසින් පත්විය යුතු තත්ත්වයට (ඵලයට) මා පත්වූයෙමි. ශාසන බඹසරෙහි අග්‍රඵලය ලබාගත්තෙමි.” යි පවසා භික්ෂු සංඝයාට “යමකුට ආර්ය මාර්ගයෙහි හෝ ඵලයන්හි සැකයක් වේනම් ඔවුහු මා විමසත්වා! මගෙන් ඒ පිළිබඳ අසත්වා!” යි පවසමින් සිංහනාද පැවැත්වූහ. ඒ නිමිතිකරගෙන භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි! මාගේ භික්ෂු මහා ශ්‍රාවකයන් අතුරින් සිංහනාද කර භික්ෂූන් ගේ අග්‍රස්ථානයට මේ පිණ්ඩෝල භාරද්වාජ තෙරණුවෝ සුදුසු වෙති”යි අග්‍රස්ථානයෙහි තැබූසේක. එක් දිනක් උන්වහන්සේ තමා ළඟට පැමිණියා වූ පෙර ගිහිව සිටිය දී යහලුවෙකු වූ තද මසුරු මිසදිටුගත් බමුණකුට අනුකම්පා කරමින් දාන කථාවෙන් ධර්මදේශනා කළසේක. ඒ දෙසුම ඇසූ බමුණා, “මොහු මගේ ධනය විනාශ කරනු කැමැත්තෙකි”යි බැම හකුළුවා ගෙන “නුඹ වහන්සේට එක බතක් දෙමි”යි කීවේය. එවිට තෙරණුවෝ “ඒ බත සංඝයාට දෙන්න. මා හට නොදෙන්න”යි වදාරා සංඝයාට දන් පිරිනැමූහ. එය ඇසූ බමුණා, නැවත “මෙතෙම මගේ ධනය බොහෝ දෙනෙකුට දීමට කැමති වේ” යැයි අප්‍රසාදය ප්‍රකාශ කළේය. දෙවැනි දිනයෙ (ඊට පසු දින) ධර්ම සේනාපති සැරියුත් තෙරණුවෝ සංඝයාට පිරිනැමූ දක්ෂිණාවෙන් මහත් භල ලැබෙන බව පෙන්වා ඒ බමුණා පැහැදවූහ. පිණ්ඩෝල භාරද්වාජ තෙරණුවෝ “මේ බමුණ මා ආහාරයට ඇති ගිජුබව නිසා දන් දීමට යොදවන ලදැයි සිතයි. ආහාරය පිළිබඳ මා යථා ස්වභාවයෙන් පිරිසිඳ දත් බව නොදනියි. එය ඔහුට පවසමි” යි මේ ගාථා දෙක ප්‍රකාශ කළහ.
“නයිදං අනයෙන ජීවිතං, නාහාරො හදයස්ස සන්තිකො,
ආහාරට්ඨිතිකො සමුස්සයො, ඉති දිස්වාන චරාමි එසනං”
ආහාරට්ඨිතිකො සමුස්සයො, ඉති දිස්වාන චරාමි එසනං”
“පඞ්කොති හි නං අවෙදයුං, යායං වන්දනපූජනා කුලෙසු,
සුඛුමං සල්ලං දුරුබ්බහං, සක්කාරො කාපුරිසෙන දුජ්ජහො.”
සුඛුමං සල්ලං දුරුබ්බහං, සක්කාරො කාපුරිසෙන දුජ්ජහො.”
එහි “නයිදං අනයෙන ජීවිතං” මේ මාගේ ජීවිත පැවැත්ම අන්‍යය වූ වේළුදාන පුෂ්පදානාදී නුසුදුසු ආකාරයකින් නො සිදුවේ. ජීවිතය පිළිබඳ දැඩි ආශාවක් මට නැති බැවිනි. “නාහාරො හදයස්ස සන්තිකො” ආහාරය මා අවබෝධ කරගත් මගඵල නුවණ මෙන් සිතේ ශාන්තිය ඇති නොකරයි. හුදෙක් මහා බඩගින්න (කුසගින්න) නිවීම පමණක් ආහාරයෙන් සිදුවේ යන අදහසයි. නැතහොත් “නාහාරො හදයස්ස සන්තිකො” යනු ආහාරය රස තෘෂ්ණා වශයෙන් මගේ හදවතට, සිතට ඇලීමක් ශාන්තියක් ඇති නොකරයි, මා හට රස තෘෂ්ණාවක් නැති හෙයිණි, ඇතැම්හු “සන්තිකෙ” යැයි ද කියති. ආහාරයට ගිජු වූ ගිහියෝ ලාභසත්කාරවලට ඇලී හැසිරේ. ඔවුන්ට ආහාරය සිතට ශාන්තිය එළවයි, සැප ගෙනදෙයි නිතර ඒ පිළිබඳ සිහිපත් කළයුතු හෙයිනි. යමෙක් ආහාරය ඔවුන්ගේ සිතට ශාන්තිය ඇති නොකරයි. කෙසේ නම් ආහාර ලබම්දැයි සිහිකිරීමක් ඔවුන්ට නොමැති බැවිනි, “ඉදින් ජීවත්වීමේ දැඩි ආශාවක් ද තණ්හාවක් ද නැතිනම් කුමක් හෙයින් පිඬුපිණිස හැසිරේද? යන චෝදනාව සිහිකර මෙසේ පවසයි. “ආහාරට්ඨිතිකො සමුස්සයො ඉති දිස්වාන චරාමි එසනං” මේ ශරීරය ආහාරය නිසා පවතීනුයි “ආහාරට්ඨිතික” (ආහාරස්ථිතික) නම් වේ. “මේ ශරීරය ආහාරය සමඟ බැඳුණු පැවතුම් ඇත්තකි” යි දැක, දැක “එම අදහස සිතේ තබාගෙන හැසිරෙමි. එලෙසින් භික්ෂා සෙවීම කරන්නෙමි” යන අදහසයි. සිවුපසය නිමිත්තෙන් කුලයන් වෙත පැමිණෙන මා වැන්නෝ එහිදී සිදුවන වැඳුම් පිදුම් ලාභසත්කාර ආදියෙහි බැඳී - ඇලී සිටින්නෝ යැයි නොසිතිය යුතුයැයි දක්වමින් “පඞ්කො” යන ගාථාව පැවසූහ. එහි අර්ථය මෙසේය.