ගෝදත්ත ස්ථවිරගාථා වර්ණනාව
“යථාපි භද්දෙ” යනු ආයුෂ්මත් ගෝදත්ත තෙරුන් වහන්සේගේ ගාථාවන් ය. ඒවායේ උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවේ කළ ප්රාර්ථනා ඇතිව, ඒ ඒ භවයේදී නිවන් පතාගෙන කුසල් දහම් රැස්කරමින් දෙව් මිනිස් දෙගතියේ සැරිසරා පැමිණිය. හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේදී සැවැත් නුවර සත්ත්වාහක කුලයේ ඉපිද “ගෝදත්ත” නමින් වැඩිවියට පත්විය. පියා කළුරිය කළ කල්හි, පවුල ආරක්ෂා කරමින් පන්සීයයක් ගැල්වලින් බඩු රැගෙන ඒ ඒ තැන හැසිර වෙළඳාමෙන් දිවිගෙවූ ගෝදත්ත පොහොසත්කම අනුව පින් ද කළේය. දිනක් අතරමඟදී ගැලේ වියෙහි යෙදූ ගොනෙකු, එය ඉසිලීමට අසමත් ව වැටුණේය. මිනිස්සු උත්සාහ කළත් ඌ නැගිටුවීම ඉතා අපහසු විය. එතැනට ගිය ගෝදත්ත ගොනාගේ වලිගය අල්ලා දැඩිසේ විද්දේය. ගොනා “මේ අසත්පුරුෂයා මගේ බල දුබලතා නොදැන දැඩිව හිංසා කළේය”යි කිපී මිනිස් බසින් “එම්බා ගෝදත්තය, මම මෙපමණ කලක් තමාගේ බලය නොපිරිහවාගෙන නුඹගේ බර ඉසුලුවෙමි. අද අසමර්ථ බව නිසා වැටුනෙමි. ඒ මට නුඹ දැඩිසේ හිංසා කළෙහිය. වේවා, මෙයින් මම මැරීගොස් උපනුපන් ආත්ම භාවයේදී නුඹට පීඩා කිරීමට සමත් සතුරෙක් වේවා”යි ප්රාර්ථනා කරන ලෙසින් කෑගෑවේය. එය ඇසූ “ගෝදත්ත මෙබඳුවූ සත්ත්වයෙකුට හිංසා කළ මාගේ ජීවිතයෙන් කවර ප්රයෝජනයක් ද?” යි සංවේගයට පත්ව, සියලු සම්පත් හැරදමා එක්තරා මහතෙර නමක් සමීපයේ පැවිදිව විදසුන් කමටහන වඩා නොබෝ දිනකින්ම අරහත් ඵලය ලැබ සමවත් සුවයෙන් කල්යැවීය. දිනක් ගෝදත්ත තෙරණුවෝ තමා සමීපයට පැමිණි ගිහි පැවිදි පිරිසට ලෝක ස්වභාව ධර්මයෙන් අරභයා දහම් දෙසමින් මේ ගාථා වදාළසේක.
“යථාපි භද්දො ආජඤ්ඤො ධුරෙ යුත්තො ධුරාසහො,
මථිතො අතිභාරෙන සංයුගං නාතිවත්තති,”
මථිතො අතිභාරෙන සංයුගං නාතිවත්තති,”
“එවං පඤ්ඤාය යෙ තිත්තා සමුද්දො වාරිනා යථා,
න පරෙ අති මඤ්ඤන්ති, අරියධම්මොව පාණිනං”
න පරෙ අති මඤ්ඤන්ති, අරියධම්මොව පාණිනං”
“කාලෙ කාලවසං පත්තා භවාභවවසං ගතා,
නරා දුක්ඛං නිගච්ඡන්ති, තෙධ සොචන්ති මානවා”
නරා දුක්ඛං නිගච්ඡන්ති, තෙධ සොචන්ති මානවා”
“උන්නතා සුඛධම්මෙන දුක්ඛධම්මෙන වොනතා,
ද්වයෙන බාලා හඤ්ඤන්ති යථාභූතං අදස්සිනො”
ද්වයෙන බාලා හඤ්ඤන්ති යථාභූතං අදස්සිනො”
“යෙච දුක්ඛෙ සුඛස්මිඤ්ච මජ්ඣෙ සිබ්බනිමච්චගූ,
ඨීතා තෙ ඉන්ද්රඛීලොව, න තෙ උන්නතඔනතා”
ඨීතා තෙ ඉන්ද්රඛීලොව, න තෙ උන්නතඔනතා”
“නහෙව ලාභෙ නාලාභෙ අයසෙ න ච කිත්තියා,
න නින්දායං පසංසාය නතෙ දුක්ඛෙ සුඛම්හි ච”
න නින්දායං පසංසාය නතෙ දුක්ඛෙ සුඛම්හි ච”
“සබ්බත්ථ තෙ න ලිප්පන්ති උදබින්දුව පොක්ඛරෙ,
සබ්බත්ථ සුඛිතා වීරා සබ්බත්ථ අපරාජිතා”
සබ්බත්ථ සුඛිතා වීරා සබ්බත්ථ අපරාජිතා”
“ධම්මෙනච අලාභො යො යො ච ලාභො අධම්මිකො,
අලාභො ධම්මිකො සෙය්යො යං චෙ ලාභො අධම්මිකො”
අලාභො ධම්මිකො සෙය්යො යං චෙ ලාභො අධම්මිකො”
“යසො ච අප්පබුද්ධීනං විඤ්ඤූනං අයසො ච යො,
අයසොච සෙය්යො විඤ්ඤූනං න යසො අප්පබුද්ධීනං”
අයසොච සෙය්යො විඤ්ඤූනං න යසො අප්පබුද්ධීනං”
“දුම්මෙධෙහි පසංසා ච විඤ්ඤූහි ගරහා ච යා,
ගරහාව සෙය්යො විඤ්ඤූහි යං චෙ බාලප්පසංසනා”
ගරහාව සෙය්යො විඤ්ඤූහි යං චෙ බාලප්පසංසනා”
“සුඛඤ්ච කාමමයිකං දුක්ඛඤ්ච පවිවෙකියං,
පවිවෙකියං දුක්ඛං සෙය්යා යඤ්චෙ කාමමයං සුඛං”
පවිවෙකියං දුක්ඛං සෙය්යා යඤ්චෙ කාමමයං සුඛං”
“ජීවිතඤ්ච අධම්මෙන ධම්මෙන මරණං ච යං,
මරණං ධම්මිකං සෙය්යො යඤ්චෙ ජීවෙ අධම්මිකං”
මරණං ධම්මිකං සෙය්යො යඤ්චෙ ජීවෙ අධම්මිකං”
“කාමකොපපහීණා යෙ සන්තචිත්තා භවාභවෙ,
චරන්ති ලොකෙ අසිතා, නත්ථි තෙසං පියාප්පියං”
චරන්ති ලොකෙ අසිතා, නත්ථි තෙසං පියාප්පියං”
“භාවයිත්වාන බොජ්ඣඞ්ගෙ ඉන්ද්රියානි බලානි ච,
පප්පුය්ය පරමං සන්තිං පරිනිබ්බන්ති අනාසවා” තී.
පප්පුය්ය පරමං සන්තිං පරිනිබ්බන්ති අනාසවා” තී.
එහි “ආජඤ්ඤො” යනු ආජානෙය්ය වෘෂභයා “ධුරෙ යුත්තො” ගැලෙහි වියදණ්ඩෙහි යොදනලද “ධුරාසහො” රියබර උසුලන, ගාථාව සුඛෝච්චාරණය කරනු පිණිස මෙහි ඊ කාරය දීර්ඝ කර යොදන ලදි. කරත්ත බර ඉසිලීමට සමත් යන අර්ථයයි. “මථිතො අතිභාරෙන” මහාබරින්, ගරුභාවයෙන් මැඬී, “මද්දිතො” යන පාඨය ද යෙදේ. එහි ද එම අර්ථය මය. “සංයුගං” තමාගේ කඳෙහි, යෙදූ ස්ථානයෙහි සිටින වියදණ්ඩ නොඉක්මවන, කෑ තණ වමාරා කමින් වියදණ්ඩ හැරදමා නොසිටියි. “එවං” ඒ වියදණ්ඩෙහි යෙදූ ගවයා; තමා භද්රවූ ආජානෙය්ය වෘෂභයකු බැවින් ද, තමාගේ ධීරවීරතාවයෙන් ද තමාගේ බර නො ඉක්මවා අත් නොහැර සිටින්නාක් මෙන්, යමෙක් මහමුහුද ජලය ලැබීමෙන් තෘප්තිමත් වන්නාක් මෙන් ලෞකික ලෝකෝත්තර ප්රඥාවෙන් සතුටුවෙමින්, එය දරමින්, ඉන් පිරිපුන් වූවාහු ද; ඔවුහු හීන වූ ප්රඥා ඇති නිහීනයන් ඉක්මවා නොසිතති. පරිභව නොකරති. “ඊට හේතු මෙසේ දක්වයි. “අරියධම්මො ච පාණිනං” මේ සත්ත්වයන් අතර ඇති ආර්ය ධර්මයකි. ඒ ප්රඥාවේ පරතෙරට ගිය බැවින් ලාභලෝභාදියෙන් තමා උසස් කර, නොලැබීම් ආදියෙන් අනුන්ට අවමන් නොකරයි ද එය ආර්ය ධර්මයකි.
මෙසේ ප්රඥාවේ පරතෙරට පත්, ආර්ය සුඛවිහරණ ය දක්වා අනතුරුව, ඉන් බැහැර වූ අනාර්ය දුක්ඛ විහරණය පිළිබඳව දැක්වීමට “කාලෙ” යන ගාථාව පැවසූහ. එහි “කාලෙ” ලාභ, අලාභයන්ගෙන් යුක්ත කාලයෙහි. “කාලවසං පත්තා” ලාභාදිය ලැබෙන කාලයේ මරු වසඟයට ගොස් ලාභාදියෙන් සොම්නස් වේ. අලාභාදියෙන් දොම්නස් වේ. “භවාභව වසංගතා” ඔවුහු වීම්, නොවීම් වසඟයට ගියාහු, වෘද්ධි හානියට පැමිණියාහු වෙති. “නරා දුක්ඛං නිගච්ඡන්ති, තෙධ සොචන්ති මානවා” ඒ මිනිස්සු, නරයෝ මානවයෝ යැයි නම් ලද සත්ත්වයෝ; ලාභ අලාභ ආදී වශයෙන්ද වෘද්ධි පරිහානි වශයෙන් ද අනුකූලත්වයට ද විරෝධයට ද පැමිණියා හු මෙලොවදීත් පරලොවදීත් නිරයාදියෙහිත් දුකට යති, පැමිණෙති. යන අර්ථයයි.