14. චුද්දස නිපාතය
ඛදිරවනියරේවත ස්ථවිරගාථා වර්ණනාව
දාහතරවන නිපාතයේ “යදා අහං” යනු ආයුෂ්මත් ඛදිරවණිය රේවත තෙරුන් වහන්සේගේ ගාථාවන් ය. ඒවායේ උපත කෙසේ සිදුවී ද? මේ තෙරුන් වහන්සේගේ ගාථාවක් ඉහත ඒකක නිපාතයේ දැක්විණි. එහිදී උන්වහන්සේ සිය බෑණාවරුන් වූ සාමණේරයන්ට සිහිය ඉපිදවීම සඳහා ඒ ගාථාව දේශනා කළසේක. එනිසා එම ගාථාව ඒකක නිපාතයේ සංග්රහ කර දැක්විණි. මෙහි වනාහි තෙරුන් පැවිදි වූ තැන් පටන් පිරිනිවණ දක්වා වූ ප්රතිපත්ති මාර්ගය දක්වන ගාථා දාහතරක් ඇතුළත්ය. එනිසා එය චුද්දස නිපාතයේ සංග්රහ කරන ලදි. එහි අර්ථෝත්පත්තිය ඉහතින් පැවසූ ලෙසම දතයුතුයි. මෙහි ඇති විශේෂත්වය පහත දැක්වේ. රේවත තෙරුන් වහන්සේ රහත් බවට පත්ව, කලින් කලට ශාස්තෲන්වහන්සේ, ධර්මසේනාපති ප්රමුඛ මහතෙරුන් වහන්සේලාට උපස්ථාන කරමින් දින කිහිපයක් නගරයේ වාසය කර, පසුව කිහිරි වනයට ම වැඩමවා ඵලසමවත් සුවයෙන් ද බ්රහ්මවිහරණයෙන් ද කල්යැවූ සේක. මෙසේ කල්ගත කරන උන්වහන්සේ, වෘද්ධභාවයට, මහලු භාවයට පත්වූහ. එක් දිනක් බුද්ධෝපස්ථානයට වැඩම කළ රේවත හිමියෝ අතරමඟ සැවැතට නුදුරු අරණ්යයක විසූහ. එදින සොරු නගරයෙන් බඩු සොරාගෙන, ආරක්ෂක පුරුෂයන් ලුහුබැඳ එන හෙයින් පලායන්නාහු, ගත් බඩු තෙරුන් සමීපයේ දමා සැඟවී ගියහ. සොරු ලුහුබැඳ පැමිණි මිනිස්සු තෙරුන් වහන්සේ සමීපයේ දමා තිබූ සිය භාණ්ඩ දැක, තෙරුන් බැඳගෙන “සොරෙකි” යි යන හැඟීමෙන් රජුට දැක්වූහ. “රජතුමනි, මේ සොරෙකි” යි පැවසුවත් රජු තෙරුන්ගේ බැඳුම් මුදා, “ස්වාමීනි, ඔබවහන්සේ මේ සොරකම කළේ ද?”යි විමසීය. තෙරණුවෝ, “මම වනාහි උපතේ සිට ම සොරකමක් නොකළෙමි. සියලු කෙලෙසුන් නැසූ බැවින් පැවිදි වූ අවස්ථාවේ සිට එවැනි සොරකම් කිරීමක් කෙසේවත් සිදුනොවේ.” එබඳු දෙයක් සිදුවීමට නොහැකි බව ප්රකාශ කරමින් සමීපයේ සිටින භික්ෂූන්ට ද රජුට ද දහම් දෙසමින් මේ ගාථා වදාළහ.
“යදා අහං පබ්බජිතො අගාරස්මා අනගාරියං,
නාභිජානාමි සංකප්පං අනරියං දොසසංහිතං.”
නාභිජානාමි සංකප්පං අනරියං දොසසංහිතං.”
“ඉමෙ හඤ්ඤන්තු වජ්ඣන්තු දුක්ඛං පප්පොන්තු පාණිනො,
සංකප්පං නාභිජානාමි ඉමස්මිං දීඝමන්තරෙ.”
සංකප්පං නාභිජානාමි ඉමස්මිං දීඝමන්තරෙ.”
“මෙත්තඤ්ච අභිජානාමි අප්පමානං සුභාවිතං,
අනුපුබ්බං පරිචිතං යථා බුද්ධෙන දෙසිතං”
අනුපුබ්බං පරිචිතං යථා බුද්ධෙන දෙසිතං”
“සබ්බමිත්තො සබ්බසඛො සබ්බභූතානු කම්පකො,
මෙත්තං චිත්තඤ්ච භාවෙමි අබ්යාපජ්ඣරතො සදා”
මෙත්තං චිත්තඤ්ච භාවෙමි අබ්යාපජ්ඣරතො සදා”
“අසංහීරං අසංකුප්පං චිත්තං ආමොදයාමහං,
බ්රහ්මවිහාරං භාවෙමි අකාපුරිසසෙවිතං.”
බ්රහ්මවිහාරං භාවෙමි අකාපුරිසසෙවිතං.”
“අවිතක්කං සමාපන්නො සම්මා සම්බුද්ධසාවකො,
අරියෙන තුණ්හීභාවෙන උපෙතා හොති තාවදෙ.”
අරියෙන තුණ්හීභාවෙන උපෙතා හොති තාවදෙ.”
“යථා පි පබ්බතො සෙලො අචලො සුප්පතිට්ඨිතො,
එවං මොහක්ඛයා භික්ඛු පබ්බතොව න වෙධතී”
එවං මොහක්ඛයා භික්ඛු පබ්බතොව න වෙධතී”
“අනංගනස්ස පොසස්ස නිච්චං සුචිගවෙසිනො,
වාළග්ගමත්තං පාපස්ස අබ්භමත්තං ව ඛායති.”
වාළග්ගමත්තං පාපස්ස අබ්භමත්තං ව ඛායති.”
“නගරං යථා පච්චන්තං ගුත්තං සන්තරබාහිරං,
එවං ගොපෙථ අත්තානං ඛණො වො මා උපච්චගා.”
එවං ගොපෙථ අත්තානං ඛණො වො මා උපච්චගා.”
“නාභිනන්දාමි මරණං නාභිනන්දාමි ජීවිතං,
කාලඤ්ච පටිකංඛාමි නිබ්බිසම්හතකො යථා.”
කාලඤ්ච පටිකංඛාමි නිබ්බිසම්හතකො යථා.”
“නාභිනන්දාමි මරණං නාභිනන්දාමි ජීවිතං,
කාලඤ්ච පටිකංඛාමි සම්පජානො පතිස්සතො.”
කාලඤ්ච පටිකංඛාමි සම්පජානො පතිස්සතො.”
“පරිචිණ්ණො මයා සත්ථා කතම්බුද්ධස්ස සාසනං,
ඔහිතො ගරුකො භාරො, භවනෙත්ති සමූහතා.”
ඔහිතො ගරුකො භාරො, භවනෙත්ති සමූහතා.”
“යස්සත්ථාය පබ්බජිතො අගාරස්මා අනගාරියං,
සො මෙ අත්ථො අනුප්පත්තො සබ්බසංයොජනක්ඛයො.”
සො මෙ අත්ථො අනුප්පත්තො සබ්බසංයොජනක්ඛයො.”
“සම්පා දෙථප්පමාදෙන එසා මෙ අනුසාසනී,
හන්දාහං පරිනිබ්බිස්සං විප්පමුත්තාම්හි සබ්බධී” තී.
හන්දාහං පරිනිබ්බිස්සං විප්පමුත්තාම්හි සබ්බධී” තී.
මේ ගාථාවන්ගේ අනුපූර්ව පදවර්ණනාව මෙසේය.
“ඉමස්මිං දීඝමන්තරෙ” යම් දිනක මම පැවිදි වූයෙම් ද එදින සිට මේ ජීවිතයේ අවසාන කාලය දක්වාම, මේ දීර්ඝ කාලය තුල “මෙ මාහට වේවා”යි දැඩිලෝභයෙන් හෝ “මේ සත්ත්වයෝ නැසෙත්වා”යි තරහ සිතින් හෝ අනාර්ය වූ ද්වේෂ සහිත සිතක්, සංකල්පයක් නූපදුවෙමි. ඉපදුණු බවක් නොදනිමි.
“මෙත්තං ච අභිජානාමී” මෘදුවේ, සිනිඳුවේ අරුතින් “මෙත්තා” නම් වේ. මෙත්තා භාවනාව, මෙත්තා බ්රහ්මවිහාර යයි “ච” වදනින් ඉතිරි බ්රහ්ම විහාර වූ කරුණා, මුදිතා, උපේක්ෂා යන සිත් ද අදහස් වේ. “අභිජානාමි” ඉදිරියේ සිට දනිමි. අවබෝධ කරගත් ධ්යානය ප්රත්යවේක්ෂා කිරීමෙන්, ප්රත්යවේක්ෂා කරන ඤාණයට අභිමුඛ වේ. ඒ කෙසේ ද? “අප්පමාණං” යම්සේ භාග්යවත් බුදුරජාණන් වහන්සේ විසින් දෙසන ලද්දේ ද එලෙසින් ම කිසිවකු උදෙසා, වෙන් කර නොගෙන අප්රමාණ සත්ත්වයන් අරමුණු කරගෙන, අප්රමාණ වූ ප්රගුණ බලවත්භාවයන් ඉපදවීමෙන් මනාව වැඩූ බැවින් “සුභාවිතං” පළමුව මෙත් සිත ද දෙවනුව කරුණාව ද ඉන්පසු මුදුතාව ද අවසන උපේක්ෂාව ද යන මේ අනුපිළිවෙලින්, අනුක්රමයෙන් පුරුදු පුහුණු කළ, සේවන කළ, බොහෝ කොට කඑන ලද බව දනිමි.
සියලු සත්ත්වයන්ට ම මිත්රයෙකි. ඒ සියලු දෙන මාගේ මිත්රයෝ ය යන අර්ථ දෙකින් ම “සබ්බමිත්තො” හැමට මිතුරුව. මෙත් සිත වැඩීමෙන් සත්ත්වයන්ට ප්රියවේ. “සබ්බසඛො” සැමට යහළුව මෙහිද පළමු න්යායමයි. “සබ්බභූතානුකම්පකො” සියලු සත්ත්වයන්ට ම අනුග්රහකිරීම් වශයෙන්, “මෙත් සිත වඩමි”, මෙත් සහිත, මෛත්රී සම්ප්රයුක්ත සිත විශේෂයෙන් වඩමි, දියුණු කරමි, ප්රකාශ කරමි, වචනයෙන් ප්රකාශ නොකළත් වැඩීමෙන් ඉතා උසස් බවට, ඉතා උඩට පැමිණෙන බැවිනි. “මෙත්තං චිත්තඤ්ච භාවෙමී” යන පාඨය ද යෙදේ. එහි අර්ථ ඉහතින් පවසන ලදි. “අබ්යාපජ්ඣරතො” අව්යාපාදයේ, සත්ත්වයන්ගේ හිත වැඩෙහි, යහපතෙහි විශේෂයෙන් ඇලුනෙම් “සදා” සැමදාම ඉන් උන්වහන්සේගේ සෑම ක්රියාවක් ම දක්වයි.