30. තිංසතිනිපාතය
ඵුස්ස ස්ථවිරගාථා වර්ණනාව
තිස්වන නිපාතයෙහි පාසාදිකෙ බහු දිස්වා යනාදිය ආයුෂ්මත් ඵුස්ස තෙරුන්ගේ ගාථාවන්ය. මොහුද පෙර බුදුන්ගේ කාලවලදී කරන ලද ප්‍රාර්ථනා ඇත්තේ ඒ ඒ තැන්හි සසරට පිහිටවන කුසල් රැස්කොට දෙව්මිනිසුන් අතර උපදින්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් ප්‍රාදේශීය රජකුගේ පුත්‍රව උපන්නේය. ඵුස්සො ඵුසස යැයි නම්කරන ලදී. ඔහු බුද්ධිමත් වූයේ ක්‍ෂත්‍රිය කුමාරවරුන් විසින් හදාල යුතු ශිල්ප සියල්ල හදාරා වාසනා සම්පත්තිය ඇති බැවින් කාමයන්හි නොඇලෙන සිත් ඇත්තේ එක්තරා මහතෙර නමකගේ සමීපයෙහි බණ අසා හටගත් ශ්‍රද්ධා ඇත්තේ පැවිදිව චරිතයට ගැලපෙන කමටහන් ඉල්ලාගෙන භාවනාවේ යෙදෙන්නේ ධ්‍යාන උපදවාගෙන ධ්‍යානමූලික විදර්ශනාව වඩා නොබෝ කලකින්ම සයවැදෑරුම් අභිඤ්ඤාලාභියෙක් විය. ඉක්බිති එක්දිනක් පණ්ඩරස්ස ගොත්තො පණ්ඩර ගෝත්‍ර ඇති එක් තාපසයෙක් ඔහු සමීපයෙහි බණ අසා වාඩිවී සිටියේ ශීලාචාර සම්පන්න, හික්මවූ ඉඳුරන් ඇති වඩන ලද සිත කය ඇති බොහෝ භික්‍ෂූන් වහන්සේලාව දැක පැහැදි සිත ඇත්තේ ‘මේ ප්‍රතිපත්තිය ලෝකයේ බොහෝ කල් පවත්නේ නම් මැනවි යැයි සිතා, ස්වාමීනි, අනාගතයෙහි භික්‍ෂූන්ගේ ප්‍රතිපත්ති කෙසේ වන්නේදැයි තෙරුන් වහන්සේගෙන් විචාළේය. ඒ කාරණය දැන්වීමට සංගීතිකාරකයෝ
වඩන ලද සිත් ඇති සංවර වූ ප්‍රසාදජනක බොහෝදෙනෙක් දැක පණ්ඩරගෝත්‍ර ඉසිවරයා ඵුස්ස නම් ඇත්තාගෙන් විචාළේය - මේ ගාථාව මුලින් තැබූහ.
එහි පාසාදිකෙ යනු තමාගේ ප්‍රතිපත්තියෙන් පැහැදීම් ඇතිකරන. බහූ යනු බොහෝ භාවිතත්තො යනු සමථ විපස්සනා භාවනා මාර්ගයෙන් වඩන ලද සිත් ඇති සුසංවුතෙ මනාව සංවර වූ ඉන්ද්‍රියයන් ඇති ඉසී යනු තාපසයා. පණ්ඩර ගොත්තො පණ්ඩර නම් වූ සෘෂිවරයාගේ වංසයෙහි උපන් බැවින් ඒ හා සමාන ගෝත්‍ර ඇති. ඵුස්සව්හයං ඵුස්ස ශබ්දයෙන් ආමන්ත්‍රණය කළයුතු ඵුස්සනාම යැයි යන අර්ථයි.
අනාගත කාලයෙහි භික්‍ෂූන් සසුනෙහි කවරනම් අධි මුක්තියක් ඇත්තෝ වෙත්ද? කවර අභිප්‍රායක් ඇත්තෝ වෙත්ද? කවර ආකල්ප ඇත්තෝ වෙත්ද? එය මට කියන්න.
මේ ඒ සෘෂිවරයාගේ ගාථාවේ අර්ථයයි.
එහි කිංජන්‍දා යනු මේ සසුනෙහි අනාගත භික්‍ෂූහු කෙබඳු බලාපොරොත්තුවක් ඇත්තෝ වෙත්ද? කිම හීන වූ අධිමුක්තියක්ද එසේ නැතහොත් ප්‍රණීත අධිමුක්තියක්ද යන අර්ථයි. කිමධිප්පායා යනු කෙබඳු අභිප්‍රායක්ද? කෙබඳු අධ්‍යාසයක්ද? කෙලෙසුන්ගේ කිලිටිවීමක්ද නැතහොත් කෙලෙසුන්ගෙන් පිරිසිදු වීමද? එසේ නැත්නම් (ඡන්‍දා) කැමැත්ත වනාහි කරනු කැමැති බව ඒ නිසා කෙබඳු කැමැත්තක්ද? ඔවුන්ගේ කෙබඳු කරනු කැමැති බවක්ද යන අර්ථයි. අභිප්‍රාය, අධ්‍යාසය යනුයි. කිමාකප්පා කෙබඳු ආකල්පයක්ද? ආකල්ප වනාහි වෙස්ගැන්වීම ආදී චාරිත්‍ර වාරිත්‍ර ආදියයි. භවිස්සරෙ වන්නේය. තං මෙ යනු අනාගතයෙහි භික්‍ෂූන්ගේ කැමැත්ත, ආකල්ප, අභිප්‍රාය යන ප්‍රභේදයන් විචාරන්නා වූ මට අක්‍ඛාහි කියන්නයැයි තෙරුන්ගෙන් ඉල්ලීය. තෙරුන් වහන්සේ ඔහුට ඒ කාරණය කියන්නේ මනාව ඇසීමෙහි යොදවවන්ට -
‘පණ්ඩර’ නම් ඇති සෘෂිවරය! මගේ වචනය අසන්න. මනාව සිතට ගන්න. අනාගතය කියන්නෙමි - මේ ගාථාව කීය.
එහි අර්ථය භො පණ්ඩරස්ස පින්වත් පණ්ඩර නම් ඉසි සෘෂිවරය, ඔබ මගෙන් යමක් අසයිද එය ඔබට අනාගතං ආචික්‍ඛිස්සාමි කියන්නා වූ මාගේ වචනය අසන්න. අනාගත අර්ථය පැහැදිලි කිරීම් වශයෙන් සංවේගය ඇතිකරන්නහු සක්කච්චං උපධාරෙහි මනාව හිතට ගන්න.
ඉක්බිති තෙරුන් වහන්සේ අනාගතය දක්නා නුවණින් භික්‍ෂු භික්‍ෂුණීන්ගේ අනාගත පැවැත්ම ඇති පරිදි දැක ඔහු මෙසේ කියයි.
අනාගතයේ බොහෝදෙන ක්‍රෝධ කරන වෛර කරන මකු බවෙන් යුත්, අතිමානයෙන් යුත් කපටි අය වන්නාහ.
ගැඹුරු වූ ධර්මය නොදන්නා චපල වූවාහු ධර්මය කෙරෙහි ගෞරව නැත්තාහු ඔවුනොවුන් අතර ගෞරව රහිත වූවාහු වෙත්.
අනාගත ලෝකයෙහි බොහෝ ආදිනව හටගනිත්. දුර්මත ඇත්තාහු මනාකොට දෙසන ලද ධර්මය කෙලෙසත්.
සංඝයා අතර ගුණ හීන වුවෝ විශාරදයෝය. බලවන්තයෝය කියා ව්‍යවහාර කරත්. උගත්කමක් නැති මුඛරි බවෙන් යුක්ත වූවෝ බලවන්තයෝ වෙත්.
සංඝයා අතර ධර්ම අධර්ම දෙක ඇති පරිදි දක්වන්නා වූ ගුණවන්තයෝ දුර්වලයෝ වෙත්. ලජ්ජා ඇති බැවින් තමවාදය ඔප්පු කරන්ට නොගොස් නිහඬ වෙත්.
රන්රිදී ආදියත්, කුඹුරු හා ඉඩම් ගවඑළු ආදී සතුන්ද දාසිදාසයන්ද තමන්ගේ ප්‍රයෝජනය සඳහා අනාගතයේ මෝඩයෝ යොදා ගනිත්.
සීලයන්හි නොහික්මුණාහු වහා කිපෙන ස්වභාවය ඇති බාලයෝ කළහ කිරීමට ආශා කරන්නාහු අහංකාරයෙන් හැසිරෙත්.
නිල්වන් සිවුරු පොරවා නොසන්සුන් ගති ඇතිව කුහක බව, දරදඬු බව, වාචාල බව ඇත්තාහු ශෘංගාරාත්මක ආර්යයන් මෙන් හැසිරෙත්.
තෙල්වලින් හැඩගැස්වූ කෙස් ඇති චපල වූ ඇස්වල අඳුන් ගා ඇත්දළපාට හැඳගෙන පිඬු පිණිස ගමන් කරත්.