සාරිපුත්ත ස්ථවිරගාථා වර්ණනාව
යථාචාරි යථාසතො ආදී වූ ගාථාවන් ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේගේය. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන්ගේ ද කථා වස්තුව මෙසේ දතයුතුයි. අතීතයෙහි ශතසහශ්‍රාධික කල්ප අසංඛ්‍යයකට මත්තෙහි ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ බ්‍රාහ්මණ මහාසාල කුලයක ඉපිද නමින් සරද නම් වූ මානවකයෙක් විය. මහමුගලන් තෙරුන් වහන්සේ ගහපති මහාසාල කුලයෙහි ඉපිද නමින් සිරිවඩ්ඪ නම් කෙළෙඹි පුත්‍රයෙක් විය. ඔවුන් දෙදෙනාම වැලිකෙළියේ පටන්ම මිත්‍රයෝ වූහ. ඔවුන් අතුරින් සරද මානවයා පියාගේ ඇවෑමෙන් කුලයට හිමි ධනය ගැන සිතා එක්දිනක් හුදෙකලාව සිට මෙසේ කල්පනා කළේය. මේ සත්ත්වයන්ට වනාහි මරණය ඒකාත්තයි. ඒ නිසා මා විසින් එක් පැවිදි කෙනෙක් වෙත ගොස් මොක්‍ෂ මාර්ගය සෙවිය යුතුයැයි මිත්‍රයා වෙත පැමිණ ‘මම පැවිදිවනු කැමැති වෙමි. කිම නුඹටත් පැවිදිවන්න හැකිදැයි ඇසීය. ඔහු විසින් නොහැකියයි කීකල්හි, වේවා! මම පැවිදි වෙමියි රන් ගබඩා විවෘත කර දුගීමගී යාචකාදීන්ට මහදන් දී පර්වතයක් පාමුළට ගොස් ඍෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදි විය. ඔහුත් සමග එකට පැවිදි වූ බ්‍රාහ්මණ පුත්‍රයෝ හැත්තෑහතර දහසක් වූහ. ඔහු පංච අභිඥාවන්ද අෂ්ට සමාපත්තිද උපදවා ඒ ජටිලයන්ටද කසිණ භාවනා පරිකර්මයන් ඉගැන්වීය. ඒ සියල්ලෝද පංච අභිඥා අෂ්ට සමාපත්ති උපදවා ගත්හ.
ඒ කාලයෙහි අනෝමදස්සී නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළව පවත්වන ලද උතුම් දම්සක් ඇත්තේ සත්ත්වයන්ව සංසාර මහා ජලකඳෙන් එතෙර කරන්නේ එක්දිනක් සරද තාපසයාණන්ටත් ඔහුගේ අතවැසියන්ටත් සංග්‍රහයක් කරන්නෙමියි තනිවම පාසිවුරු ගෙන අහසින් ගොස් ‘මාගේ බුදුබව දැනගනීවා’යි තාපසයාණන්ට පෙනෙන්නටම අහසින් බැස පොළොවෙහි වැඩසිටි සේක. සරද තාපසයාණෝ බුදුසිරුරෙහි පිහිටි මහාපුරුෂ ලක්‍ෂණයන් බලා ‘සර්වඥ බුදුරජාණන් වහන්සේ නමක්’ යැයි ස්ථිරව දැනගෙන පෙරගමන්කොට අසුනක් පනවා පිළිගැන්වීය. පැනවූ අසුනෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි සේක. සරද තාපසයාණෝ බුදුන් ලග එකත්පස්ව හිඳගත්තේය.
ඒ කාලයෙහි ඔහුගේ අතවැසි හැත්තෑහතර දහසක් පමණ ජටිලයෝ ප්‍රණීත වූ ගුණ ඇති පලතුරු ගෙන පැමිණියාහු ශාස්තෲන් වහන්සේ දැක හටගත්තා වූ පැහැදීම් ඇත්තාහු තමන්ගේ ගුරුවරයාත් ශාස්තෲන් වහන්සේත් වැඩසිටි ආකාරය බලා ගුරුතුමාණෙනි! පෙර අපි ඔබවහන්සේට වඩා ලොකු කෙනෙක් නැතැයි අදහාගෙන සිටියෙමු. මේ පුද්ගලයා වනාහි ඔබවහන්සේට වඩා උසස් කෙනෙක්ද? දරුවෙනි, කුමක් කියන්නහුද? අබ ඇටයක් සමග අටසැට දහසක් යොදුන් විශාල වූ මහමෙර සමාන කරන්නට කැමැත්තහුද? සර්වඥ වූ බුදුන් හා මා සමාන නොකරව් යැයි කීය. ඉක්බිති ඒ තාපසයෝ ගුරුවරයාගේ වචනය අසා, මේ පුරිසොත්තමයෙකියි සියල්ලෝම පාලඟ වැටී බුදුන් වැන්දාහ.
ඉක්බිති ගුරුතුමා ඔවුන්ට මෙසේ කීය. දරුවෙනි! ශාස්තෲන් වහන්සේට පූජාකළ හැකි යෝග්‍ය දෙයක් අපට නැත. ශාස්තෲන් වහන්සේ පිණ්ඩපාත වේලාවෙහි මෙහි වැඩි සේක. අපේ ශක්ති පමණින් යමක් පූජා කරමු. නුඹලා විසින් ගෙනෙන ලද ප්‍රණීත ඵලාඵල ඇත. ඒවා ගෙන එන්න යැයි ගෙන්වාගෙන අත් සෝදා තමාම තථාගතයන් වහන්සේගේ පාත්‍රයෙහි පිළිගැන්වීය. ශාස්තෲන් වහන්සේ විසින් ඵලාඵල පිළිගත් අවස්ථාවේම දෙවියෝ එහි දිව්‍යඕජස් බහාලූහ. තවුසා තෙමේම ජලයද පෙරා පිළිගැන්වීය. අනතුරුව දන් වළඳා අවසන්ව වැඩසිටි කල්හි සියළුම අතවැසියන් කැඳවා බුදුන් සමීපයෙහි පිළිසඳර කථාවෙහි යෙදී සිටියහ. ශාස්තෲන් වහන්සේ අග්‍රශ්‍රාවකයන් දෙනමත් භික්‍ෂු සංඝයා සමග එනු ලැබේවායි සිතූ සේක. ඔහු බුදුන්ගේ සිතිවිල්ල දැනගෙන එකෙණෙහිම ශතසහස්‍රයක් ක්‍ෂීණාශ්‍රවයන් පිරිවරා අවුත් බුදුන් වැඳ එකත්පසෙක සිටියහ.
ඉක්බිති සරද තාපසතුමා අතවැසියන් ඇමතීය. දරුවෙනි! ශාස්තෲන් වහන්සේටත් මහා සංඝරත්නටත් මල් ආසනවලින් පිදිය යුතුයි. ඒ නිසා මල් රැගෙන එන්න. ඔව්හු එකෙනෙහිම සෘද්ධි බලයෙන් සුවඳ හා වර්ණයෙන් යුත් මල් ගෙනවිත් බුදුන්ට යොදුනක් පමණ මල් අසුනක් පැනවූහ. අග්‍රශ්‍රාවක දෙනමට ගව් තුනක්ද සෙසු භික්‍ෂූන්ට අඩයොදුන් ප්‍රමාණ ආදියද නවක භික්‍ෂූන්ට බඹයක් පමණද අසුන් විය. මෙසේ පනවන ලද ආසනවල සරද තාපසතුමා තථාගතයන් වහන්සේගේ ඉදිරියෙහි වැඳගෙන සිට ස්වාමීනි! මට අනුග්‍රහ පිණිස මේ මල් ආසනයට නගින්න යැයි කීය. ශාස්තෲන් වහන්සේ මල් අසුනෙහි වැඩසිටි සේක. ශාස්තෲන් වහන්සේ වැඩසිටි කල්හි අගසව් දෙනමක්, ඉතිරි භික්‍ෂූහුද තමතමන්ට පැනවූ ආසනවල වැඩසිටියහ. භාග්‍යවතුන් වහන්සේ ‘ඔවුන්ට මහත්ඵල වේවා’යි නිරෝධ සමාපත්තියට සමවැදි සේක. ඒ බව දැන භික්‍ෂූහුද නිරෝධ සමාපත්තියට සමවැදුනහ. සරද තාපසතුමා දවස් හතක් නිරතුරුව බුදුන් වහන්සේට මල්කුඩයක් දරමින් සිටියහ. අනිත් අය වනමුල් ඵලාඵල අනුභවකොට ඉතිරි වේලාවෙහි බුදුන් වෙත වැඳගෙන සිටියහ.