අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරගාථා වර්ණනාව
සොළස නිපාතයෙහි “එසභීය්යො” ආදී වූ ආයුෂ්මත් අඤ්ඤාත කොණ්ඩඤ්ඤ තෙරුන්ගේ ගාථාවන්ය. මොහුද පියුමතුරා (පදුමුත්තර) බුදුන්ගේ කාලයෙහි හංසවතී නගරයෙහි ගෘහපති මහාසාල කුලයෙහි ඉපිද බුද්ධියෙන් මුහුකුරා ගියේ එක් දවසක් බුදුන් සමීපයෙහි බණ අසන්නාවූ එක්තරා භික්ෂුවක් තමන්ගේ ශාසනයෙහි පළමුවෙන් ධර්මය අවබෝධ කර ගන්නවුන් අතරින් අග්රස්ථානයෙහි තබනු දැක තමා ද ඒ තනතුර ප්රාර්ථනා කරන්නට (සතසහශ්රයක්) ලක්ෂයක් භික්ෂූන් පිරිවරාගත් භාග්යවතුන් වහන්සේ දවස් හතක් මහදන් පවත්වා උතුම් ප්රාර්ථනය කළේය. භාග්යවතුන් වහන්සේ ද ඔහුගේ වාසනා සම්පත්තිය බලා පැතු සම්පත්තිය සඳහා විවරණ දුන් සේක. ඔහු දිවි ඇතිතෙක් පිංකොට ශාස්තෲන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි චෛත්යයන් පිහිටුවන්නේ ඇතුල් චෛත්යයෙහි රුවන් ගෙයක් කරවීය. චෛත්ය පිරිවරා දහසක් රුවන් ඇගෑ කරවීය.
මෙසේ පිංකොට එයින් චුතව දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ විපස්සී බුදුන්ගේ කාලයෙහි ‘මහාකාල’ නම් වූ කෙළෙඹි පුත්රයෙක්ව ඉපිද අට නැලියක් පමණ කුඹුරෙහි හැල්බඩ පලා ලබාගත් ඇල්හාලින් නොමුසු කිරිබතක් පිළියෙල කර එහි මී ගිතෙල් සකුරු ආදිය දමා බුදුන් ප්රමුඛ සංඝයාට දන් දුන්නේය. හැල්බඩ පලාගත් තැන නැවත පිරෙයි. ගොයම් මෝරණ විට පුථුකග්ග නම් අග්ර ශස්ය දානයක් දුන්නේය. ගොයම් කපන කාලයේ ලායනග්ග නම් අග්ර ශස්ය දානයක් දුන්නේය. ගොයම් අකුලන වාරයේ වෙණිකරණ නම් අග්ර ශස්ය දානයක් දුන්නේය. මිටි බඳින දවසේ කලාපග්ග නම් අග්ර ශස්යදානය දුන්නේය. වී පාහින දවසේ බටග්ග නම් අග දානයක් දුන්නේය. ගබඩා කරන දවසේ භාණඩග්ග නම් අග්ර ශස්ය දානයක් ද මණින දවසේ මිනග්ග නම් අග්ර ශස්ය දානයක්ද ගබඩාවල තැන්පත් කරන විට කොට්ඨග්ග නම් දානයක් ද දුන්නේය. මෙසේ එක ශස්ය වාරයක දී නවවරක් අග්රශස්ය දානය දුන්නේය. ඒ ශස්යය ද ප්රමාණයටත් වඩා වැඩිවිය.
මෙසේ දිවි ඇතිතෙක් පිංකොට එයින් චුතව දෙව්ලොව ඉපිද දෙවියන් අතරද මිනිසුන් අතරද සැරිසරන්නේ අපගේ භාග්යවතුන් වහන්සේට පළමුව කපිලවස්තු නගරයට නුදුරින් “ද්රෝණවත්ථු” නම් ගමෙහි බ්රාහ්මණ මහාසාර කුලයක උපන්නේය. ඔහුට පරපුරෙන් ආ කොණ්ඩඤ්ඤ යන නම ලැබින.
ඔහු වැඩිවියට පත්ව ත්රිවේදය ඉගෙන අංග ලක්ෂණ මන්ත්රයන්හිද පරතෙරට ගියේය. අපගේ බෝධිසත්ත්වයන් වහන්සේ තුසිත පුරයෙන් චුතව කපිල පුරයෙහි සුද්ධෝදන මහරජුගේ නිවසේ ඉපිද නම් තබන දවසේ ආරාධිත එකසිය අටක් බමුණන් අතරින් අටදෙනෙක් අංග ලක්ෂණ විමසා බැලීම සඳහා ආරාධනා ලැබූහ. ඔවුනතරින් සියල්ලන්ටම වඩා නවකයෙක් වූ මේ බමුණා (කොණ්ඩඤ්ඤ) බෝසතුන්ගේ අංග ලක්ෂණ පරීක්ෂාකර ඒකාන්තයෙන් මොහු බුදුවන්නේ යැයි නිගමනය කර මහ බෝසතුන්ගේ අභිනිෂ්ක්රමණය බලාපොරොත්තුවෙන් හැසිරුණේය.
බෝසතාණන් වහන්සේද මහත් පිරිවර සහිතව වැඩෙන්නේ පිළිවෙළින් වයසින් මුහුකුරා ගියේ එකුන්තිස්වන වියෙහිදී මහාභිෂ්ක්රමණය කොට අනෝමා ගංතෙරදී පැවිදිවී පිළිවෙළින් උරුවේලාවට ගොස් ප්රධන් වීර්ය වැඩීය. ඒ කාලයේ කොණ්ඩඤ්ඤ මානවකයා බෝසතුන් පැවිදි වූ බව අසා ශරීර ලක්ෂණ බැලීමට ආ බමුණන්ගේ පුත්රයන් වූ ‘වප්ප’ ආදී තමන් පස්වෙනි කොට පස් දෙනෙක් සමඟ පැවිදිව පිළිවෙළින් බෝසතුන් සමීපයට පැමිණ වර්ෂ හයක් ඔහුට උපස්ථාන කරන්නේ ඔහුගේ ඕලාරික ආහාර ගැණීම ගැන කලකිරී එතනින් නික්ම ඉසිපතනයට ගියේය. ඉක්බිති බෝධිසත්ත්වයන් වහන්සේ ඕලාරික ආහාර අනුභවයෙන් ලබන ලද කායබල ඇත්තේ වෙසක්මස පුන් පොහෝදින ඇසතු බෝමුල අපරාජිත පර්යංකයෙහි වැඩසිටියේ මාරයින් තුන්දෙනා පරාජය කර බුදු වී සති හතක්ම බෝමැඩ ගතකොට පස්වග මහණුන්ගේ නුවණ මුහුකුරා ගිය බව දැන ඇසළ පුන්පොහෝදින ඉසිපතනයට ගොස් දම්සක් පැවතුම් සුත්රාන්තය දේශනා කළ සේක. දේශනාව අවසානයෙහි කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ දහඅට කෝටියක් බ්රහ්මයන් සමඟ සෝතාපත්ති ඵලයෙහි පිහිටියේය. ඉක්බිති පස්වනි පක්ෂයෙහි අනාත්ම ලක්ෂණ සූත්රාන්ත දේශනාව අසා රහත්බවට පත්විය. අපදාන පාලියෙහි මෙසේ කියා ඇත.
ලෝකයට ශ්රේෂ්ඨ වූ විනායක වූ බුද්ධත්වයට පත් වූ පදුමුත්තර බුදුන් වහන්සේම මම පළමුවෙන් දුටුවෙමි.
බෝමුලට රැස් වූ සියලු යක්ෂයෝ බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන ඇඳිලි බැඳ වඳිති.
සතුටු සිත් ඇති ඒ සියලු දෙවිවරු අහසේ හැසිරෙත්. උන් වහන්සේ අඳුර දුරුකරන්නා වූ බුද්ධත්වයට පත් වූහ.
ප්රීතියෙන් උදම් වූ ඔවුන් අතර මහා නාදයක් පැතිර ගියේය. සම්මා සම්බුද්ධ ශාසනයෙහි කෙලෙස් නසන්නෙමු.
දෙවියන් විසින් කියන ලද මේ වචන දැනගෙන සතුටු වුයේ සතුටු සිතින් මම මුල්ම භික්ෂාව දුන්නෙමි.
ලෝකයට උතුම් වූ ශාස්තෲන් වහන්සේ මගේ ප්රාර්ථනය දැනගෙන දෙවියන් මැද වැඩ සිටිමින් මේ ගාථාව වදාළහ.
මම දවස් හතක් බෝමැඩ ගත කෙළෙමි. තුසිත දෙව්ලොවින් මෙහි අවුත් යම් ඒ කෙනෙක් බ්රහ්මචාරි මාගේ යැපීමට මේ පළමු දානය පිළිගැන්වීද ඔහු ගැන මම ප්රශංසා කරමි. මගේ වචනයට සවන් දෙන්න.
කල්ප තිස් දහසක් දේව රාජ්යය කරන්නේය. සියලු දෙවියන් පරදා දෙව්ලොව වැඩ වසන්නේය.
දෙව්ලොවින් චුතව මිනිසත් බවක් ලබන්නේය. එහි චක්රවර්ති රාජ්යය කරන්නේය.